ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පවතින අනවශ්‍ය බිය හේතුවෙන් ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසිය පියවර ගෙන ඇත.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව රජය සහතික කරන අතර, අනවශ්‍ය ලෙස තොග රැස්කරන පුද්ගලයන් සහ ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන පිරිස් සොයා නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව, කෘෂිකාර්මික හෝ කාර්මික වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා මිස බාහිර බහාලුම්වලට ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

මෙමඟින් කළු කඩ මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම් මැඩපැවැත්වීම සහ සමාජය තුළ පවතින නොසන්සුන්තාව පාලනය කිරීම බලාපොරොත්තු වේ. මෙම නියෝග හරහා සාමාන්‍ය ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමේ හැකියාව තහවුරු කෙරේ.