ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හමුවේ ඉරානයේ රෝහල්, පාසල් ඇතුළු සිවිල් ස්ථාන රැසකට දැඩි හානි…

රෂිකා හෙන්නායක මාර්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ රෝහල්, පාසල් සහ රතු අඩසඳ මධ්‍යස්ථාන ඇතුළු සිවිල් ස්ථාන රැසකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ප්‍රහාර හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම සහ සහයෝගය ඉරාන රජය විසින් ඉල්ලා සිටිනු ලැබේ.

විශේෂයෙන්ම මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති අතර, ටෙහෙරාන් නුවර වෛද්‍ය මධ්‍යස්ථාන රැසකට ද හානි සිදුව ඇත.

මෙවැනි ප්‍රහාර මගින් ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය වන බව පෙන්වා දෙන ඉරාන බලධාරීන්, සිවිල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, අතීතයේදී ඉරාන රජය විසින්ම විරෝධතාකරුවන්ට එරෙහිව රෝහල් ඉලක්ක කර ඇති බවට එල්ල වන මානව හිමිකම් චෝදනා ද මෙම වාර්තාව මගින් සිහිපත් කරයි.

මෙම ගැටුම හේතුවෙන් එරට පුරා පන්සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තක්සේරු කර ඇත.