හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට පහර දෙන බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කර තිබේ.

පසුගිය සෙනසුරාදා(28) ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කළ මැදපෙරදිග යුද්ධයේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඝාතනය කළ ඊශ්‍රායල සහ ඇමරිකානු බෝම්බ ප්‍රහාර ව්‍යාපාරයට පළිගැනීමේ කොටසක් ලෙස ටෙහෙරානය ලෝක බලශක්ති නිෂ්පාදනයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් මෙලෙස ඉලක්ක කර ගෙන තිබේ.

ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර, ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ,

එහි සිදුවන ඕනෑම බාධාවක් බොරතෙල් මිල ඉහළ යාමට හේතු වන අතර ඊයේ(02)දින සිට බලශක්ති මිල තියුනු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය ස්වාභාවික ගෑස් මිල ගණන් යුරෝපයේ සියයට 50 කින් සහ ආසියාවේ සියයට 40 කින් පමණ ඉහළ ගොස් ඇත.