සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පසු නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඉරාන තානාපතිවරයා අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ඉරාන තානාපති අමීර් සයිඩ් ඉරවානි (Amir Saeid Iravani) ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ කුරිරු අපරාධ සහ සිවිල් යටිතල පහසුකම් හිතාමතා සහ නොනවත්වා ඉලක්ක කිරීම සිදුවෙමින් පවතින බවත් එය ජාත්‍යන්තර නිතිය උල්ලංඝනයක් හා යුධ අපරාධයක් වන බවත්, අමෙරිකානු නියෝජිතයාට විනීත (Polite) වන්න කියා උපදෙස් දෙන බවත්, එය ඔබටත් ඔබ නියෝජනය කරන රටටත් යහපත් වනු ඇති බවත්ය.
මෙයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු තානාපති මයික් වෝල්ස් (Mike Walz) කියා සිටියේ දස දහස් ගණනින් සිය ජනතාව ඝාතනය කරන පාලන තන්ත්‍රයක් නියෝජනය කරන පුද්ගලයෙකුට පිළිතුරු දී තම කාලය නාස්ති කිරීමට සූදානම් නැති බවයි.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර ඇත්තේ කමේනිගේ මරණය වෙනුවෙන් පළිගැනීම තම රටේ “නීත්‍යානුකූල අයිතියක් සහ වගකීමක්” බවයි. මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස හඳුන්වන ඉරානය, අමෙරිකාවට එරෙහිව තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සපථ කර ඇත.



