Home පුවත් ක්‍රී​ඩා මං එන්නෙ ක්‍රීඩා කරන්න නෙමෙයි පරිපාලනය කරන්න – බිමල් විජයසිංහ

මං එන්නෙ ක්‍රීඩා කරන්න නෙමෙයි පරිපාලනය කරන්න – බිමල් විජයසිංහ

නිශ්මං රණසිංහ ,මාර්තු 06 කොළඹ LNW:

මාස ගණනාවක් පුරා පරිපාලනයට කිසිවෙකුත් නොමැතිව සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පරිපාලනය මාර්තු 12 වන දා තීරණයවීමට නියමිත අතර,එහි බලය ලබා ගැනිම වෙනුවෙන් පාර්ශව දෙකක් සටනට පිවිස සිටියි.ඉන් එක් පිරිසක් කොළඹ පිහිටි පාපන්දු නිවහනේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී එම කණ්ඩායමෙන් සභාපති ධූරය සඳහා තරග වදින බිමල් විජයසිංහ මාධ්‍යවේදියෙකු අනිත් පාර්ශවයෙන් ඔහු ක්‍රීඩා කර නොමැති බවත්,මේ නිලවරණයට පාත් වූ පැරෂුට්කාරයෙක් බවත් ප්‍රකාශ කරන බව පැවසීය.ඊට පිළිතුරු දුන් බිමල් තමන් ක්‍රීඩා කර ඇති බවත්,ඊට සාක්ෂි ඇති බවත් පැවසූ අතර තව දුරටත් කරුණු අනාවරණය කරමින් කියා සිටියේ තමන් එන්නෙ පරිපාලනයට මිස ක්‍රීඩා කිරීමට නොවන බවය.ඊට අවශ්‍යය කරන අත්දැකීම් සහ පළපුරුද්ද තමන් සතුව හොඳින්ම ඇති බවත් ඔහු කරුණු පෙන්වා දෙමින් පැවසීය.


බිමල් විජයසිංහ එහිදි අදහස් දක්වමින් පරිපාලනය විසින් දිස්ත්‍රික් සංගම් රැක ගැනීමට සහ එම සංගම් හරහා එම දිස්ත්‍රික්කයන් හී ක්‍රීඩාව නඟා සිටුවීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බව පැවසීය.ඒ සඳහා ඔවුන්ට ශක්තියක් වෙමින් කටයුතු කිරීම තම කණ්ඩායමේ අරමුණ බව පැහැදිළි කළ ඔහු,අවධාරණය කළේ ඒ සඳහා පහසුවීමට සිය කණ්ඩායම සෑම පළාතක්ම නියෝජනය වන පරිදි සකසා ඇති බවය.

සියල්ල ක්‍රීඩා අමාත්‍යංශයෙන් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ බිමල් විජයසිංහ,මලල ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රහයන් සෙවීමට ජාතික වශයෙන් මෙන්ම දිස්ත්‍රික් වශයෙන් ද කටයුතු කිරීමට හැකි සැළසුම් තම කණ්ඩායම සතුව පවතින බව පෙන්වා දුන්නේය.
ලේකම් ධූර අපේක්ෂක මෘදව සෙනරත් බණ්ඩාර පැවසුවේ දුර තියා අවශ්‍යයතා හඳුනාගෙන කටයුතු කළ යුතු බවත්,යම් යම් කාරණාවලදි මලල ක්‍රීඩා පරිපාලනයේ මැදිහත්වීම් සහ කරුණු පෙන්වාදීම් අමාත්‍යංශය වෙත සිඳු කිරීම වගකීම කර ගත යුතු බවත්ය.


මේ වන විටත් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා ඇති ඉඩ ඇහිරි ඇති බව පෙන්වා දුන් මාධව,මාර්තු 12 වන දා තම කණ්ඩායම පරිපාලන වගකීම භාර ගැනීමෙන් ඉනික්බිතිව ඒ සඳහා උත්සාහයක් ගන්නා බව ද ඔහු පෙන්වා දුන්නේය.


මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිටින බැවින් තමන් බලයට පත් වූ පසු අමාත්‍යංශය මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වැනි ආයතන සමඟ සාකච්ඡා කර දියුණු රටවල්වල දකින්නට ලැබෙන ATHLETE CARE AND EDUCATION PROGRAME (ACE) ක්‍රමය අත්හදා බැලීමට උත්සාහ ගන්නා බව ද පැවසීය.ක්‍රීඩකයාට සත්කාරයක් ලෙස සකස් කරන එම අධ්‍යාපනයේ ගුණාංග හඳුනාගෙන ඇති බව පැවසූ මාධව එවැනි කාරණා සොයා බලා කටයුතු කිරිම,සාකච්ඡා කිරීම මෙතුවක් කල් සිඳු නොවීම ගැන කණගාටුවන බවත්,ඊට අදාළ පාර්ශව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහළින් කරගෙන යන අතරේ ක්‍රීඩාවත් ඉහළින්ම පවත්වාගෙන යාමට ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සහය වන බවත් මාධව පෙන්වා දුන්නේය.


විශේෂත්වයක් ලෙස දකින්නට තිබුණේ මෙම කණ්ඩායමට අයත් නොවන,නිලවරණයට ඉදිරිපත් වී නැති මලල ක්‍රීඩා කේෂ්ත්‍රෙය් ප්‍රවීනයන් පිරිසක් ද මෙම කණ්ඩායමට සහය දැක්වීමට ඉදිරිපත් වී සිටිමය.ඒ අතර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කේෂ්ත්‍රෙය් දැවන්ත චරිතයක් වන අධ්‍යාපන අමාත්‍යංශයේ පළමු සහ එකම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිව සිටියා වූත්,ජාත්‍යන්තර ඉසව් ගණනාවක් ශ්‍රී ලංකාවේ සංවිධානය කර අත්දැකීම් ඇති සුනිල් ජයවීරයන් ප්‍රධාන තැනක් ගත්තේය.ඔහු එම කණ්ඩායම වෙනුවෙන් සභාව පිහිටුවමින් ඔවුන්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව යහපත් දිශානතියකට හරවනු ඇති බව සපත කර පැවසීය.


එසේම ප්‍රවීන ක්‍රීඩකයෙකු වන තලොව් අලෙයිලීමා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පදක්කම් දිනිය හැකි මලල ක්‍රීඩකයින් සිටින බවත්,නැත්තේ අවශ්‍යය මඟ පෙන්වීම බවත් පෙන්වා දෙමින් ඒ මග පෙන්වීම කළ හැකි කණ්ඩායම බිමල් විජයසිංහගේ නායකත්වයෙන් ඉදිරිපත් වී ඇති කණ්ඩායම බවත් පෙන්වා දුන්නේය.එසේම ප්‍රවීන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් දෙස පැවති මලල ක්‍රීඩා සංගම් අවධානය යොමු කළේ ඉතා අඩුවෙන් බව පෙන්වා දුන්නේය.මෙම කණ්ඩායම ප්‍රමුඛතාවය දී ඇත්තේ ක්‍රීඩකයාට බව පැහැදිළි කළ අතර ඒ නිසා මේ ලංකාවේ මලල ක්‍රීඩාව ජයග්‍රාහී මාවතකට ප්‍රවේශ කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව බවත් පැවසීය.


මේ දක්වා පැවති පරිපාලනයන්, ක්‍රීඩකයා පවතින්නේ පරිපාලනය නිසා යැයි සිතූ බව පැවසූ මෙම නිලවරණයට කමිටු සාමාජිකයෙක් ලෙස ඉදිරිපත් වී සිටින ප්‍රසන්න අළුවිහාරේ මේ තත්ත්වය මාර්තු 12 වන දා සිට වෙනස් වනු ඇති බව පැවසීය.ක්‍රීඩකයො හින්ද තමයි මලල ක්‍රීඩා සංගමය විතරක් නෙමෙයි ක්‍රීඩා අමාත්‍යංශයක් අවශ්‍ය වෙලා තියෙන්නෙත් යනුවෙන් ඔහු වැඩි දුරටත් කරුණු අවධාරණය කළේය.


සුනිල් ජයවීරයන් මෙහිදි දේශපාලන බලපෑම් ඇද්ද යනුවෙන් මාධ්‍යය විසින් මතු කළ ගැටළුකට පිළිතුර දෙමින් එවැනි දේ එමින් යමින් පවතින බවත්,ඒ සියල්ලටම මුහුණ දී ජයග්‍රහණය කළ හැකි සහ මලල ක්‍රීඩාව ජයග්‍රහණය කරා ගෙන යා හැකි ශක්තිමත් කණ්ඩායමක් තමන්ට සිටින බවත් පැවසීය.ප්‍රතිපාර්ශවයෙන් පවසන කරුණු ගැන අදහස් දක්වමින් බිමල් විජයසිංහ පැවසුවේ,නිලවරණය පවත්වන මොහොතක නොයෙක් විවේචන කරන්නේ තරහකට නොව ජය ගැනීමේ උපක්‍රමයක් හැටියට බව තමන් විශ්වාස කරන බවය.එසේම මාර්තු 12 වන දා ට පසුව සියල්ලම සමානව මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් දක්ෂතාවය මිස කුමන කණ්ඩායමේ ද යන්න පිළිබඳව තම කණ්ඩායම සළකා බලන්නේ නැති බවත් බිමල් විජයසිංහ පෙන්වා දුන්නේය.