ක්‍රීඩාවේ සහ දේශපාලනයේ කීර්තිය සහ අපකීර්තිය

0
394

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW):

රටක් හැටියට ශ්‍රී ලංකාව ක්‍රිකට්වලින් ලබා ගත් කීර්තිය සහ දේශපාලනයෙන් ලබා ඇති අපකිර්තිය පෙන්වන සිදුවීමක් බංගලංදේශ ක්‍රිකට් මුහුණු පොතේ පළ කර ඇති නවීඩ් නවාස්ගේ වීඩියෝ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පළ වූ අදහස් අතර දකින්නට ලැබුණා.එහිදී ශ්‍රී ලංකේය තරුණයෙක් ඊයේ විනිසුරු මසුදූර් රහ්මන්ගේ අශෝභන තීරණයට එරෙහිව නවාස් ගේ සාකච්ඡාව යටින් අදහසක් හැටියට පළකර තිබුණේ
Poor bangladesh cricket යනුවෙන්.
එයට පිළිතුරු ලෙස බංගලාදේශ ජාතිකයෙක් පළ කර තිබුණේ මෙවන් පිළිතුරක්.
your whole country is poor you took loan from us and calling us poor. What an irony එහි අරුත ගත් විට “ඔයාගේ මුළු රටම දුප්පත් 🤣 ඔබ අපෙන් ණය අරගෙන අපි දුප්පත් කියලා. මොන සරදමක්ද යන්න අදහස් වෙනවා.
මිට මාස කිහිපයකට පෙර ලංකාවේ දේශපාලනය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධි විධාන ඉක්මවා පාලනය කරන්නට උත්සාහ කරද්දී පාර්ලිමේන්තුවේ සියල්ලම පාහේ දේශපාලකයන් එක පිළකට එකතු වී සිට ගත්තා.ඒ අපේ රටේ පුරවැසියෙක්ට කතා කරන්නට බැරි තරමට දේශය අනතුරේ හෙළීමෙන් පසුව,තමන්ගේ දෙසට එල්ල වන ඇඟිළි වෙනත් පැත්තකට හරවන්නටයි.


ඒ මොහොතේ අප දැරුවේ ජනප්‍රිය තීරණය නොවන අතර දේශපාලකයාට මේ රටේ කිසිම ක්‍රීඩාවක් පාලනය කිරීමේ තනි බලයක් නොතිබිය යුතුය යන්නයි.ඒ ඉහත බංගලිදේශ ජාතිකයාගේ ප්‍රකාශය පරිදි රට අසමත් කිරීමේ කුලකය ඒ තරම් රට ලැජ්ජාවට පත් කර තිබියදී ක්‍රීඩාවත් “මේකත් කාපං” කියා දේශපාලකයන්ට ළං නොකළ යුතු බැවිනි.යම් ආකාරයක පාලනයක් කළ යුතුනම් විධිමත් විදිහට පත්වන කණ්ඩායමක් ගැටළුකාරී තත්ත්වයකදී කරුණු විමසීම හැරෙන්නට නිල බලයෙන් පත්වන ක්‍රීඩාවක පරිපාලනය වෙනස් කිරීමේ අයිතියක් නැති අතර එය ජාත්‍යන්තර මව් සංගමයේ යම් නීතිමය හෝ ප්‍රතිපත්තිමය කාරණයක් කඩ කර ඇතැයි සිතන්නේනම් එය ජාත්‍යන්තර සම්මේලනයට පරික්ෂා කර වාර්තාවක් ලබා දීමෙන් මෙපිට ලංකාවේ දේශපාලනය විසින් තීන්දු තීරණ ගැනීම සාර්ථක බව අපේ විශ්වාසය වන්නේ නැහැ.


මේ සටහන් දෙක දකින විට රටේ පුරවැසියාට, දේශපාලකයා විසින් අත් කර තිබෙන ඉරණම මේ බංගලාදේශ ජාතිකයාට අවබෝධයක් තිබෙන බව සිතිය හැකියි.ඒ ආකාරයටම මීට ටික දවසකට පෙර එක් එක් රටවලට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ද ලිපි යවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වංචනිකයි කියන්නට උත්සාහ ගනිමින් වැඩ කරද්දී සමහර විට රට මේ තත්ත්වයට ඇඳ දමා තිබෙන දේශපාලකයෙක් ක්‍රීඩා පරිපාලනයකට චෝදනා කිරීම දෙස ඉස්සෙක් “මං සුදනා” ලෙස කෑ ගසන ආකාරයක් මැවෙන්නට ඇති.


කෙසේ වුවත් මේ මොහොත වන විට බිඳ වැටී තිබෙන ක්‍රිකට් නැඟිටිමින් තිබෙන බව පැහැදිළියි.නැඟී සිටින අය ද වැටෙන අවස්ථා එමට ඇති ක්‍රිකට් වැනි ක්‍රීඩාවක පිටියේ ක්‍රීඩකයින් තුළ මතුවන විශ්වාසවන්තභාවය මෙන්ම එකඟතාවන්ද දකින්නට හැකි මොහොතක මාස ගණනකට පෙර තිබුණු ක්‍රිකට් සම්බන්ධ කාරණාවන්ගෙන් මොනවාද වෙනස් වී ඇත්තේ කියා සිතිය හැකිද?


දේශපාලන බලධාරීත්වයේ දෙඩවීම සහ බලපෑම මෙන්ම ඔහුගේ උපදේශක මඩුල්ලේ වෛරි ප්‍රකාශ සහ බලපෑම් පමණක් වෙනස් වි ඇත.ඒ වෙනස්වීම මේ වන විට ගොඩ නඟා තිබෙන ශක්ති සම්පන්නභාවය රැක ගැනීම සැමගේ වගකීමක් විය යුතුය.