ඉංග්‍රීසියට වඳින පුදන යුගය අවසන් කළ පුනරුද යුගය

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන රයිසිනා සංවාදයට සහභාගී වන අතර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශයක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එහිදී ඔහුත් සිනාසෙමින්, ප්‍රේක්ෂකයින්ද සිනහ ගන්වන අතර වීඩියෝව දැන් නරඹන මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයෝද සිනහ වෙමින් සිටිති.

තුන්වැනි ලෝක යුද්ධයක් ඇවිළෙන මට්ටමේ යුදමය තත්වයක් මැදපෙරදිග පවතිද්දී කාටකාටත් එය අමතක කර සිනහ වන්නට උපකාර කිරීම යනු පින් සිදුවන කටයුත්තකි. ඒ අනුව විජිත හේරත් මහතා මෙහිදී සිදුකරගන්නේ මහා පුන්‍ය කර්මයක් වන අතර එය ඔහුට මනාප ලබාදුන් ලක්ෂ 7ක් වන ගම්පහ ජනතාවට වැඩියෙනුත් රටේ අනෙකුත් ජනතාවට ටික ටිකත් වශයෙන් ඒ පින් අනුමෝදන් වනු ඇත.

ඇමති විජිතට සිනහ වන ශ්‍රී ලාංකිකයින් නම් එසේ සිනහ වන්නේ ඔවුන්ගේ නොදන්නාකම නිසාය. රටක් පාලනය කිරීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වන්නේ නැත. එය ඉන්දියාවේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඔප්පු කළ අතර ශ්‍රී ලංකාවේ විජිත හේරත් මහතා ද එය ඉන්දියාවේදීම ඔප්පු කර ඇත. එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා, ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීවරයා ද අප අමතක කළයුතු නැත.

තමන්ට ඉංග්‍රීසි බැරි නම් රාජ්‍ය තාන්ත්‍රිකයකු කළයුතුව ඇත්තේ දක්ෂ භාෂා පරිවර්තකයකුගේ සේවය ලබාගැනීමයි. ඒ සඳහා ඕනෑ තරම් අය ලංකාවෙන් සොයාගැනීමත් හැකිය. එහෙත් නාස්තිය මුලිනුපුටා දැමීමේ තිර අධිෂ්ටානයක පසුවන ජාතික ජන බලවේගයේ ඇමතිවරුන් පරිවර්තකයකුගේ වැටුප සඳහා හෝ මුදල් නාස්ති කිරීමට පෙළඹෙන්නේ නැත. ඔවුන් තමන්ට හැකි පමණින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන අතර අනෙක් අය ඒ අදහස් තම තමන්ට හැකි පමණින් වටහාගත යුතුව ඇත. යම්කිසි අවුලක් ඇති වුවහොත් එය 76 වසරක ශාපයේ ප්‍රතිඵලයක් විනා අපේ මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක් නොවේ.

මේ ඉංග්‍රීසි ප්‍රශ්නය ගැන හොඳ වැටහීමක් තිබුණු තවත් අයෙකු වූයේ සිරස නාලිකාවේ හිමිකරු වූ කිලී මහාරාජා ය. මේ ආණ්ඩුව බලයට පත්වීමට වසර කිහිපයකට පෙර සුනිල් හඳුන්නෙත්ති මහතා සිරස රූපවාහිනී නාලිකාවේ ඉංග්‍රීසී භාෂා වැඩසටහනකට සහභාගී වී සිටියේය. එම වැඩසටහන මෙහෙයවමින් සිටියේ මෙරට ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදියෙකු විසිනි. හඳුන්නෙත්ති දිගට හරහට කරුණු කියාගෙන කියාගෙන ගිය නමුත් එක්වරම හිරවුණේය. එවිටම මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයට කිලී මහාරාජාගෙන් ඇමතුමක් ලැබුණි. “හිරවුණාට කමක් නෑ. එයාට ඉංග්‍රීසියෙන් බැරිනම් සිංහලෙන් කියාගෙන යන්න කියන්න” යැයි මහාරාජාගෙන් උපදෙස් ලැබිණි. මාධ්‍යවේදියා ද ඉංග්‍රීසි භාෂා වැඩසටහන එක්වැරම පීලී මාරු කරමින් “කමක් නෑ, ඉතුරු ටික සිංහලෙන් කියන්න” යැයි පැවසූ අතර හඳුන්නෙත්ති මහතා එතැන් සිට හතර අතට වනාගෙන වනාගෙන ගියේය. පසුකලෙක බිග්කුච්චන් බවට පත්වූයේ ඒ වැනිලි ය. මන්දයත් හඳුන්ගේ උපාධියත් ඔහු හදාරා තිබිය යුත්තේ ඉංග්‍රීසියෙන්ම වන නිසා ය.

ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රභූ පාලනය අවසන් කළේ පැරණි දේවල් ඒ ආකාරයෙන්ම කරේ තබාගෙන යාමට නොවේ. නිර්ප්‍රභූ පාලනය සකස් වන්නේ නිර්ප්‍රභූන්ට ඕනෑ හැටියට ය. රටක් පාලනය කරන්නට ඉංග්‍රීසි අවශ්‍ය යැයි සිතීම අධිරාජ්‍ය ගැති, ප්‍රභූ ගැති සංකල්පයක් වන අතර පුනරුද යුගය විසින් ඒ සංකල්පය පරසක්වලටම පළවා හැර තිබේ. ඉංග්‍රීසි අවශ්‍යම වුවහොත් එය ශ්‍රී ලංකාවේ අපේ උච්ඡාරණ හුරුවට අනුව “යූ ආර් අ ගුඩ් මෑන්. මෑන් ඔෆ් ද මැච්” යනාදී වශයෙන් ලාල් ප්‍රේමනාත් නම් ඉංග්‍රීසි ගුරුවර මන්ත්‍රීවරයා අනුයමින් කිවහැකිය.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේවා දැකගන්නට ඉතිරි නොවීම ගැන අපට ඇත්තේ කණගාටුවකි. එහෙත් අපේ ගුණදාස අමරසේකර සූරීන් ඔහුගේ දේශපාලන සිහිනයේ සිටි “ගැමි උගත් තරුණ පරපුර” මේ ආකාරයෙන් හොඳටම කරන හැටි බලාගෙනම යන්නට ඉතිරි වීම ගැන අපට ඇත්තේ නිරාමිස සතුටකි.

පසුගිය දිනක පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි ජාතික සමුළුවේදී එහි නායක කුමාර් ගුණරත්නම් මහතා කතා කළේ වැඩිහරියක් ඉංග්‍රීසියෙන් වීමේ රහස තේරුණේ දැන් ය. ඔහු කීයටවත් ඒ කතා කළේ තමන්ගේ පක්ෂයේ සහෝදරයින්ට වන්නට බැරි හෙයින් ඔහු අනිවාර්යයෙන්ම එසේ කතා කළේ පැලවත්තට ඇසෙන්නට විය යුතුය ….