කොළඹ LNW:ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.
පසුව ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ අතර ඒ අනුව තවත් දස දෙනෙකු මේ වනවිටත් රෝහල්ගත ප්‍රතිකාර ගන්නා බවට සඳහන්.
IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84කගේ දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගිය දා ගාල්ල ජාතික රෝහලේදී සිදුකෙරිණි.
මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඉන්දියාවේ විශාකාපට්නම්හී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන ‘IRIS Bushehr’ යුද නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණ තිබුණි.
ඒ අනුව පසුගිය මාර්තු 5 වෙනිදා රාත්‍රියේ නෞකාවේ කාර්ය මණ්ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.
ඒ අතර නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 54ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් හා නාවිකයන් 23දෙනෙකු සිට තිබේ.
එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේය.
මේ අතර ඉරාන නෞකාවන් පිළිබඳ තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනය ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්රකාශකයාවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම, ‘IRIS Bushehr’ නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුදාගත් ඉරාන නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකාවේ දේශීය නීති සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව සතු වන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.




