රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ LNW :
ඉරාන-ඇමෙරිකා ගැටුම හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ දැවැන්ත සුළි කුණාටුවකට හසුව තිබේ. පසුගිය දින කිහිපය තුළ බොරතෙල් මිල උච්චාවචනය වූ වේගය දෙස බැලීමේදී පෙනී යන්නේ එය හුදෙක් වෙළඳපොළ චලනයක් නොව, ලෝක දේශපාලනික අස්ථාවරත්වයේ සෘජු ප්‍රතිඵලයක් බවයි.
යුද ගැටුම් ආරම්භයට පෙර ඇමෙරිකා ඩොලර් 70 සීමාවේ පැවති බොරතෙල් බැරලයක මිල, ඇසිපිය හෙලන සැණින් ඩොලර් 119 දක්වා ඉහළ ගියේ ආර්ථික විශේෂඥයන් පවා මවිතයට පත් කරමිනි. මෙම තත්ත්වය හුදෙක් සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොවී, ඔබේ එදිනෙදා ආහාර බඳුනේ මිල සහ ප්‍රවාහන වියදම් තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්ව ඇත.
දශක හතරකට පසු දැවැන්තම පිම්ම
වර්තමාන ඉන්ධන මිල ඉහළ යාම විශ්ලේෂණය කිරීමේදී පෙනී යන සුවිශේෂී කරුණක් වන්නේ, මෙය 1983 වසරෙන් පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල එකවර වැඩිම අගයකින් ඉහළ ගිය අවස්ථාව ලෙස සටහන් වීමයි. පසුගිය සතියක් වැනි කෙටි කාලයක් තුළ පමණක් මිල 35% කින් ඉහළ යාම ලෝක ආර්ථිකයේ දැඩි කම්පනයක් ඇති කළේය.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වැනි ස්ථාවර ආර්ථිකයන් සහිත රටවල් පවා වසර 40කට පසු මුහුණ දුන් බරපතලම මිල ඉහළ යාම මෙයයි. එහිදී එරට ඉන්ධන ලීටරයක මිල එකවර ඕස්ට්‍රේලියානු ඩොලර් 2.19 කින් ඉහළ යාම සමස්ත ලෝකයටම එල්ල වූ අනතුරු ඇඟවීමකි.
හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ගබඩා කිරීමේ අර්බුදය
මිල ඉහළ යාමට බලපෑ සෘජු හේතුව ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගලා යන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ඇති වූ බාධාවන් ය. මෙය ලෝක බලශක්ති සැපයුම් දාමයේ “මහා ධමනිය” අවහිර වීමක් බඳුය. මේ සමඟම නෞකා රක්ෂණ සහ ප්රතිරක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ප්‍රවාහන පිරිවැය ද අහස උසට නැගුණි.
මෙහිදී බොහෝ දෙනා අවධානය යොමු නොකළ “ගබඩා ඉඩකඩ අවසන් වීම” (Lack of storage space) යන කරුණ ඉතා තීරණාත්මක ය. ඉරාකය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කළේ හුදෙක් යුද්ධය නිසාම නොවේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා නිපදවන තෙල් පිටත් කර යැවීමට නොහැකිව, ඔවුන් සතු ගබඩා පර්යන්ත පිරී ඉතිරී යාම හේතුවෙනි.
දේශපාලන ප්‍රකාශ සහ G7 මැදිහත්වීම
දේශපාලන ප්රකාශයන්ට වෙළඳපොළ කෙතරම් සංවේදී ද යන්න පසුගිය දිනවල මැනවින් පෙන්නුම් කළේය. බැරලයක මිල ඩොලර් 120 සීමාවට පැමිණ තිබියදී, යුද ගැටුම් ඉක්මනින් අවසන් වන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ “අවදානම් වාරිකය” (Risk Premium) පහත වැටී මිල ඩොලර් 98 දක්වා ක්ෂණිකව අඩු විය.
මිල පාලනය කිරීම සඳහා G7 රටවල මුදල් අමාත්‍යවරුන් ගත් “හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ” (Emergency fuel reserves) තීරණය ද වෙළඳපොළ තවදුරටත් පහත හෙලීමට සමත් විය. මේ අනුව, අද උදෑසන වන විට ඇමෙරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.49 ක් සහ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඩොලර් 94.42 ක් ලෙස සටහන් වූයේ දැඩි උච්චාවචනයක් පෙන්නුම් කරමිනි.
ගෝලීය පීඩනය හමුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය
ලෝක වෙළඳපොළේ මිල 35% කින් ඉහළ යද්දී ශ්‍රී ලංකාව සිය ඉන්ධන මිල ඉහළ දැමුවේ 8% ක් වැනි සාපේක්ෂව අවම මට්ටමකිනි. 92 ඔක්ටේන් පෙට්‍රල් 8.1% කින් සහ ලංකා සුදු ඩීසල් 7.8% කින් ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ගෝලීය මිල කම්පනය දේශීය පාරිභෝගිකයාට අවම බලපෑමක් වන සේ කළමනාකරණය කිරීමට ය.
මීට පෙර 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 293 ක් වැනි මට්ටමකට අඩු කර තිබීම නිසා, මෙම 8% ක වැඩිවීම අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී පහත පරිදි දැක්විය හැකිය:
| රට | ඉන්ධන මිල ඉහළ ගිය ප්‍රතිශතය |
| පාකිස්තානය | 21% |
| වියට්නාමය | 19% |
| ඇමෙරිකාව | 13% |
| නවසීලන්තය | 12% |
| යුක්රේනය | 10% |
| ශ්‍රී ලංකාව | 8% |
| තුර්කිය | 6% |
| ජර්මනිය | 5% |
| සෞදි අරාබිය | 4% |
“ලෝකය තුළ යුදමය වතාවරණයක් හමුවේ බොහෝ රටවල් ඉතා ඉහළ අගයකින් ඉන්ධන මිල සංශෝධනය කරන පසුබිමක ඊට සාපේක්ෂව අඩු අගයකින් මිල සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.”
ඩොලර් 150 සීමාව සහ ඉදිරි අවදානම
ඉදිරි දැක්ම පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී අවදානම තවමත් පහව ගොස් නැත. යුද ගැටුම් දිග්ගැස්සුණහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව දක්වා ඉහළ යා හැකි බවට කටාර් බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.
මෙය හුදෙක් ඉන්ධන මිල පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ; එය ගෝලීය කොටස් වෙළඳපොළ කඩා වැටීමටත්, ආහාර ඇතුළු සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමටත් බලපාන “ඩොමිනෝ ආචරණයක්” (Domino effect) නිර්මාණය කරනු ඇත. සැපයුම් දාමයන් බිඳ වැටීමේ අවදානම දැන් ලෝක ආර්ථිකය ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගයයි.
වර්තමාන බලශක්ති අර්බුදය හුදෙක් ඉල්ලුම සහ සැපයුම පිළිබඳ ගැටලුවක් නොව, භූ-දේශපාලනික බල අරගලයක සහ සැපයුම් දාම අවහිරතාවයක සංකීර්ණ සම්මිශ්‍රණයකි. ලෝක වෙළඳපොළේ මිල ගණන් තත්පරයෙන් තත්පරය වෙනස් වන පසුබිමක, දේශීය වශයෙන් අප එම බලපෑම අවම කර ගැනීමට උත්සාහ කළද, ගෝලීය වෙළඳපොළේ අවිනිශ්චිතතාවය තවමත් පවතී.





