අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂට ඇප. විදෙස් ගමන් තහනම්

විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, ඔහුව ඊයේ (10) දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කළේය.

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාවේ මාලිගාවේ පිවිසුම් පියගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්ත “සඳගල” නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදුකරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ අදාළ වරදට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට ඉන් ගැලවී යාමට ආධාර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහව ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.