නිශ්මං රණසිංහ ,මාර්තු 12, කොළඹ LNW:
මේ වන විට ඉතාලියේ ක්‍රියාත්මත වෙමින් පවතින 2026 මිලානෝ කෝටිනා ශීත සෘතු පැරා ඔලිම්පික් උළෙලේ ඉදිරියෙන් සිටින්නේ චීනය යි.දෙවන තැන ඇමෙරිකාව සිටිනවා.තෙවන තැන සිටින්නේ ඔස්ට්‍රියාවයි.පළමු දෙවන තැන් අතහැර ඔස්ට්‍රියාව දෙසට හැරෙද්දී ඔවුන් මේ වන විට දිනා ගෙන සිටින රන් පදක්කම් ප්‍රමාණය හතරක්.රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ද ඊට එකතු වෙනවා.
මේ පදක්කම් රටක් දිනා ගත් පදක්කම් හැටියට හඳුන්වන්න වගේම පවුලක් දිනා ගත් පදක්කම් හැටියට හඳුන්වන්නත් පුළුවන්.ඒවා ඔස්ට්‍රියාවට දිනා දෙන්නේ අපව නොපෙනෙන,අපට පෙනෙන ලස්සන පවුලක ශක්තිමත් එකතුවීම මඟින්.ලොවම කතාවෙන ඒ අපූරු පවුලෙ පෙළපත් නාමය අයිග්නර්.
පෙට්‍රා අයිග්නර්ට (Petra Aigner) ඇසේ සුද තත්ත්වය නිසා පෙනීම දුබල ගණයට වැටෙන කාන්තාවක්. උපතින්ම ඇතිවන ඇසේ සුද (Congenital Cataracts) කියන තත්ත්වයට ඇයට උපදින දරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකුටම මුහුණ දෙන්නට වෙනවා. ජොහැනස්, වෙරෝනිකා සහ බාබරා වන එම දරු තිදෙනාමත්,එම පවුලත් දැනෙන අන්ධකාරයට සාප නොකර ආලෝකය සොයන්නට එකාවන්ව ගත් උත්සාහය නිසාම අද අයිග්නර් පවුල,ලෝකයේ ඉමහත් ගෞරවයක් දිනා ගෙන තිබෙනවා.ඒ පැරා ඔලිම්පික් හිම ක්‍රීඩාවන් ආශ්‍රිතවයි.
ඔවුන් හිම මත ක්‍රීඩා කරන විට ලෝකය ජයගන්න විට දෑස් නොපෙනෙන ක්‍රීඩකයන්ට උපකාරී වන සහයක තනතුර දරන්නේ ඔවුන්ගේ පවුලේ දෑස් පෙනෙන සහෝදරියන් වන එළිසබෙත් සහ ඉර්ම්ගාඩ් ය.අප මේ සටහනේ මුලට ගෙනා මෙවර ශීත සෘතු පැරා ඔලිම්පික් උළෙලේදී ඔස්ට්‍රියාව දිනා ඇති රන් ඇති රන් පදක්කම් හතරම හිමිව ඇත්තේ අයිග්නර් පවුලටය.ඒ අතර මෙවර තරගාවලියේ පළමු රන් පදක්කම සමඟ අන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් වොරොනිකා අයිග්නර් දිනා ගෙන ඇත.ජොහැන්නස් අයිග්නර්ට ද රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිව ඇත.
මේ වන විට බාබරා ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටින අතර එසේ නොවුණානම් මේ පදක්කම්ලාභී ලැයිස්තුවේ ඇයගේ නම ද තිබෙන්නට ඉඩ තිබිණ.එසේම මෙවර තරගාවලියට සහය පෙන්වන මඟ පෙන්වන්නියක ලෙස වෙරෝනිකා ද දකින්නට නැත.ඒ ඇය ආබාධයකට ලක්ව සිටින නිසාය.ඒ පවුලේ ජයග්‍රහණය සුරක්ෂිත කර දීමට සහයවීමට වෙරොනිකා වෙනුවට ලිලී සැමර් ඉදිරිපත් වී සිටීම ද අගය කළ යුතුය.
වෙරෝනිකා අයිග්නර් (උපත 2003) පැරාලිම්පික් රන් පදක්කම් හතරක් දිනා ගත් ක්‍රීඩිකාවක්ය.එසේම සිව් වතාවක් ලෝක ශූරියක් වන අතර, දෘශ්‍යාබාධිත, පැරා-ඇල්පයින් ස්කීං කේෂ්ත්‍රයේ විශේෂඥයෙකි.2005 දී උපත ලද ජොහැන්නස් ද වෙරෝනිකා මෙන්මය.ඔහු ද මේ වන විට ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනා ගත් සුවිශේෂී ක්‍රීඩකයෙකි.
ජොහැන්නස්ගේ නිවුන් සොහොයුරිය වන බාබරා මේ වන විට ක්‍රීඩාව නොකරන අතර ඇය ද පැරා ඔලිම්පික් රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩිකාවක්ය.එසේම ලෝක සූරතා තරගාවලියක දී ඇය රන් පදක්කමක් ද දිනා ඇත.මේ කේෂ්ත්‍රයේ පැවත්වෙන ලෝක කුසලාන තරග ආකෘතිය ඇතුළේ බාබරා රන් සහ රිදී පදක්කම්ලාභිණියක ද වන අතර ඇය 2025 ජනවාරි මාසයේ දී ක්‍රීඩාවට සමු දුන්නාය.
වැදගත්ම කාරණය වන්නේ පවුලක් හැටියට එක්ව නැඟිටින්නට ඔවුන්ට ඇති හැකියාවය.ආබාධය යන්න පරාජයට සමාන පදයක් ලෙස සිතා ජීවිතයේ පසුබාන මිනිසුන්ට ආදර්ශයක් වන අයිග්නර් පවුල ලෝකයේ සිටින නොපසුබස්නා උත්සාහයෙන් එක්ව වැඩ කරමින් ජය ගැනීමේ හැකියාව ගැන පරමාදර්ශයක්ය.ඔවුන්ට අපව නොපෙනේ.එහෙත් අපට ඔවුන්ගේ විශිෂ්ටත්වය හොඳින් පෙනේ.
“හිම මත ලිස්සා යන වොන් ට්‍රැප් පවුල” (Von Trapp family on skis) ලෙස ඔවුන්ව වඩාත් ප්‍රකට අතර ඊට හේතුව වන්නේ ඔවුන් හිමමත ලිස්සා යාමට මෙන්ම සංගීතයට ද දක්වන දක්ෂතාවය ය. ඔවුන් මේ මොහොතේ ද ඉතාලියේ පැරා ඔලිම්පික් ගම්මාන රාත්‍රීන්වලදී සිය සංගීත දස්කම් ද කදිමට ඉදිරිපත් කරමින් සිටින බව සැළවේ.



