සටහන – පුලී
මාර්තු 12, LNW (කොළඹ): ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ගිල්වීම ඇතුළුව ඉහළම පෙළේ නාවික නෞකා 46ක් ඇමරිකානු හමුදාව ගිල්වා දමා ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි.
එක්සත් ජනපද හමුදා නිලධාරීන් ඒවා අල්ලා ගැනීමට වඩා ගිල්වා දැමීම විනෝදජනක ආතල් එකක් යැයි සිතූ ආකාරය ද ඔහු සිහිපත් කිරීමට අමතක නොකළේය.
කෙන්ටකි හි හෙබ්‍රොන් හි මෑතකදී පැවති රැලියකදී කතා කරමින් ට්‍රම්ප්, ඉරානයට එරෙහි පුළුල්, තීව්ර වන එක්සත් ජනපද-ඊශ්‍රායල මිලිටරි ව්‍යාපාරයක කොටසක් වූ මෙහෙයුම සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් සමඟ කළ සංවාදයක් මෙලෙස සැහැල්ලුවෙන් සිහිපත් කළේය.
හමුදා මෙහෙයුම් විස්තර කරමින් ට්‍රම්ප්, එක්සත් ජනපදය සහ එහි ඊශ්‍රායල හවුල්කරුවන් අතර සමීප සහයෝගීතාවය ඉස්මතු කළේ ද හරි උජරුවෙනි. තාක්ෂණික කුසලතා සහ හමුදා බලය අතිමහත් ලෙස ප්‍රදර්ශනය කිරීම තුළින් මෙම සන්ධානය දැනට සතුරාව තලා දමමින් සිටින බව ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයාට අනුව, ඔවුන් එල්ල කරනු ලැබූ ප්‍රහාර ඉතා ඵලදායී වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ට්‍රම්ප්ට අනුව ඔහුගේ ඉලක්කය වන්නේ ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද ගෙන යාමයි. එක්සත් ජනපද හමුදාව දින තුනහමාරක් ඇතුළත නැව් 46 ක් විනාශ කර සාගර පතුලේ ගිල්වූ බව පවසමින් ඔහු මේ පිළිබඳ පැවසීය.
විනාශ වූ නැව් ඉහළම තත්ත්වයේ තිබූ බව පැවසීමෙන් පසු, එක්සත් ජනපදය තමන්ගේම ප්‍රයෝජනය සඳහා යාත්‍රා අල්ලා නොගත්තේ මන්දැයි තමා විමසූ බව ට්‍රම්ප් කියා සිටියේය. ජනාධිපතිවරයාට අනුව, නිලධාරීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැව් ගිල්වීම “ආරක්ෂිත” සහ “ඒවා ගිල්වීම වඩාත් විනෝදජනක” බවයි.
නාවික වත්කම්වලට අමතරව, ඉරාන නායකත්ව ව්‍යුහය දැඩි ලෙස පිරිහී ඇති බව ද ට්‍රම්ප් උලුප්පවා පෙන්වීය.



