කොළඹ LNW: ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ මේ වන විට පුද්ගලයන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) ප්‍රකාශ කරයි.
නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව, මෙම අවතැන් වීම් ඉරාන පවුල් 600,000ත් – මිලියනයත් අතර ප්‍රමාණයකට බලපා ඇති බව සඳහන්.
යුද ගැටුම්වලින් ආරක්ෂාව පතා ටෙහෙරානය සහ ප්‍රධාන නගරවලින් ඉවත් වන වැසියන් රටේ උතුරු ප්‍රදේශ සහ ග්‍රාමීය කලාප වෙත ගමන් කරමින් සිටින බව UNHCR පෙන්වා දෙයි.
පසුගිය 28 වැනිදා ඉරානය වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගැටුම් ආරම්භ විය. එම ආරම්භක ගැටුමේදීම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ අතර ඉරාන රාජ්‍ය පාලනය වෙනස් කිරීමට ඇමරිකාව මැදිහත් වෙන බව පැවසුවද එය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හුදු ප්‍රකාශයකට පමණක් සීමා විය.
ඒ අනුව එරට නව උත්තරීතර නායකත්වයට අයතුල්ලා අලි කමෙනිගේ පුත්‍රයෙක් වන මොජ්ටාබා කමේනි පත්ව සිටින අතර ඔහු සිය ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කරමින් අවධාරණය කළේ මැදපෙරදිග කලාපයේ පවතින ඇමරිකානු කඳවුරු වහාම ඉවත් කරගත යුතු බවයි. එසේ නොවන්නේ නම් එම ස්ථාන වෙත අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවට නව නායකයා ප්‍රකාශ කර ඇත.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මේ වන විට 1,300කට අධික පිරිසක් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.


