කාටවත් අප රට නිරාගමික කරන්න ඉඩ දෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

 මාර්තු 15, කොළඹ LNW :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට සුවිශේෂ තැනක් ලබා දී ඇති බවත් බුදුදහමේ ස්ථාවරය ශක්තිමත් කිරීම, බුදුදහම ප්‍රවර්ධනය කරනවා සේම සෙසු ආගම් හා සංස්කෘතින්ට ආරක්ෂාව හා රැකවරණය මේ තුළින් ලබා දී ඇති නිසා අප රට තුළ බුදුදහමට මුල් තැන ලබා දෙමින් සියලුම ආගම් සුරක්ෂිත වන ආකාරයට රටේ සමාජ රටාව, ආගමික රටාව ක්‍රියාත්මක කළ යුතු බවත් අප රට නිරාගමික රටක් බවට පත් කරන උත්සාහයන්ට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි තරුණ බලවේගයේ තරුණයන් විසින් මිනුවන්ගොඩ ගලේදේවාල භූමිය වන්දනාමාන කරන්නට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ දන්සල හා එක්වෙමිනි.

ආගම දහම අප රටේ ජනතාව විශ්වාස කරන දෙයක් මෙන්ම ජනතාවගේ නිදහස් අයිතියක් බවත් මේ නිදහස් අයිතියට අත තියන්න කාටවත් හැකියාවක් නොමැති බවත් ආගම් ජාතීන් ජන කොට්ඨාස අතර සහෝදරත්වය මිත්‍රත්වය සංහිදියාව ප්‍රවර්ධනය කර සමගිය තුළින් සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කරන්නට අප උනන්දුවෙන් කටයුතු කළ යුතු බවත් රට නිරාගමික කරනවා වෙනුවට ජනතාව අතර සහෝදරත්වය මිත්‍රශීලීත්වය සමගිය ප්‍රවර්ධනය කර සංවර්ධිත රටක් නිර්මාණය කළ යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමක්‍රමයෙන් අප රටේ ආගම දහම සම්බුද්ධ ශාසනය ඇතුළු සියලුම ආගම්වල ආගමික ක්‍රමවේද වතාවත් පරිහානියට ලක් කර නිරාගමික රටක් නිර්මාණය කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන මොහොතක අද වගේ දිනක ගලේ දේවාලයේ මේ වැදගත් පුන්‍ය කර්මය ක්‍රියාත්මක කිරීම සමගි තරුණ බලවේගය ඉටු කළ වැදගත් ආගමික කාර්යක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.