*
Friday, March 29, 2024
spot_img

Latest Posts

බොරිස් ජොන්සන් ඉඟුරු දීලා මිරිස් ගත්තා ද? තෙල් හොයාගෙන ඒකාධිපතියන් ළඟ දණින් වැටෙන බ්‍රිතාන්‍ය අගමැති

යුක්රේනය ආක්‍රමණය කිරීම සමඟ රුසියාවේ බොරතෙල් සැපයුම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති පසුබිමක් තුළ මැදපෙරදිග බොරතෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය බවට පසුගිය දිනවල විදෙස් පුවත් වාර්තා කර තිබුණා.

මේ අතර, බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ තෙල් අවශ්‍යතාවය සඳහා සවුදි අරාබිය බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. මෙම නිල සංචාරයට බ්‍රිතාන්‍ය ආයෝජන අමාත්‍ය ජෙරල්ඩ් ග්‍රිම්ස්ටෝන් ද සහභාගී වීමට නියමිතයි.

සවුදි අරාබි නායක මොහොමඩ් බින් සල්මාන් සමඟ පෞද්ගලික මිත්‍රත්වයක් තිබෙන බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ රුසියාවේ තෙල් මත යුරෝපයේ යැපීම අවම කිරීමට ලෝකයේ අනෙකුත් තෙල් සැපයුම්කරුවන් සමඟ සන්ධානයක් ගොඩනඟා ගැනීම වැදගත් බැවින් මෙම සවුදි නිල සංචාරය අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇති බව යි.

ඒ අනුව, රුසියාවේ කෙණහිලිකම් වලින් ගැලවීමට අනෙකුත් රටවල් සමඟ සන්ධානගත වීම වැදගත් බවයි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රුසියාවෙන් තෙල් ලබා ගැනීම මෙම වසර අවසානයේ දී නතර කර දැමීමට බ්‍රිතාන්‍යය කටයුතු කරන බව ද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මීට ඉහත දිනක පවසා තිබුණා.

කෙසේවෙතත්, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කෙරේ චෝදනා ලබා සිටින මැදපෙරදිග රටක් වන සවුදි අරාබිය සමඟ සන්ධාන ගත වීම බලශක්ති අර්බුදය විසඳීමට ගත හැකි උපායමාර්ගයක් නොවන බවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ. ගතවූ සති අන්තයේදී ද සවුදි අරාබියේ රියාද් අගනුවර පුරුෂයන් 81 දෙනෙකුට මරණ දඬුවම පැණවීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉකුත් 2018 වර්ෂයේදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයට සෘජුවම වගකිව යුත්තේ සවුදි අරාබි නායක මොහොමඩ් බින් සල්මාන් බවයි එක්සත් ජනපද බුද්ධි අංශ පවසා තිබුණේ.

ඉඟුරු දීලා මිරිස් ගත්තා යන කියමන සිහිපත් කරමින් රුසියානු කෙණහිලිකම් දරාගත නොහැකිව බ්‍රිතාන්‍යය බලශක්ති අර්බුදයට මැදපෙරදිග සහාය පැතීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් පවසා සිටියේ මතුව ඇති බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන මිල පහත දැමීමට ගත හැකි ඕනෑම පියවරක් ගැනීම වැදගත් වන මුත්, ඒකාධිපතියකු ළඟ දණින් වැටීම කිසිසේත්ම ඊට පිළියම නොවන බවයි.

එමෙන්ම, බලශක්ති අර්බුදය සඳහා බ්‍රිතාන්‍ය රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය කෙටිකාලීන හා වගකීම් විරහිත බව ද කම්කරු පක්ෂ නායකවරයා චෝදනා කරනවා.

ඉන්ධන මිල පහත දැමීමට ආඥාදායකයකු ළඟ දණින් වැටෙනවාට වඩා, තෙල් නිශ්පාදකයන් වෙත හදිසි බදු අයකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම වඩා සුදුසු බවයි ස්ටාමර් පෙන්වා දෙන්නේ.

ගෝලීය තෙල් මිල නිසා උතුරු මුහුදේ තෙල් හා ගෑස් සමාගම් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ලාභයක් ලබා තිබෙන පසුබිමක් තුළ මෙසේ හදිසි බදු පැනවීමක් තුළින් බ්‍රිතාන්‍යයේ බලශක්ති බිල්පත් පහත දැමීමට හැකිවනු ඇති බව කම්කරු පක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සවුදි ආරාබිය ඔපෙක් තෙල් නිශ්පාදකයන්ගේ ගිවිසුමේ කොටස්කරුවෙකි. රුසියාවද එම ගිවිසුමේ කොටස්කරුවෙකි. යුක්රේන ආක්‍රමණය සමඟ බොරතෙල් මිළ ඉහළ යාම තුළ නිශ්පාදනය ඉහළ නැංවීමට සවුදි අරාබිය මැලිවෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ජොන්සන් ගේ සවුදි සංචාරයෙන් සවුදි අල්ෆනාර් සමූහය විසින් අපද්‍රව්‍ය වලින් ගුවන් ඉන්ධන නිපදවීම අරමුණු කරගත් උතුරු එංගලන්තයේ ටීස්සයිඩ් නගරයේ හරිත ඉන්ධන ව්‍යාපෘතියක් සඳහා පවුම් බිලියන 1 ක ආයෝජනයක් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වනවා.

යුක්රේන ආක්‍රමණය සිදුවීමට පෙර බොහෝ දෙනෙකුට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දුෂ්ටයකු වී තිබුණා. ඒ ආන්දෝලනාත්මක පාර්ටිගේට් සිදුවීම සම්බන්ධයෙන්. නමුත් යුක්රේන ආක්‍රමණය හමුවේ රුසියාවට විරුද්ධව නැඟී සිටීමටත් යුක්රේනයේ මානවවාදී මෙහෙයුම් වලට සහාය පළකිරීමටත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකිරීම හමුවේ එක් රාත්‍රියකින් ඔහු වීරයකු බවට පත්වූවා. යුක්රේන අර්බුදය තුළ ලොව ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවකු වන රුසියාවෙන් තෙල් ලබා ගැනීම නතර කර දැමීමට ඔහු තීරණය කළේ ද මේ නිසා.

කෙසේවෙතත්, ඊට පිළියම් ලෙස මානව හිමිකම් කඩවීම් දිනෙන් දින වාර්තා වන මැදපෙරදිග රාජ්‍යයක් වන සවුදි අරාබියේ පිහිට පැතීම තුළ මානව හිමිකම් වලංගු වන්නේ යුරෝපීය සුදු හමට පමණ ද යන පැණය මානව හිමිකම් ක්‍රියාකාරීන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකරනවා. මීට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, ඉකුත් අගෝස්තු මාසයේ තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථානයෙන් මුදවා ගෙන බ්‍රිතාන්‍යයට ගෙන්වා ගත් සරණාගතයන්ගේ නෛතික ලේඛන යාවත්කාලීන කිරීම ප්‍රමාද කරමින් ඔවුනට නීතිවිරෝධී සංක්‍රමණිකයන් සේ සැලකීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කිරීමයි.

ආර්ථිකය සුරක්ෂිත කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන කරුණු දෙකම තුලනය කරගනිමින් රටක් පවත්වා ගැනීම දැලිපිහියෙන් කිරි කෑමක් හා සමාන ක්‍රියාවක්. එකක් අනෙක සමඟ ගැටෙන වාර ගණන අනන්තයි. රටක් දියුණු කරන්න නම් මිනිසුන් මරා දැමුවත් කමක් නැතිය යැයි තර්ක කරන පිරිසකුත් අප අතර සිටිනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඉන්ධන මිල පහළ දැමීමේ මෙහෙයුමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සවුදි අරාබියේ පිහිට පැතීම තුළ ද මේ සංවාදය තීව්‍ර වීම වළක්වන්නට බැහැ.

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan