ඔලිම්පික් ආචාර ධර්ම කමිටුව ඉක්මන්වීම ක්‍රීඩාවේ සාමයට වැදගත්

නිශ්මං රණසිංහ ,මාර්තු 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ඊළඟ පරිපාලකයන් කවුරුන්ද යන්න තීරණය කරන නිලවරණය අප්‍රේල් 25 වන දා පැවත්වීමට නියමිතව තිබෙනවා.මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් යම් අපේක්ෂකයන්ගේ නම් ද එළියට පැමිණ තිබෙනවා.මේ සියල්ලට වඩාත් සාධාරණ සහ ක්‍රීඩා ප්‍රේමී පසුබිමක සිට වැඩ කරන්නට හැකි වාතාවරණයක් සැකසීම,ආචාර ධර්ම කමිටුව මත පැවරුණු වගකීමක් වෙනවා.

වත්මන් ඔලිම්පික් පරිපාලනය පෙන්වා දෙන්නේ ආචාර ධර්ම කමිටුව මඟින් ප්‍රශ්න කිරීම් සහ චෝදනාවලට ලක් වී සිටින පිරිස සඳහා නිලවරණයට ඉදිරිපත් වීම සඳහා ඉඩක් නොමැති බවය.එහෙත් මේ මොහොතට අවශ්‍යය කරන වෝහාරික විගණනය සම්බන්ධයෙන් ඉදරියට ඉඩ දී අප්‍රේල් 25 වන දා ඡන්දය පැවත්වීමට ඉඩ දෙන්නේනම්,ශ්‍රී ලංකාව තුළ පවත්වන මේ නිලවරණය වඩා් සාධාරණ සහ විවෘත මැතිවරණයක් වීමට අවශ්‍යය පසුබිම සැකසීම සඳහා ආචාර ධර්ම කමිටුවද නාමයෝජනා ලබා දීමට ඇති කාලය අවසන් වීමට පෙර ඔවුන්ගේ තීරණ ලබා දීම වැදගත්ය.

එසේ නොවුණහොත් පරීක්ෂණ පැවත්වෙන මට්ටමකදී ඉදිරිපත් වීම වැළක්වීම යනු යම් අයෙකුට තම අයිතිය වෙනුවෙන් නීතිය ඉදිරියට යාමට හැකි ඉඩක් නිර්මාණය කරන්නේය.එවැනි තත්ත්වයක යම් වාරනයක් පැනවෙන්නට ඇති ඉඩ නිසා සහ මෙරට ඇති අසමඟිය නිසා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක්ද ඇති විය හැකිය.මේ මොහොතේ දී එවැනි දෙයක් සුදුසු නැත්තේ 2028 ඔලිම්පික් උළෙල යනු ශ්‍රී ලංකාවට සහභාගීත්වයට වඩා වැදගත් වන උළෙලක් විය හැකි නිසාය.විශේෂයෙන් රුමේෂ් තරංග,තරුශි කරුණාරත්න වගේම නෙත්මි අහිංසා ද බොහෝ විට ජයග්‍රාහී පූවරු මත දැකිය හැකි මට්ටමකින් වැඩෙමින් තිබෙන බැවින් පරිපාලනයට ජාත්‍යන්තර මට්ටමෙන් වැටිය හැකි වාරන ආදිය අවම වන ආකාරයට කටයුතු කිරීම ආචාර ධර්ම කමිටුවේ සිටින අය ද පුරවැසි වගකීමේ කොටසක් ලෙස සිතිය යුතුය.

ඒ නිසා ආචාර ධර්ම කමිටුව දැනට පවතින චෝදනා විභාග කොට අවශ්‍යය කටයුතු කිරීමට අමාත්‍යංශයට සහ ජාතික ඔලිම්පික් කමිටුවට භාරදීම අප්‍රමාදව සිඳු කළ යුතුව ඇත.සාරධර්ම සම්බන්ධයෙන් වන නියාමනයක් ලෙස ගත හැකි ආචාර ධාර්මික තීරණයන් සමහර විට සදාචාරාත්මක වශයෙන් අභියෝගයට ලක්විමට ඉඩ තිබෙන අතර පරික්ෂා කරන පුද්ගලයාගේ දෘශ්ඨියට සාපේක්ෂව තීන්දු වන බැවින් සාරධර්ම මෙන්ම සදාචාරාත්මක බව කෙරෙහිද අවධානය යොමු කරමින් නිලවරණය වඩාත් සාධාරන සහ විවෘත මනසින් ක්‍රියාත්මක කරවීමට අදාළ පරීක්ෂණවල තීන්දු තීරණ ඉක්මණින් දැණුම් දීමට කටයුතු කළ හැකිනම් ඒ මේ නිලවරණය පැත්තෙන් ආචාර ධර්ම කමිටුවට කළ හැකි වැදගත් මැදිහත්වීමකි.