බිලියන ගණනකට බලපාන නීති මිලියන ගණනක් වෙනුවෙන් වෙනස් කළ හැකි ද?

Date:

අප මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සංගම් ගෙන්වා තමන් විසින් කරනු ලැබූ ක්‍රීඩා පණතේ සංශෝධන රටේ ක්‍රීඩාවට යහපත් බව කියා ගැන්මේ උත්සාහයක නිරතවෙන බව පැවසීය.එය එතරම් සාර්ථක ව්‍යාපෘතියක් නොවන අතර වත්මන් ක්‍රීඩා පරිපාලන කිහිපයක්ම එම සංශෝධනවලට එරෙහිව පැවරූ නඩු නිසා ඒවා ක්‍රියාත්මකවීම නවත්වන්නට නියෝගයක් පැමිණ ඇත.



මේ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා පරිපාලකයන් සහ අතුරු කමිටු සාමාජිකයන් කැඳවා ඔවුන්ගේ කැමත්ත මේ සඳහා ලබා ගන්නට උත්සාහ කරමින් සිටියි.ඒ අනුව ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටි සභාපතිවරුන්,ලේකම්වරුවන් අතුරු කමිටු ද ඇතුළුව ගෙන්වා ගෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණ යහපත් බවට ප්‍රකාශ කරගෙන ඇත.

මිලියන 22 ක් පම‍ණ වූ ජනතාව සඳහා සේවය සැපයීමේ දී පුද්ගලයින් 20 දෙනෙකු පම‍ණ පුද්ගලික හේතූන් මත අමනාප වීම ගැටලුවක් නොමැති බවත් ක්‍රීඩාවේ අ‍භිවෘද්‍ධිය හා ක්‍රීඩකයින් වෙනුවෙන් ගෙන යන මෙම ක්‍රියාදාමය වැළැක්විය නොහැකි බවත් අමාත‍්‍යවරයා මෙහිදි අවධාරණය ක‌ර තිබේ.



අමාත්‍යවරයා තවමත් හිර වී සිටින්නේ මේ කොදෙව්වේය.මිලියන 22 ක් සඳහා නොව ලෝකයේ ක්‍රීඩා කරන කෝටි සංඛ්‍යාත ප්‍රජාව වෙනුවෙන් එම ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර පරිපාලනයන් එකඟව ඇති ලෝක සම්ප්‍රදායන් හී පිහිටා කටයුතු නොකිරීම පාපන්දුවේ තහනමට හේතුව යන්නවත් තවම අමාත්‍යවරයාට සිහියට පැමිණ නැත.තහනම් කරමින් එවන ලද සටහනේ ඉතා පැහැදිළිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හැඩරුව අනුව නිලවරණය නොපැවත්විම හේතුවක් සේ මතු වී තිබියදීත්,ක්‍රීඩා අමාත්‍යවරයා කල්පනා කරන්නේ මේ රටේ මිලියන 22 ක් වෙනුවෙන් තමන්ට ලැබුණු ජනබලයට අනුව ලෝකයේ ක්‍රීඩා සංගම් තමන්ට එකඟ විය යුතු බවය.

මේ ක්‍රියාත්මක වන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයා බොහෝ ක්‍රීඩාවන් හී ජාතික සංගම් අනවශ්‍යය වියදම්වලින් බැහැර කර මේ රටේ සිව්කොණේ තරගවලට පමණක් සීමා කර ජාත්‍යන්තරයෙන් අත් කර තබනු ඇද්දැයි සැක සහිතය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ ආකාරයට ආශිර්වාද පතා ගෙන්වා ගත් කණ්ඩායමේ, ලෝක කුසලානයක් පවත්වා මාස කිහිපයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුප් ගෙවා ගැනිමට නොහැකි මට්ටමට පත් කර අය ද වූහ.එසේම නිලවරණවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඡන්ද දායකයන්ගෙන් ඡන්ද ලබා ගැනීමට නොහැකි වූ පිරිස් ද සිටි අතර අමාත්‍යවරයාට මේ මොහොතේ අවශ්‍යය ඔවුන් ඇතැමෙක් සම්බන්ධ ඓතිහාසික වැරදි නොව තමන්ට එකඟ වීමේ උවමනාව පමණි.

පසුගිය දිනෙක 2022 ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට තේරී පත් වූ දරුවන් හට මහ රැයක් පහන්වනතුරු ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ගතකිරීමට සිදුවීම පිළිබදව සිහිපත් කළ අමාත්‍යවරයා පවසා සිටියේ මළල ක්‍රීඩා සංගමයේ වයස අවුරුදු 70 ට වැඩි නිළධාරියෙකු හට එම තරගාවලිය සදහා සහභාගීවන දරුවන් පිළිබදව අමතකව යාම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව පෙන්වා දුන්නේය.නමුත් එහිදි තමන්ගේ අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද වගකීම් පැහැර හැර තිබෙන බව ඔහුම පැවසූ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර වෙනස් කරන බව ද පැවසීය.එම සිඳුවීම ගැන පරීක්ෂණයක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුව ද නමුත් ඔහු කිසිවක් කරන්නට අපොහොසත් වූ අතර එම සිඳුවීම් නැවත නැවත තමන්ට අවශ්‍යය කට ගැස්ම සඳහා යොදා ගැනීම පමණක් සිඳු කරමින් සිටින්නේය.

වසර 20 පමණ කාලයක් ක්‍රීඩා සංගම්හි නිළතල දරමින් සිටින පුද්ගලයින් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙයන් පිළිබදව වාර්ථාවක් ලබා දීමට පවා අපොහොසත් ව ඇති බව මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ චෝදනාවම ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට ද අදාළය.ක්‍රිඩා උළෙලවල් සඳහා මේ ආයතනවලින් විදේශගත වී නිරීක්ෂණ තනතුරු දැරූ සහ වසර විස්සකට වැඩි කාලයක් එහි සේවය කර ඇති අය අඩුම තරමේ සංචාරයකින් පසු නිරීක්ෂණ වාර්තාවක් ලබා දී ඇද්ද යන්න සහ එවැනි නිරීක්ෂණ හරහා වෙනස් කළ එක් දෙයක් හෝ පවසන්නයි අමාත්‍යවරයා පළමුව විමසිය යුතුව ඇත්තේ ඔවුන්ගෙන්ය.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරු, අතුරු කමිටු සභාපතිවරු හා ලේකම්වරු වන අර්ජුන රණතුංග, තිලංග සුමතිපාල, නිශාන්ත රණතුංග, උපාලි ධර්මදාස, කේ. මතිවානන්, අධිල් හසීම්, කුෂිල් ගුණසේකර, කමල් පත්මසිරි යන මහත්වරුන් සහභාගි විය.ඔවුන් ද අමාත්‍යවරයාගේ සියලු සංශෝධන සඳහා එකඟ වූවේනම් ඒ මිලියන ගණනක් වෙනුවෙන් බිලියන ගණනකට බලපාන දෙයක් වෙනස් කිරීමට හැකි යැයි අමාත්‍යවරයාට වැරදි පෙළඹවීමක් ලබා දී ඇත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...