සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 17, කොළඹ (LNW): දකුණේ ජනතාවගෙන් පමණක් ආණ්ඩුවක් සාදා වැඩක් නොමැති බවත්, නැගෙනහිර, උතුරේ, කඳුකරයේ ජනතාවගේ සහාය තිබෙන, සමගිය ඇති කරන ආණ්ඩුවක් සෑදිය යුතු බවත්, සියලු ජනතාව එක කුඩයක් යටට ගේන නව පන්නයේ ආණ්ඩුවක් සාදීමට අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක කුමාර දිසානායක මහතා කියා සිටී.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,
මේ අවුරුද්ද ඉතාමත් තීරණාත්මක අවුරුද්දක්. නව ආණ්ඩුවක් හදන, නව පාලනයක් ගේන අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත්කර ගත හැකියි. වව්නියාව ඉතා වැදගත් දිස්ත්‍රික්කයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අපි මේ පවත්වන සමුළුව ඉතා වැදගත් සමුළුවක්. මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. අලුත් ආණ්ඩුවක් හදන්න අපිට අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ හදන අලුත් ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කරුවන් වෙන්න එකතු වෙන්න කියලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඔබට ආරාධනා කරන්නයි අපි ආවේ. අපි මේ වැඩේ කරන්න ඕනෑ.
ඇයි ඒ? දීර්ඝ කාලයක් මේ පාලකයන් මේ රට පාලනය කළා. රටේ ජනතාවත් විශාල බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ මාරු කළා. ඒ දීර්ඝ කාලයෙන් පස්සේ රටටත් ජනතාවටත් සිදුවෙලා තිබෙන්නේ මොකක්ද? ඔවුන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමත් වෙලා තිබෙනවාද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගෙන තිබෙනවා. ඔවුන් නැවත වතාවක් බලය අරගෙන රට ගොඩනඟයිද? මෙච්චර කාලයක් බැරිවුණු එකේ තවදුරටත් බැහැ. ඒ ගොල්ලෝ අපේ රටත් ජනතාවත් විනාශයට පත් කළා. අනාගතයේත් අපේ රට ගොඩනගන්නේ නැති බව අපි දන්නවා. ඒ පැරණි අසාර්ථක විනාශකාරී පාලකයන් ඵලවා හැරලා ජනතාවගේ ආණ්ඩුවක් අපි හදාගනිමු.
ජාතිවාදය ඇති කළා, යුද්ධ ඇති කළා. අපිව බෙදුවා. උතුරෙත් දකුණෙත් කළ හැකි සියලු විනාශකාරී දේවල් සිදුකළා. 1948 නිදහස ලැබුණාට පස්සේ මේ පාලකයන් අපිව එකතු කළාද? 1949 පුරවැසි පනත ගෙනාවා. වතුකරයේ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1949 චෙල්වනායගම් වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය හැදුවා. වෙන්වෙන්න ඕන කියන්න පටන් ගත්තා. 1956 භාෂා ප්‍රශ්නයක් ඇති කළා. 1958 සිංහල- දෙමළ කෝලාහලයක් ඇති වුණා. 1965 “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියලා පෙළපාලි ගියා. 1976 වඩුක්කොඩෛයිවල සම්මේලනයක් තියලා, වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ගැන දෙමළ නායකයන් කියන්න පටන් ගත්තා. 1981දි යාපනයේ පුස්තකාලය ගිනි තැබුවා. 1983දි කොළඹ දෙවන හරස් වීදිය, හතරවෙනි හරස් වීදිය ගිනි තැබුවා. 1983න් පස්සේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණා. 2015 වෙනකොට වඳ කොත්තු ඇතිවෙන්න පටන් ගත්තා. 2017 වන විට වඳ ඇඳුම් එන්න පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. නිදහසෙන් පස්සේ හැමදාම සිංහල – දෙමළ ජනතාව තරහා වෙනවා. සිංහල – මුස්ලිම් ජනතාව තරහා වෙනවා. එකිනෙකා අතර ගැටුම් ඇති කරවනවා.
ලෝකයේ දියුණු වෙන කිසිදු රටක් මෙවැනි ජාතිවාදී ගැටුම් මධ්‍යයේ දියුණු වෙනවාද? අපට වඩා ප්‍රාදේශීය බෙදීම් තිබෙන ඉන්දියාව බලන්න. විවිධ භාෂාවන්, විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් තිබියදී අබ්දුල් කලාම් ජනාධිපති වෙනවා. සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනවා. අද කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වෙලා තිබෙනවා. ඉන්දියානු කොඩිය යටතේ සියලු ඉන්දියානු ජනතාව එකතු කරන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා. අපි වෛරය, වපුරලා, සැකය ඇති කර තිබෙනවා. යුද්ධ ඇති කර තිබෙනවා. මරාගෙන මැරිලා තිබෙනවා. මේ එකක්වත් සිංහල සහ දෙමළ ජනතාව අතර තිබූ ප්‍රශ්නද? අදත් මේ වේදිකාවේ සිංහල, දෙමළ අය එකට වාඩිවෙලා ඉන්නනවා. මම සිංහලෙන් කතා කරනවා. කෝකිලන් ඒක පරිවර්තනය කරනවා. අපි සහෝදරත්වයෙන් සිටි ජාතියක්. අපි අතර ආවාහ විවාහ සිදුවුණේ නැද්ද? ඔවුන්ගේ තෛපොංගල් උත්සවවලට අපි සම්බන්ධ වුණේ නැද්ද? අපි සමගියෙන් සිටි ජාතියක්. සිංහල – දෙමළ අය අතර කවදාවත් ජාතිවාදය තිබුණේ නැහැ. ජාතිවාදය ඇති කළේ දේශපාලකයන්. ඔවුන්ගේ එකම පැවැත්ම වුණේ ජාතිවාදය. ඔවුන්ගේ දේශපාලනය බෙදීම. අපේ රටට අලුත් දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ඉස්සරහට ගෙනයන දේශපාලනයක් අවශ්‍යයි. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලද සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගිය නිර්මාණය කරන ආණ්ඩුවක් අපට ඕනෑ. අපි ගහගත්තා, යුද්ධ කර ගත්තා. අපේ දරුවොත් ගහගන්න, යුද්ධ කරන්න ඕනෙද? ඒක වළක්වන්න ඕනෑ.
දකුණේ ජනතාවගෙන් විතරක් අපිට ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. නැගෙනහිර, උතුරේ, කඳුකරයේ ජනතාවගේ සහාය තිබෙන, සමගිය ඇති කරන ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සියලු ජනතාව එක කුඩයක් යටට ගේන නව පන්නයේ ආණ්ඩුවක් හදමු. බෙදුම්වාදය හදන, ජාතිවාදය වපුරන ආණ්ඩුවලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ජාතික සමගියෙන් තොරව අපේ රට හදන්න බැහැ. පළමුව අපි එය ගොඩනඟන්න ඕනෑ. දෙවැන්න හොරකම, වංචාව, නාස්තිය නතර කරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. මම අද උදේ අනුරාධපුරේ සිට කිලිනොච්චිය හරහා වවුනියාවට ගියා. පොලිස්පති තෝරන ඡන්දෙ තියෙනවා වගේ හැමතැනම කටවුට්, බැනර් ගහලා. මල්වෙඩි දාලා. පොලිස්පති යනු රජයේ නිලධාරියෙක්. ඔහුට රජය වගකීමක් භාරදී තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජනයාගේ ධනය. මෙහෙම පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? දවස් කිහිපයකට කලින් යාපනයේ ගුවන් හමුදා ප්‍රදර්ශනයක් තිබුණා. ආරක්ෂක නියෝජ්‍ය ඇමති කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. ඊට පස්සේ ආරක්ෂක උපදේශක, දවස් කිහිපයකට පස්සේ ශවේන්ද්‍ර සිල්වා, ඒ උත්සවයටම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. අපේ ගමේ ත්‍රී විලර් එකක් අරගෙන ඉස්පිරිතාලෙටවත් එහෙම එන්නේ නැහැ. මහජනයාගේ ධනය නාස්ති කරන පාලකයෝ. මෙහෙම රටක් හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයාට රට යන්න අයවැය ලේඛනයෙන් සල්ලි වෙන්කරනවා. ඒ සම්මත කරන්නේ අවුරුද්දටම. ඒ වෙන්කරන සල්ලි පිරිමහගෙන රට යන්න ඕනෙ. නමුත් අවුරුද්ද පටන් ගන්නකොටම සල්ලි ටික ඉවරයි. ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් ලක්ෂ 2000ක් රට යන්න රනිල් වික්‍රමසිංහ අනුමත කර ගත්තා. මෙහෙම පාලකයෙක් රටක් හදයිද? එක්සත් ජාතීන්ගේ සංවිධානෙට යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී සුරේෂ් වඩිවේල්, ඕස්ටේ්‍රලියාවේ යනකොට අනුරාධපුර ස.ජ.බෙ. මන්ත්‍රී රහුමාන්, උගන්ඩාවේ යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී ක්‍රීස් නෙල්සන් අරගන යනවා. කාගෙ සල්ලිද මේ? මේ ජනතාවගේ සල්ලි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්නේ මන්ත්‍රීලා ඒ පැත්තට ගන්න. මහජනයාගේ ධනය දේශපාලන සූදුවේ යොදවනවා.
පොලීසියේ මහත්වරුන්ට නිදහසේ රාජකාරිය කරන්න හැකි වෙන වාතාවරණය හදනවා. පොලිස් නිලධාරියාට නියෝග දෙන්නේ එහි ඉහළ නිලධාරියා මිස දේශපාලකයා නොවෙයි. අපි ඒ නිදහස හදනවා. ඒ නිසා මේ උදා වී තිබෙන වැදගත් අවස්ථාව අත් නොහැර ප්‍රයෝජන ගනිමු. දකුණේ විශාල පිබිදීමක් තිබෙනවා. 17වැනිදා මාතර තරුණ රැලියක් කරනවා. අප්‍රේල් 04 යාපනයට එනවා. හෙට අනිද්දා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කරන්න යනවා. උතුර, දකුණ හා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එකතුව විශාල ජනතා ව්‍යාපාරයක් හදනවා. අපට තිබෙන්නේ ජනතාවගේ හයිය විතරයි. එයාලා හාල්, වැසිකිළි පෝච්චි, තහඩු බෙදයි. ඒවා ගන්න ඕනෑ. හොරකම් කරපු ඒවයින් ටිකක් එහෙම හරි ගන්න එක නරක නැහැ. ඒ ගන්න ගමන් මාලිමාවට වැඩ කරන්න. පසුගිදා කොළඹ විශාල පිට්ටනියක් පිරෙන්න හාල් ගෙනත් බෙදුවා. ජනතාව දන්නවා මේ බෙදන්නේ හොරකම් කරපු ඒවා බව. ඉස්සර බෙදන කොට හිතුවේ අනේපිඬු සිටානෝ කියලා. සීනි බදුවලින්, පොල්තෙල් බදුවලින්, මහ බැංකුවට ගහලා, ගල්අඟුරු ගෙනත්, බෙහෙත්වලින් හොරකම් කළා. යාන්තම් එක්කෙනෙක් හිරේ. ඒ හොරකම් කළ ධනය තමයි ටික ටික බෙදන්නේ. ජනතාව දුකට පත්කරලා, දවස් පහක් කන්ඩ දීලා, අවුරුදු පහක් රට කනවා. මේ දේශපාලනය ජනතාව දැන් දන්නවා. ලංකාවේ මෑත ඉතිහාසයේ ලක්ෂ 69ක් ගත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත් ජනාධිපති කෙනෙක්, ගල් කැටයක්වත් ගන්නේ නැතිව ජනතාව පාරට බැහැලා පලවා හැරියා. එදා ජනතාව නොවෙයි අද ඉන්නේ. අද ජනතාව වෙනස් වෙලා. මෙතෙන ඉන්න බහුතර ජනතාව පළමුවෙනි වතාවට ජාතික ජන බලවේගයේ අපට ඇහුම්කන් දෙන අය. අද මේ අවස්ථාව අත් නොහැර පොර බදලා, වැඩ කරලා, මහන්සි වෙලා, ඔක්තෝබර් මාසය වෙන විට ලංකාවේ අලුත් පාලනයක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. වැඩ කරමු” ලෙස කියා සිටියේය.