රෂිකා හෙන්නායක මාර්තු 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ගෝලීය බලශක්ති සැපයුමේ ජීවනාලිය බඳු මැදපෙරදිග කලාපය මේ වන විට බිහිසුණු යුධ ගින්නකට මැදිව තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑතකදී හුවමාරු වූ ප්‍රහාර මාලාවත් සමඟ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත නිකුත් කර ඇති අතිශය තීරණාත්මක අනතුරු ඇඟවීම ලෝක දේශපාලන සමතුලිතතාවය සහ ගෝලීය වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක් කර ඇත.
ඉරානයේ 'සවුත් පාර්ස්' (South Pars) ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර්හි 'රස් ලැෆාන්' (Ras Laffan) බලශක්ති සංකීර්ණය ඉලක්ක කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ 'සවුත් පාර්ස්' සහ 'රස් ලැෆාන්' යන මධ්‍යස්ථාන ද්විත්වයම භූගෝලීය වශයෙන් එකම සාගරයට යටින් පිහිටි පොදු වායු නිධියක කොටස් වීමයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ජනාධිපති ට්‍රම්ප්, කටාර් රාජ්‍යයට එල්ල වූ මෙම ප්‍රහාරය "අසාධාරණ සහ අයුක්ති සහගත" බව ප්‍රකාශ කළේය.
විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති කරුණ නම්, ඊශ්‍රායල ප්‍රහාරය ගැන අමෙරිකාව “කිසිවක් නොදන්නා” බව පවසන අතරම, ඉරානයට එරෙහිව මෙතරම් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීම හරහා ට්‍රම්ප් පාලනය එක්තරා ආකාරයක “Good Cop/Bad Cop” භූ-දේශපාලනික ක්‍රීඩාවක නිරත වන බවයි. ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි තැබූ සටහන අමෙරිකාවේ සෘජු මැදිහත් වීම පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබා දෙයි:
“will massively blow up the entirety of the South Pars Gas Field”
ගුවන් ගමන් අවුල් ජාලයක
ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 112 සීමාව ඉක්මවා ගියේය. බලශක්ති මිල ඉහළ යාමත් සමඟ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව නෞකා ගමනාගමනයට බාධා එල්ල වීම සහ ගුවන් කලාප අනාරක්ෂිත වීම හේතුවෙන් ප්‍රධාන ගුවන් සමාගම් රැසක් සිය මෙහෙයුම් අත්හිටුවා ඇත
- Cathay Pacific: ඩුබායි සහ රියාද් වෙත යන සියලුම ගුවන් ගමන් එළඹෙන අප්‍රේල් 30 දක්වා අවලංගු කර ඇත.
- British Airways: අම්මාන්, බහරේන්, දෝහා, ඩුබායි සහ ටෙල් අවිව් වෙත යන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
- Qantas සහ Air New Zealand: ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට මෙම සමාගම් දැනටමත් පියවර ගෙන ඇත.
- ගෝලීය වෙළඳපොළ: දකුණු කොරියාවේ Kospi දර්ශකය 3% කින් ද, ජපානයේ Nikkei 225 දර්ශකය 2.8% කින් ද පහත වැටී ඇති අතර එය ආසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
“සිහින හමුදාවකට” යන ඩොලර් බිලියන 200ක අතිරේක බිල
යුද්ධයේ මූල්‍යමය පිරිවැය සලකා බැලීමේදී මෙය දැවැන්ත "රාජ්‍ය මූල්‍යමය උත්සන්න වීමක්" (Fiscal Escalation) ලෙස හඳුනාගත හැකිය. ඉරානය සමඟ පවතින ගැටුම සඳහා පෙන්ටගනය අතිරේක ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර, එය දැනටමත් අනුමත කර ඇති ඩොලර් බිලියන 901ක වාර්තාගත ආරක්ෂක අයවැයට අමතරව ඉදිරිපත් වූවකි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වන්නේ 2027 වන විට අමෙරිකානු ආරක්ෂක වියදම ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ නංවමින් “සිහින හමුදාවක්” (dream military) නිර්මාණය කිරීමයි. ඉරානය සමඟ යුද්ධයේ පළමු සතිය තුළ පමණක් අමෙරිකාව ඩොලර් බිලියන 11කට වඩා වැය කර ඇති බව වාර්තා වන අතර, මෙම අධික වියදම අමෙරිකානු දේශපාලනය තුළ මෙන්ම කොංග්‍රස් මණ්ඩලය තුළ ද දැඩි මතභේදයට තුඩු දෙනු ඇත.
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමේ ප්‍රතිවිපාක
හිටපු ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (Former Director of the National Counterterrorism Center) ජෝ කෙන්ට් විසින් මෙම ගැටුමේ තීරණාත්මක උපායමාර්ගික දෝෂයක් පෙන්වා දී ඇත. ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීම "නොකළ යුතුව තිබූ දෙයක්" ලෙස ඔහු හඳුන්වයි. කෙන්ට්ගේ විශ්ලේෂණයට අනුව, කමේනි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන යම් පාලනයකට යටත් කරමින් එය ප්‍රශ්නයක් වීමට ඉඩ නොදී රඳවාගෙන සිටි "මධ්‍යස්ථ" සාධකයකි.ඔහුගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති අතර, මෙය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තවදුරටත් වේගවත් කිරීමට සහ අන්තවාදී අදහස් වර්ධනය වීමට හේතු විය හැකි බවට බියක් පවතී. ටකර් කාල්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ජෝ කෙන්ට් අවධාරණය කළේ:
"was the last thing that we ever should have done"
දේශපාලන ක්‍රීඩාවලට මැදි වූ අහිංසක සිවිල් වැසියන්ගේ ඉරණම දිනෙන් දින ඛේදජනක වෙමින් පවතී. යුද්ධය බාහිරව මෙන්ම ඉරානය අභ්‍යන්තරය තුළ ද මර්දනකාරී ස්වරූපයක් ගෙන ඇත.
- බටහිර ඉවුරේ ඛේදවාචකය: බෙයිට් අවා (Beit Awa) ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට වැටුණු මිසයිල සුන්බුන් හේතුවෙන් පලස්තීන කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
- අභ්‍යන්තර මර්දනය: ඉරානය තුළ විරෝධතාවල නිරත වූ තිදෙනෙකු “දෙවියන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම” (waging war against God) යන චෝදනාව මත එල්ලා මැරීමට ඉරාන අධිකරණ පුවත් ඒජන්සිය වන Mizan වාර්තා කර ඇත.
- කලාපීය ව්‍යාප්තිය: සවුදි අරාබියේ රියාද් නුවරට වැටුණු සුන්බුන්වලින් සිවිල් වැසියන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මිසයිල ද ප්‍රතිප්‍රහාර මගින් විනාශ කර තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, මැදපෙරදිග කලාපය මීළඟට ගමන් කරන්නේ පාලනය කළ නොහැකි මහා පරිමාණ ගෝලීය යුද්ධයක් දෙසට ද යන්න ප්‍රශ්නකාරී වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශ සහ ඉරානයේ අනම්‍යශීලී ප්‍රතිචාර හමුවේ සාමය පිළිබඳ අපේක්ෂාවන් දිනෙන් දින වියැකී යයි. ලෝක බලශක්ති සුරක්ෂිතතාව සහ සාමය අතර ඇති සියුම් සමතුලිතතාවය බිඳී යාමට තව කොපමණ කාලයක් ගතවේද යන්න දැන් මුළු ලෝකයම හමුවේ ඇති බරපතලම ප්‍රශ්නයයි.




