ශ්‍රී ලංකාවේ රබර් වගා ව්‍යාප්තියට නව වැඩපිළිවෙලක්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ රබර් වගා වපසරිය වර්ෂ 2030 වන විට දෙගුණයකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී ආර්.එම්.යූ.බී.රත්නායක මහතා පවසයි.

රබර් වගාවේ වගා වපසරිය ව්‍යාප්ත කිරීම මෙන්ම එහි ඵලදායිතාව ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බවත් රබර් අපනයනය මගින් ශ්‍රී ලංකාවට හිමිවන විදේශ විනිමය ඉහළ නැංවීම එහි එක් අපේක්ෂාවක් බව ද ඒ මහතා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත්දා පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ඉඩම් තුළ නව වගාව ප්‍රවර්ධනය කරන බවත් ඒ සඳහා හෙක්ටයාර්යක් සඳහා රුපියල් 12500ක දිරි දීමනාවක් ලබාදීමට සහ රබර් කිරි කපන පුද්ගලයන් සඳහා දෛනික දීමනාවක් ලබා දීමට සිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය. ඊට අමතරව කපන රබර් කිරි සඳහා වැසි ආවරණ ලබාදීම, කිරි රැස් කරන භාජන ලබා දීමටද යෝජනා වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

කිරි කැපීමේ කම්කරු ශ්‍රමය නොමැති නම් නවක පිරිස් සඳහා දෛනික දීමනාවක් සහිතව දින පහක කාලයක විධිමත් පුහුණුවක් ලබා දීමට ද සිය දෙපාර්තමේන්තුවට සැලසුම් කර ඇතැයි රත්නායක මහතා සඳහන් කරන ලදී.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට පවතින රබර් වගාවන් සඳහා ද දිරි දීමනා ලබා දෙන අතර දෙපාර්තමේන්තුවේ එවැනි කාර්යයන් සඳහා මෙම වර්ෂයට රුපියල් මිලියන 296ක් වෙන් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර සහ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රබර් වගාව බහුලව පවතියි. එම භූමි ප්‍රමාණය ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇතැයිද රත්නායක මහතා තව දුරටත් සඳහන් කළේය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල , මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනී, මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ තරංගා බටගොඩ ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.