Home විශේෂාංග අලි පොර කනවා, අපි තැලෙනවා

අලි පොර කනවා, අපි තැලෙනවා

උපාලි කොළඹගේ

කොළඹ LNW:මැදපෙරදිග යුද්ධයට අඩමාසයක් ගෙවී ගොස්ය. තවම එය අවසන් වන ලකුණකුදු නැත. නමුත් දැන් දෙතුන් පැත්තම හොඳටම හෙම්බත් ය. මෙි ම්ලේච්ඡ ප්‍රහාරවලින් හොඳටම බැට කන්නේ අප වැනි කුඩා රටවල්ය. අලි අලි ගැටෙන විට තැලෙන්නේ අපමය.

මේ යුද්ධය අද හෙට නවතීද නැත්නම් දිගටම අල්ලා හිටීවිද යන්න පිළිබඳව මේ දිනවල කාගේත් අවධානය යොමුව තිබේ. ට්‍රම්ප් පැරදී ගෙන එන්නෙ, ඉරානය ට දිනන්න බෑ ආදී වශයෙන් එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව ද බොහෝ දෙනා අදහස් පළකරති. ඇතැම් විවේචනවල අප රටේ දේශපාලන කුලල් කා ගැනීම්වල සෙවනැලි ද වැටී තිබේ.

කෙසේ වුවත් මගේ පෞද්ගලික අදහස නම් මේ යුද්ධය ළඟකදී සම්පූර්ණයෙන් අවසන් නොවන බවයි. නමුත් එහි හැඩතල නම් නුදුරු දිනයක සිට වෙනස් වීමට ඉඩ ඇත. අභිමානය නිසා අනෙක් පාර්ශවයකට ජය අත්කර දීමට අකමැති මුත් මොනයම් හෝ දෛවෝපගත සිදු වීමක් නිසා යුද්ධය නවතිනවා නම් මේ යුද තුන් කට්ටුව කැමති වනවා නිසැකි. නමුත් සිදුුවිය හැකි අනික් දෙය නම් ලෝකය යුද්ධයට හුරු වීමය. යුද්ධය පවතිද්දීම ඒ ඒ රටවල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිර්මාණාත්මක ක්‍රමෝපායන්ට නැඹුරු වීමය. යුද්ධය අඩපණ වීමත් සමග මෙවැනි තත්ත්වයක් ඇති අතර එය සිදුවිය යුත්තක්ද වේ. යුද්ධයට මුල්වී සිටින නායකයන් තිදෙනාගේ නාකි විසයට මුළු ලෝකයම පලි නැත. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා මුළු ලෝකයේම ලොකු අප්පච්චි යැයි සිතා සිටියද එය එසේ නොවන බව දැන්වත් ඔහුට ඒත්තු යා යුතුය. ඇමරිකන් ජනතාවම පාඩමක් උගන්වන තුරු උද්දච්චකම අඩුකර ගන්නේ නැත් නම් එය ඔහුගේ මොඩකමය. ඔහු බලයට පත් වී වසර දෙකකින් එනම් මේ වසර අවසන් භාගයේ ජනප්‍රියත්වය උරගා බැලීමේ ඡන්ද විමසීමකට මුහුණ දිය යුතුව ඇත. එය ඔහුගේ අවසානයේ ආරම්භයද විය හැක.

ඊශ්‍රායලය මෙතැනදී සිදුකරනු ලබන්නේ හනුමන්තාගේ කාර්යභාරයය. මේ සිද්ධි දාමයේ ගිනි මුත්තා ඊශ්‍රායල් රාජ්‍ය නායකයා යැයි කිවහොත් එය නිවැරදි යැයි සිතමි.

මෙහිදී අවධාරණය කළ යුතු අනෙක් කරුණ නම් මේ දෙපාර්ශවයේ නරක තරමට ඉරානය හොඳ වන්නේද නැති බවය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් තඹ සතේකට මායිම් නොකරන ඉරාන පාලකයන් මිනිස් ජීවිත පිළිබඳව දක්වන්නේ සෘණ ආකල්පයක් බව පසුගියදා ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට සැලකූ ම්ලේච්ඡාකාරය කදිම නිදසුනකි.

කෙසේ වුවත් අදවන විට ඇමරිකාව ලෝකයේ කොන්වන ආකාරයක් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඊයේ ඇමරිකාවේ ත්‍රස්ත මර්දන අංශයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වීම ට්‍රම්ප් පාලනයට එරෙහි අභියෝගයක් වශයෙන් ද ලෝකය පුරා දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ. මෙලෙස තවත් ට්‍රම්ප් පාලනයේ ප්‍රබලයන් ඉල්ලා අස්වුවහොත් ට්‍රම්ප්ට තවදුරටත් රැඳී සිටිය හැකිද යන්න ගැටලු සහගතය. ස්පාඤ්ඤය, ස්වීඩනය යන රටවල නායකයන් සෘජුවද, එංගලන්තය, කැනඩාව, චීනය, රුසියාව, ජර්මනිය ඇතුළු රටවල් රාශියක නායකයන් බොහෝ දෙනකු ට්‍රම්ප් පාලනයට එරෙහි බව වක්‍රාකාරයෙන් දැනටමත් පෙන්වා තිබේ.

මෙහෙම ගියොත් නම් ට්‍රම්ප්තුමා ලොව මැද්දේ තනි වීලා යනුවෙන් තමයි කියන්න වෙන්නෙ.