Home පුවත් දේශපාලන පුවත් වියට්නාම් තානාපති Trinh Thi Tam ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි!

වියට්නාම් තානාපති Trinh Thi Tam ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :

වියට්නාම් ‍තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් ඊයේ (18) පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුවූහ.

ඒ පසුගිය 2026 ජනවාරි 20 වන දින සිට 23 වන දින දක්වා වියට්නාමයේ හැනොයිල් නුවර දී පැවැත්වුණ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14වන ජාතික සමුළුවේදී ලබාගත් තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කිරීම සඳහාය.

එහිදී තානාපති ට්‍රින් ති ටම් විසින් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වැනි ජාතික සමුළුවේ සුවිශේෂීතා සහ වැදගත්කම පැහැදිලි කරන ලදී.

මෙම ජාතික සමළුවේදී වියට්නාම් කොම්යුනිස්ට් පක්ෂය සහ වියට්නාමය වෙනුවෙන් 2026 සිට 2030 වර්ෂය සඳහා ඉලක්ක සම්පාදනය කළ බවත් 2035 වර්ෂය සහ 2045 වර්ෂය වෙනුවෙන් දීර්ඝ කාලීන ඉලක්කයන් දෙකකට රට මෙහෙයවීමට එකඟතාවය පළ වූ බවත් පෙන්වා දෙන ලදී.

එසේම වර්තමානයේ මතුව ඇති මැද පෙරදිග ගැටුම් සහ ගෝලීය අර්බුදය හමුවේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක එම තත්වයන්ට මුහුණ දීමට සූදානම් වන ආකාරය සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් 14වන ජාතික සමළුවේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස නැවතත් එම ධුරයට පත් වූ ටූ ලාම්ට සහ පත්වූ මධ්‍යම කාරක සභාවට ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සුබ පැතුම් එකතු කිරීමද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාශිනී යන අයද, වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව නියෝජනය කරමින් මෙරට වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙ වැන් හුවොං (Le Van Huong), පළමු ලේකම් නුයෙන් වැන් බින් (Nguyen Van Binh) තානාපතිවරියගේ ලේකම් රම්යා නිලංගනී යන එක්ව සිටියහ.