Home පුවත් දේශපාලන පුවත් ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය ගැන පැහැදිළි කළ ජනපති අනුර!

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය ගැන පැහැදිළි කළ ජනපති අනුර!

රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය. 

ඉරාන නාවික නෞකා මෙරටට පැමිණීමට කළ ඉල්ලීම සහ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා මත්තල ගුවන්තොටුපළට ගොඩබැස්වීමට කළ ඉල්ලීම එකම කාලසීමාවකදී ලැබුණු බව සඳහන් කල ජනාධිපතිවරයා , ගෝලීය බලවතුන් අතර පවතින ගැටුම් හමුවේ කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වමින්, මෙරට මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගැනීම සඳහා එම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කළැ බවද පැවසීය.

කිසිදු ජාත්‍යන්තර පීඩනයකට යටත් නොවී ජාතික ආරක්ෂාව සහ ගෞරවය රැකගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වූ බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

විවේචන එල්ල වුවද, යුදමය තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළට පැමිණීම වැළැක්වීමට මෙම අපක්ෂපාතී පිළිවෙත අත්‍යවශ්‍ය බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ,

“විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙනඑන ලද අයට ස්තූතිවන්ත වෙනවා. 

විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසි කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ  මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ. 

නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ. 

පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය. 

අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා. ” 

ඉන්ධන මිල ආයෙත් වැඩි වෙයිද?

“මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැවක් එන්න තිබුණා. අපිට බොරතෙල් එන්නේ ෆුජයිරා වරායෙන්. නමුත් ඔබ දන්නවා ෆුජයිරා වරායට සිදුවූ විපත. තව එන්න තිබුණා මෙට්‍රික් ටොන් 90,000ක නැවක් ඒක එන්නෙත් නෑ… බොරතෙල් නැව් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් තැන්. ඒ අනුව මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩරයක් කෝල් කළා. ඒ ටෙන්ඩරය මේ 17 වැනිදා විවෘත කළා. අපි 5 වැනිදා කෝල් කරපු ටෙන්ඩරය ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල් ජෙට් A1 සහ බොරතෙල් නැව් 2කට. ඩීසල් නැවකට අපි ටෙන්ඩරය ප්‍රධානය කළා අප්‍රේල් 6-7 එනවා, පෙට්‍රල් එකක් අපි ප්‍රධානය කළා අප්‍රේල් 16-17 එනවා, දැවිතෙල් එකක් ප්‍රධානය කළා අප්‍රේල් 12-13 එනවා, ජෙට් A1 එකක් ප්‍රධානය කළා අප්‍රේල් 10-11 එනවා.

එක ඩොලරයකින් තෙල් මිල වැඩිවුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩිවෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුව නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාම විසින් අපිට බලපෑමක් කරලා තියෙනවා. 

ලෝකේ පුරා රටවල් ඉන්ධන මිල වැඩිවීම ගැන තීරණයක් අරන් තියෙනවා. ආසන්න වශයෙන් 6% ඉඳන් 50% දක්වා තෙල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් අපි 8%යි වැඩි කරලා තියෙන්නේ හැබැයි ලෝකේ 49% දක්වා වැඩි කිරීමක් වෙලා තියෙනවා. තෙල් මිල සම්බන්ධව ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තිබෙනවා. අපිට 57%ක් සපයන්නේ තෙල් සංස්ථාව. අපිට තෙල් සංස්ථාව විතරක් තිබුණානම් මේක මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවේ ලාබ ලබනවායි කියලා කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි 43%ක් තියෙන්නේ පෞද්ගලික අංශයට. ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ. මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි. 

දැනට අපේ පනත අනුව සමාගම්වලට අවසර දීලා තිබෙනවා මිල වැඩිකරන්න. හැබැයි පනතෙන් තියනවා උපරිම මිල තීරණය කරන්නේ පෙට්‍රෝලියම් එක කියලා. අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියාට පනතේ අවශ්‍ය සංශෝධන කරලා නෑ. අපේ තෙල්වලින් බදු ආදායම එන්නේ බිලියන 20යි. ගිය අවුරුද්දේ අපිට බිලියන 240ක ආදායමක් ඇවිල්ලා තියෙනවා ඩීසල් සඳහා බද්දෙන්.”