*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අයි. එම්. එෆ්. එක බිල්ලෙක්ද ?

ධනවාදයේ (එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ) ආරම්බක බෞමික පරිමාව ජාතික රාජ්‍යයයි. එසේම එකී ආරම්බක ධනවාදයට ස්වකීය ධාවක ඇන්ජිම පනගන්වා ගැනීම සඳහා මුල් කාලයේදී රාජ්‍ය යන්ත්‍රය සම්පූර්ණයෙන් වගේ ස්වකීය පාලන හස්තය තුලට ගැනීමට සිදුවිය. ජාතික ඒකාධිකාරී ධනවාදය යනු එයයි.

ධනවාදය එයට අවශ්‍ය නව්‍ය ශ්‍රමිකයා නිර්මාණය කරගැනීම සඳහා පාසල් හා සරසවි පද්දතියක් නිර්මාණය කරගත් අතර එහි සියළු කටයුතු වල නිර්මාණකරුද, ක්‍රියාකරුද, බලධාරියාද වූයේ රාජ්‍ය ඒකාධිකාරයයි. එසේම නව ව්‍යුහයට අවශ්‍ය රෝහල් පද්දතියක් නව්‍ය සන්නිවේදන කටයුතු, ජාතික මංමාවත් පද්දතියක් මෙකී නොකී ක්‍රමයේ සියළු ආකෘතීන් නිර්මාණය කරගැනීමේ වගකීම්ද පැවරී තිබුනේ රාජ්‍ය ඒකාධිකාරයටමය. ඒ අනුව රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය යනු ධනේශ්වර ව්‍යුහය පනගන්වා ගැනීම සඳහා බාවිතාවූ යතුරක්ද විය.

විශේෂයෙන්ම මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ මූලික ව්‍යායාමය වූයේ වෙළඳපොල ක්‍රමය සකස්කර ගැනීම සහ පැරණි වැඩවසම් යටත් වැසියා නව වෙළඳපොල තුල ශ්‍රමිකයෙකු හා පාරිබෝගිකයෙකු බවට රූපාන්තරනය කර ගැනීමේ කාර්‍ය්බාරයයි. මේ ආරම්බය ගැනීම සඳහා ධනවාදයට විශාල පිරිවැයක් දැරීමටද සිදුවිය. උදාහරණ ලෙස ලාංකීය ධනවාදය නිර්මාණය කරගැනීම සඳහා පාසල් හා සරසවි පද්දතියක්ද, දුම්රිය, මහාමාර්ග සහ සිවිල් පරිපාලන පද්දතියක්ද අළුතෙන්ම සාදාගැනීමට සුවිසාල පිරිවැයක් සුදු ධනපතීන්ට දැරීමට සිදුවිය.

නමුත් ප්‍රාග්ධනයේ ගතික ස්වබාවය නම් එය නිරන්තරයෙන්ම ප්‍රසාරණය වීමට ලක්වීමයි. එබැවින් ප්‍රාග්ධන මෙසේ ප්‍රසාරණය වීමේ හේතුවෙන්ම ප්‍රාග්ධනයේ ස්වකීය ජාතික සීමාව එය විසින්ම බිඳ දමමින් එය බහුජාතික හැඩයක් අත්පත් කරගත්තේය.

එහිදී ප්‍රාග්ධනයේ මේ පාර ජාතික අන්තර්ගතය නිසා ඒවායේ දැවැන්ත නිශ්පාදනය ජාතික රාජ්‍යයේ සීමාව ඉක්මවා ගියේය. එබැවින් මෙකී බහුජාතික ප්‍රාග්ධනය රාජ්‍යයෙන් පිටත පවතින රාජ්‍යයට අයත් නැති රාජ්‍යයේ සීමාව පරයා ගිය පෞත්ගලික හිමිකාරීත්වයක ස්වරූපයක් ගත්තේය. ඒ හේතුවෙන් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය සිය ඉතිහාස කාර්‍ය්බාරය නිමාකරමින් ඉතිහාස වේදිකාවෙන් බැස ගියේය.

නමුත් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය විසින් නිර්මාණය කලයුතුව තිබූ වෙළඳපොල පාරිබෝගිකයා, ගෝළීය ආයෝජකයා සහ ඊට සමගාමීව වැඩෙන ස්වෛරී සිවිල් පුරවැසියා යන කේවල ජීවීන් ගොඩනැගීම එහි අදාල කාර්තුව නිමවෙන විටත් තුන්වෙනි ලෝකයේ රටවල් තුල සිදුවූයේ නැත. එබැවින් ලංකාව වැනි එවැනි තුන්වන ලෝකයේ රටවල්වලට රාජ්‍ය ඒකාධිකාරී සුබසාධන ධනවාදයේ පිහිට දිගින් දිගටම පැතීමට සිදුවිය.

ඒ අනුව ලාංකීය රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයට මුළුමහත් පරාදීන සමාජයම දිගටම රාජ්‍ය සුබසාධනයක් තුල නඩත්තුකිරීමට සිදුවූ අතර ලාංකීය ආර්ථිකයට කිසිදා ගෝළීය නිදහස් වෙළඳපොලේ කොටස් කරුවෙකු ලෙස බද්දවීමට නොහැකි විය. එහි ප්‍රතිපලය දිගින් දිගටම ආර්ථිකයේ සියල්ල රාජ්‍යය විසින්ම නඩත්තුකරගෙන යෑමට සිදුවීමය. ඒ අනුව රටේ ජනගහනයට සාපේක්ෂව ලොව විශාලතම රාජ්‍ය අංශයක් නඩත්තුකරගෙන යන රටක් බවට ලංකාව පත් විය. ප්‍රතිවටිනාකම් නූපදවන රාජ්‍ය අංශයේ වැටුප් සඳහා පමණක් මසකට රුපියල් බිලියන සියයක පමණ ධනස්කන්ධයක් රාජ්‍යයට වැය කිරීමට සිදුවිය.

මේ තත්වය තුල රාජ්‍යයේ ආදායම මෙන් දෙගුණයක වියදමක් ලාංකීය රාජ්‍යයට දශක ගානක් තිස්සේ පවත්වාගෙන යෑමට සිදුවූ අතර හිගය පියවාගැනීමට දිගින් දිගටම විදේශ ණය ගැනීමටද සිදුවිය. මෙවන් තත්වයක් තුල රටක් තුල බරපතල ගෙවුම් ශේෂ හිගයක් නිර්මාණය වීම සාමාන්‍ය තත්වයකි. මෙහිදී අයි.එම්.එෆ්. ආයතනය විසින් මේ අර්බූදය මීට බොහෝ පෙර කලෙක සිටම පෙන්වා දී තිබින.

එසේම රුසියානු බොල්ෂෙවික් විප්ලවයෙන් ආරම්බවූ හා සමාජවාදය ලෙස අක්තපත්‍ර සකස්කරගෙන ලොවවටා හඹාගිය දේශපාලන ප්‍රවර්ගයද මේ රාජ්‍ය ඒකාධිකාරී සුබසාධනවාදී ධනවාදයේම ෆොටෝකොපියක් බවද සඳහන් කලයුතුව ඇත. එසේම එකී සමාජවාදී රාජ්‍යයන්ගේ බිඳවැටීම සිදුවූයේද ප්‍රාග්ධනයේ නිශ්පාදන බලවේග ගෝළීයකෘතවූ යුගයක ජාතික වූ සියල්ල විශේෂයෙන්ම ජාතිකවාදී ආර්ථික දර්ශනයක් මත පදනම්වූ සියල්ල එසේ බිඳවැටීම අනිවාර්ය සන්තිතියක්ව පැවතුන බැවිනි.

ඒ කෙසේ නමුත් සෝවියට් රුසියාව බිඳවැටීමට පෙර පැවති පැරණි ලෝක පර්‍යාය තුල ලෝකයේ කේන්ද්‍රාභිසාරි ආර්ථික මොඩලයන් දෙකක් තිබින. නමුත් පසුව සෝවියට් ආර්ථික මොඩලය යනු කේන්සියානු ධනවාදයේම ව්‍යාජ පිටපතක් බවත් එකී කේන්සියානු (රාජ්‍ය ඒකාධිකාරී) ධනවාදය කල් ඉකුත්වූ ප්‍රපංචයක් බවත් ලෝක ඉතිහාසය විසින් අපට පෙන්වාදී අවසන්ය. ඒ අනුව එකී කේන්සියානු සමාජවාදය අනුව ආර්ථිකය හැඩගස්වාගත් සියළු පරිවාර කුඩා කුඩා රාජ්‍යයන්ද සෝවියට් සමාජවාදය සමඟින්ම අබාවයට ගිය බව ලෝකය ගැන තතු දන්නෝ දනිති.

මෙහිදී සෝවියට් සමාජවාදයට අනුව ගිය ඉන්දියාව අනූව දශකය මුලදී පමාවී හෝ නිවැරදි වෙමින් ස්වකීය ආර්ථිකයේ ගියරය වෙළඳපොල ධනවාදය වෙතට මාරු කරගන්නා ලදී. නමුත් කිසිදා එසේ කරගත නොහැකි වූ ලතින් ඇමෙරිකානු සහ උතුරු කොරියාව වැනි රටවල් සාගත සමාජවාදය තුල අතරමංවී සිටී.

ඒ අනුව ලාංකික ආර්ථික අර්බූදය විසඳාගත හැකි මග හා එය විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීමේ හා පිළියම් යෙදීමේ චිකිත්සකාගාර ඇත්තේ වෙළඳපොල ආර්ථික විශේෂඥ විද්‍යාගාර තුල බව අද අපට අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුව ඇත. ලංකාව තුල ඉන්නා ගොඩ පෙරකදෝරු ආර්ථිකය විශේෂඥ්ඥයන් මේ මොහොතේ අර්බූදය ගැන මොන අටුවා ටීකා ටිප්පන්න වැල් බයිලෙ ගැහුවත් නූතන අර්බූදය ගැන කලක සිටම විද්‍යාත්මකව පුරෝකතනය කලේ අයි.එම්.එෆ්. ආයතනයයි.

ප්‍රාග්ධනය පාර ජාතිකවූ ගෝළීකෘත ධනවාදයේ ඇති අති මූලික ලක්ෂනයක් නම් එය ලෝකය පුරාම තනි ඒකකයක් ලෙස ක්‍රියාත්මක වීමයි. මෙහිදී එක්දාස් නමසීය තිස් ගනන් වලදී බ්‍රෙට්න් වුඩ් සම්මේලනය විසින් එකී තනි ව්‍යුහයට අවශ්‍ය කරන පොදු මුදල් ඒකකයක් ලෙස රන් අවුන්සයකට නිශ්චිතවම ඩොලර් තිස්පහක් වනසේ ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ස්තාපිත කරන ලදී. එහිදී සමස්ථ ලෝකයටම පොදු වෙළඳපොල ආර්ථික ක්‍රියාවලිය තුල දුර්වල රටවල් තුල සිදුවන මුල්‍ය අවප්‍රමාණවීමද, උච්චාවචනයන්ද, ගෙවුම් ශේෂ අර්බූදයන්ද විසඳාගැනීමට තාක්ෂණ සහය සැපයීමට සහ ක්‍රමවත් ලෙස අරමුදල් සැපයීමට ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල පිහිටුවන ලදී. එසේම ඒ සඳහා අවශ්‍ය මුදල්ද දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය ආර්ථික සම්පත්ද සැපයීමට ලෝක බැංකුව පිහිටුවන ලදී.

මෙහිදී උක්ත අර්බූදය විසඳාගැනීමට ඇති එකී ජාත්‍යන්තර පිළියම් ප්‍රතික්ෂේප කරන සහ රට ගොඩ ගත මග ඇත්තේ ගෝළීය කක්ෂයෙන් මිදුන අපේම දේශීය ක්‍රමවේදයන් තුල පමනෙකැයි යෝජනා කරන සියළු අවරසික බලවේග යනු (මාක්ස්ට අනුවම පවසතොත්) ගෝළීය නිශ්පාදනයේ වර්ධනය විසින් පස්සට තල්ලුකරනු ලැබූ බංකොලොත් සුළු ධනේෂවරයේ කුහක දේශනාකාරයන් පමණි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan