මේ දවස්වල විපක්ෂය පැත්තෙන් කියවෙන ජනප්‍රියම කතාවක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ, ඒ නිසා ඔහුට මේ ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් දෙන්න බැහැයි කියන එක. ඒ වගේම වික්‍රමසිංහ මහතා යමක් කරන්න උත්සාහ කළත් ඔහුට ජනවරමක් නැති නිසා ඒ කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැයි කියන එකත් ඔවුන් කියනවා.
බැලූ බැල්මට මේ කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වෙන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා ජනතාවගේ සෘජු ඡන්දයෙන් නෙවෙයි. ඔහු ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා, ජනතාව ඒක තමන්ගේ ඡන්දයෙන් අනුමත කරලා නැහැ තමයි. ඔහු ජනාධිපති ධුරයට පත්වෙන්නේ පාර්ලිමේන්තුව තුළ පැවති ඡන්ද විමසීමකින්.
අපි මේ කතා කරන්න යන මාතෘකාවට අදාළව මූලිකම පදනම මතුවෙන්නෙත් එතනින්ම තමයි. ඒ කියන්නේ, වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුණේ සාමාන්‍ය තත්වයක් යටතේදී නෙවෙයි කියන එක. ඒක අතිශයින්ම සුවිශේෂී තත්වයක්. මෙතෙක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව වීදී බැහැලා, ජනාධිපති කාර්යාලයට සහ ජනාධිපති මන්දිරයට කඩා පැනලා ජනාධිපතිවරයෙක්ව තනතුරින් ඉවත් කරපු මොහොතක් ඒක.
අද වෙනකොට බොහෝ අය හිතාමතාම අමතක කරන දෙයක් තමයි මීට අවුරුද්දකට කලින් මාර්තු – අප්‍රේල් මාස වෙනකොට රටේ තිබුණේ මොනවගේ වාතාවරණයක්ද කියන එක. දවස් ගණන් තෙල් – ගෑස් පෝලිම්වල ඉන්න සිද්ධ වුණ, ඒ පෝලිම්වල මිනිස්සු හෘදයාබාධ හැදිලා මැරුණ, සමහර පෝලිම්වල මිනිස්සු රණ්ඩුවෙලා මිනීමරාගත්ත, බඩුමිල රොකට් වේගයෙන් ඉහළ ගිය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා හිටිගමන් හිඟවුණ, දවසට පැය හතරක් පහක් විදුලිය කැපුණ, තමන්ගෙ රැකියාවක් – ව්‍යාපාරයක් හරියකට කරගන්න බැරිවුණ, ළමයෙක්ව හරියට පාසලකට යවාගන්න බැරිවුණ, රට සංචාරකයින් එන්නේ නැතිව ගිය කාලයක් ඒක. ඒ තත්වය තිත්තම වෙලා තමයි මිනිස්සු පාරට බැස්සේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේදී සිදුකරපු විශාල බදු කප්පාදුව, ඇමරිකානු ඩොලරයේ අගය කෘතීමව රුපියල් 200 ආසන්නයේ දීර්ඝ කාලයක් පවත්වාගෙන යාම, කිසිම පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම තරයේ ප්‍රතික්ෂේප කිරීම වගේ හේතු ගණනාවක් ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය අර්බුදය පුපුරා යන්න බලපෑවා.
ඉතින් ඒ මොහොත වෙනකොට මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩයන හැටි ගැන කතාබහ කෙරුණු හැම තැනකදීම වගේ ඉදිරියට ආපු පළවෙනි යෝජනාව වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යන එකයි. මුලින් මුලින් විද්වතුන්ගේ මට්ටමෙන් සහ දේශපාලනඥයින්ගේ මට්ටමෙන් කරළියට ආපු මේ යෝජනාව පසුව අර්බුදය උත්සන්න වෙද්දී සමස්ත සමාජයේම පොදු ඉල්ලීමක් බවට පරිවර්තනය වුණා. තද වාමාංශික දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් හැරුණාම IMF යන්න එපා කියලා හෝ IMF යන්න ඕනෙ නැහැ කියලා කවුරුවත් කිව්වේ නෑ. වෙනෙකක් තියා සාමාන්‍යයෙන් IMF විරෝධී දේශපාලන උරුමයක් තියෙන ජනතා විමුක්ති පෙරමුණ පවා ඒ මොහොතේ IMF විරෝධයක් පෙන්නුවේ නෑ. මොකද එහෙම විරෝධයක් පෙන්වන්න ගියා නම් ඔවුන්ටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න සිදුවෙන තත්වයක් රටේ තිබුණු නිසා.
ඒ අනුව පැහැදිලිවම කියන්න පුළුවන් ඒ මොහොතේ රටේ මූල්‍ය අර්බුදයට විසඳුමක් හොයාගන්න IMF යන්න ඕනෙ කියන එකට ජනවරමක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා හැටියටත් මුදල් ඇමතිවරයා හැටියටත් වැඩබලන ජනාධිපතිවරයාට හැටියටත් පසුව පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගත් විධායක ජනාධිපතිවරයා හැටියටත් කළේ සහ අදටත් කරමින් ඉන්නේ එකී IMF වැඩසටහන සාර්ථක කරගැනීමට කටයුතු කරන එකයි. එහෙම බලනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට ජනවරමක් දැනට අවුරුද්දක් තිස්සේම තියෙනවා. ඒක නැහැයි කියලා කියන්න කාටවත් බෑ.
ඒ වගේම මීට අවුරුද්දකට කලින් ජනතාවගේ බලකිරීම වුණේ තෙල් – ගෑස් පෝලිම් නැතිකරන්න, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකවත් හිඟයක් නැතිව ලබාදෙන්න, බඩුමිල ඉහළ යන වේගය පාලනය කරන්න, මිනිස්සුන්ට තමන්ගේ රැකියාව හෝ ව්‍යාපාරික කටයුත්තක් කරගන්න පුළුවන් වාතාවරණයක් හදන්න, ළමයින්ට පාසල් ගිහින් ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න, සංචාරකයින් ආපසු මේ රටට එන වාතාවරණයක් හදන්න යනාදී ඒවා. සරලව කිව්වොත් අපට පොඩ්ඩක් හුස්ම ගන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි ජනතාව කිව්වේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වෙනකොට කරමින් ඉන්නේ ඒ ඉල්ලීම් ඉටුකරන එක. ඒකත් ජනවරමක් තමයි.
මෙතනදී තව දෙයක් තියෙනවා. බංකොලොත් භාවයට ඇදවැටුණු රටක් එතනින් ගොඩගන්න එක ලේසි නෑ. ඒක කාගෙ කාගෙත් ඇඟ රිදෙන වැඩක්. බදු වැඩිකරන්න සිද්ධ වෙනවා, සහනාධාර කප්පාදු කරන්න වෙනවා, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා … ඒවාට අදාළව විවිධ පාර්ශ්ව වෙතින් විරෝධතාත් එල්ල වෙනවා. එහෙම වෙලාවට තමනුත් හොඳයි කියපු වැඩපිළිවෙලක් දිහාවට ඇඟිල්ල දික්කරනවාට වඩා තනි පුද්ගලයෙක් දිහාවට ඇඟිල්ල දික්කරන එක පහසුයි, දේශපාලනිකවත් වාසිදායකයි. විපක්ෂය මේ වෙලාවේ ජනවරමක් ගැන මතුරන්න පටන් අරන් තියෙන්නේ ඒකයි.
~ රජිත විරාජ්
ප.ලි. –
මේ පැහැදිලි කිරීම මාතෘකාව ගැන. මම මේක කොහොම කිව්වත් මේ කතාවට දේශපාලනිකව විරුද්ධ අය කියන්නේ මම රනිල්ට කඩේ යනවා කියලා තමයි. ඉතින් ඒ මහත්තුරුන්ට නෝනලාට මහන්සි වෙන්න දෙයක් නැතිවෙන්න මංම මාතෘකාවට “පිළිවෙතින් කඩේ යමු” කියලා දැම්මා. දේශපාලන පක්ෂ හදාගන්නෙම කොහොම හරි බලය අල්ලාගන්න. ඒ නිසා ඒ අය බලන්නේ කොයි මොහොත වුණත් තමන්ගේ බලය වෙනුවෙන් යන ගමනේදී වාසියට පෙරළාගන්නයි. ඒක පක්ෂ දේශපාලනයේ හැටි. නමුත් පක්ෂ දේශපාලනයට පිටින් ඉන්න අයට පුළුවන් නිශ්චිත මොහොතකදී රටට තියෙන සීමිත දේවල් අතරින් හොඳම දේ මොකක්ද කියලාවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න …