කොළඹ LNW:සතියේ දේශපාලන විග්‍රහය
ගෙවුණු සතියේ වැඩිම අවධානයක් යොමුව තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාවේ විවාදය දෙසටයි.
තවදුරටත් ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම විසින් එම විශ්වාසභංගය වැඩි ජන්ද 42කින් පරාජය කරවීමට කටයුතු කළා.
ආරම්භයේ පටන්ම පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණේ මෙම විශ්වාසභංගය පරාජය කරන බවටත් කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටින බවටත්.
2022 ජන අරගලයෙන් පසු වත්මන් ආණ්ඩුව,සම්බන්ධයෙන් වන ජන මතය විවාදයට තුඩු දී තිබෙන පසුබිමක ආණ්ඩු පක්ෂයේ පෙනී සිටීම වෙනුවෙන් මහජන එකඟතාවක් ඇත්ද යන්න ඇත්තේ පැහැදිලි බවක් නෙවෙයි.
ජනතා නැගිටිමකින් තුනෙන් දෙකක බලයක් සහිතව සිටි ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් ගෙදර යැවූ දේශපාලන පසුබිමක රාජ්‍යයේ අඛණ්ඩතාව වෙනුවෙන් ඔවුන් විසින්ම ජනාධිපතිවරයෙක් පත්කරගෙන පාලනය ගෙන යාම බහුතරයක් වූ එම කණ්ඩායම විසින් කරගෙන ගියද මේ වන විට ජනතාව අතර ඔවුන් කෙරෙහි ඇති ප්‍රසාදය 2019 සිටි තත්ත්වයෙන් බොහෝ වෙනස් වී තිබෙන බව පිළිගන්නට සිදුවෙනවා..
ඒ අනුව ජන මතය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයක් වෙනුවට තාක්ෂණික පෙනී සිටීමකට එය සීමා වී ඇති බවටත් කෙනෙකුට තර්ක කළ හැකියි.
කොහොමත් පොදුවේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය බිඳ වැටී ඇති බව නම් පිළිගැනීමට සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල දී 225ට ජනතාව හෙන ඉල්ලන්නේ එම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන්.
ඒ අනුව කථානායක මහින්ද යාපා හරි වුණත් වැරදි වුණත් තවමත් බහුතරයක් සිටින ආණ්ඩු පක්ෂයකට සිය අභිමානය රැක ගැනීම වෙනුවෙන් හැකි වෙර යොදා විශ්වාසභංගයක් පරාජය කිරීමට කොහොමත් මැදිහත් වෙනවා. එය සරළ දේශපාලන කාරණයක්.
එහෙම නැතුව මෙතැනදී කතානායක යාපා පාරිශුද්ධත්වයට පත්වීමක් වෙන්නේ නැහැ.
ආසන්නතම ළඟම උදාහරණය තමයි හිටපු සෞඛ්‍ය ඇමති ඒ වගේම පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට සිදුවුණ දේ.
රඹුක්වැල්ල ඇමතිවරයා පවිත්‍ර කිරීමට පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂයට හැකි වුණත් භූමියේදී එය එසේ පාලනය කරන්න හැකි වුණේ නැහැ.
කෙහෙළියගේ අත් දෙකට මාංචු වැටුණා. නඩුව ඉවරවෙනකම් මහේස්ත්‍රාත් උසාවිය ඇප ලබා දීමත් ප්‍රතික්ෂේප කළා.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වන විශ්වාසයේ තරම එවැනි සිදුවීම් වලින් පැහැදිලි කරගත හැකියි.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන පසුබිමක තීන්දුව පාලනය කරන්න සජිත්ට හරි අනුරට හරි රාසමානික්කම්හැට හරි කියාවක් නැහැ. ඕක තමයි සරළ දේශපාලන කාරණය.
මහින්ද යාපා අබේවර්ධන වත්මන් කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව එන්නේ ඔන්ලයින් පනත සහ පොලිස්පති පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිදු වුණ අලකලන්චියත් එක්ක.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පවා නොතකා ඔන්ලයින් පනත සම්මත කිරීමට කථානායකවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් විශාල ලෙස අවධානය යොමුකළ කාරණයක්.
ඒ වගේම තමයි පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම ස්ථිර කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ කථානායකවරයාගේ හැසිරීම.
අවසානයේ ඉතිහාසයේ ප්‍රථම වරට කථානායකවරයෙකුට උත්තරීතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාවත් එල්ල වුණා.
කොහොමත් පසුගිය කාලය පුරා ඒ කියන්නේ විශේෂයෙන් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාගේ පාලනය යටතට පාර්ලිමේන්තුව පත්වූ දා සිටම එහි විනිවිදභාවය,අපක්ෂපාති බව යන කාරණා සම්බන්ධයෙන් තිබුණේ හොඳ වාතාවරණයක් නෙවෙයි.
කථානායකවරයාගේ පාක්ෂිකභාවය වරින් වර ඉස්මතුවීම සිදුවුණ අතර ඔහුට ස්වාධීනත්වය නැති බව හොඳටම පෙනෙන්ට තිබුණ කාරණයක්.
කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර සම්බන්ධයෙන් හෝ ඔහුට සෘජු මැදිහත්වීමක් කරන්න හැකි වුණේ නැහැ. මුදල් කාරක සභාවත් ඔහේ යන්න දෙමින් තිබුණ තත්ත්වයක් පැවතුණේ. කෝප් එකට අලුතෙන් පත්වුණ සභාපති රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාටත් විරෝධය දක්වමින් දැන් මන්ත්‍රීවරු ඉන් ඉවත් වෙමින් සිටිනවා. ඔන්න ඔහොමයි දැන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වන විශ්වාසය පළුදු වෙමින් තිබෙන්නේ.
කොහොමත් ඔය පත්වීම පසුපසත් බල දේශපාලනය ක්‍රියාත්මකයි. ඒක තමයි අපේ වගේ රටක ස්වභාවය. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පටු වෙන්න පටු වෙන්න රිංගල යන්නේ සටකපට පාලකයෝ.
රාජපක්ෂ කඳවුරෙන් මෙන්ම වික්‍රමසිංහ කඳවුරෙන් පණිවිඩය ලැබෙන ආකාරයට මහින්ද යාපා කථානායකවරයා හැසිරුණා කියන එක දැන් බොහෝ දෙනා චෝදනා කරනවා.
පාර්ලිමේන්තුව තුළ කථානායකවරයා ස්වාධීනව ක්‍රියා කළ යුතු වුවත් මහින්ද යාපා අබේවර්ධන යුනු රාජපක්ෂ කඳවුරේ නියෝජනයක්. ඔහු කොහොමත් රාජපක්ෂලාට අවනතයි. දැන් රනිල් වික්‍රමසිංහටත් අවනතයි. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය වැඩිවෙන්න මේ සියල්ල බලපා තිබෙනවා.
මහින්ද යාපා නටන්නේ මහින්ද යාපාගේ වන්නම නෙවෙයි. මේ කාලය ගත්තොත් රනිල් රාජපක්ෂ වන්නම. ඒකට ඇත්තටම මහින්ද යාපා හොඳට ගැළපෙනවා. ඒකේ විවාදයක් නැහැ.
කොහොමත් මේ කථානායකට ස්වාධීන පැවැත්මක් නැහැ. ඔහු යැපෙන්නේ විශේෂයෙන් පොහොට්ටුව මත. පොහොට්ටුවේ නායකයින් මත. ඉතින් ඔහු පෙරළා ඊට කළගුණ සැලකිය යුතු වෙනවා. මෙවැනි පරපෝෂිත තත්ත්වයක ඔහුට ආණ්ඩුවේ පැත්ත ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නැහැ.
ඉතින් මේ මහින්ද යාපලා හරහා අපට පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකේය දේශපාලන දේහයේ පිරිහීම නොවෙයිද? දියවන්නාව හොඳටම බොරවෙලා කියන එක නෙවෙයිද?
මහින්ද යාපා අබේවර්ධන කතානායකට එරෙහිව විපක්ෂයේ පොදු මතය ලෙස පෙනෙන්නට තිබුණේ ධූරයට නිගරු නොකර ඉල්ලා අස්වන ලෙසයි.
කොහොමත් එවැනි ස්වාධීන තීන්දුවකට යොමුවීමක් ගැන නම් මේ රටේ සාතිශය බහුතරයක් දේශපාලකයින් ගැන විශ්වාසයක් තබන්නට බැහැ.
ඖෂධ ජාවාරමකට චෝදනා ලබා සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ සිදුවීමම ඊට හොඳම උදාහරණයක්. අත්දෙකට මාංචු වැටෙනකම් ඇමති පුටුව අතහැරියේ නැහැ. ආණ්ඩුවත් කළේ සෞඛ්‍ය ඇමතිකම පරිසර ඇමැතිකමට මාරු කරපු එක.
ඕක තමයි අපේ බිමේ දැනට පවතින දේශපාලන යථාර්තය. ඒක මහින්ද යාපා අබේවර්ධන කථානායකගෙන් වෙනස් වෙන්නේ නැහැ. විශ්වාසභංගයත් පරාජය කිරීමේ ගැම්මෙන්ම ඊළඟ දවසේ ඇවිත් අර උඩ පුටුවෙන් වාඩිවෙයි.
බැසිල්ගේ කේන්තිය රනිල්වත් බංකොලොත් කරයිද?
සමාජයක් ලෙස අපි තවදුරටත් ජාතික මැතිවරණයක් අපේක්ෂාවෙන් පසුවන්නෙමු.
ආණ්ඩු පක්ෂය විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව අඛණ්ඩව වෙහෙසෙමින් සිටින්නේ මහ මැතිවරණයක් කැඳවා ගැනීමට.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක එකඟතාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්න පුළුවන්.
ඉතින් පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම උත්සහ කරමින් ඉන්නේ මේ මහ මැතිවරණය ගෙන්වා ගැනීම වෙනුවෙන්. මහ මැතිවරණයක් ආවොත් UNP එකට මොකද වෙන්නේ කියල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොදින්ම දන්නා නිසා මේ මහ මැතිවරණ කතාවට වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැමැත්තක් නැහැ කියල තමයි වාර්තා වෙන්නේ.
ඒ නිසාම වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුවට කියල තියෙන්නේ මහ මැතිවරණයක් ඕන නම් 113ක ලිස්ට් එකක් අරන් එන්න කියල. රනිලුත් තමන්ගේ අභිමානය තුට්ටු දෙකට දාන්නේ නැහැ. මොකද අද අද රාජපක්ෂලා ඔලුව උස්සගෙන ඉන්නවා නම් ඒ තමන් නිසා කියන්න රනිල් දන්නා නිසා. ඒ තමයි රනිල්. බැසිල් මොළ හතකින් වැඩකරනවා කියල ප්‍රසිද්ධ වුණාට රනිල් බැසිල්ට ගහන්නේ තනි මොලෙන් වීම තමයි විශේෂත්වය.
කොහොමත් වැඩේ සමථයකට ගේන්න ඕන නිසා රනිල් – බැසිල් දෙකට්ටුව දිගටම සාකච්ජා කරනවා. නමුත් පැහැදිලි එකඟතාවකට එන්න නම් තවම හැකිවෙලා නැහැ.
මේ අස්ථාවර තත්ත්වය ගැන බැසිල් රාජපක්ෂ ඉන්නේ බොහොම කණගාටුවෙන් කියලත් කියවෙනවා. පොහොට්ටුවේ ජාමේ බේරගන්න වෙන්නේ නම් ඉතින් මහ මැතිවරණයකින් තමයි. නැත්නම් ඉතින් හෝදලම යනවා කියල පොහොට්ටුවට තක්සේරුවක් තියෙනවා.
මාධ්‍ය හමුවල බයිලා ගැහුවට ඇත්ත තත්ත්වය ඔවුන් හොඳටම දන්නවා. පොහොට්ටුව ඔය මට්ටමින් හරි ඉන්නේ රනිල් වික්‍රමසිංහ නිසා කියලත් ඔවුන් දන්නා නිසා ඕනෑවට වඩා රනිල්ව ප්‍රෙෂර් කරන්න යන එකෙන් වැඩේ වරදිලාම යනවා කියලත් පොහොට්ටුවේ කණ්ඩායමක් කතාවෙලා තියෙනවා.
ඒ වගේම තමයි තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් මැතිවරණ ගැන අවසන් තීරණයකට ඇවිත් නැහැ කියල තමයි කියවෙන්නේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වගේ රැළියක් කුලියාපිටියෙන් ආරම්භ කළාට දැන් යළි නිහඬ කාලයක් ගෙවෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වෙනවද නැද්ද කියන එක තවම තීරණය කරලා නැති බව සඳහන්.
කොහොම වුණත් මැතිවරණ සිතියම සම්බන්ධයෙන් පවතින්නේ දෙගිඩියාවක්. බලය තියෙන කවුරුත් බලය අතහරින්න කැමති නැහැ. දේශපාලන තලයේ ඒක තමයි පරම සත්‍ය. නමුත් ප්‍රශ්නය වෙන්නේ රට බංකොලොත් කරන්න වගකියන්න ඕනේ අහවල්ලු කියල රටේ උත්තරීතර අධිකරණයෙන් කියල තියෙද්දිත් ඒ බල කණු නොසෙල්වා තබාගැනීමට දරන වෙහෙසයි.
දේශපාලන බලයේ රස කොහොමද කියන එක එයින්ම හොඳින් පැහැදිලි වෙනවා නෙවෙයිද?
ආශිකා බ්‍රාහ්මණ