*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මේ විදිහට ගියොත් ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන්න වෙන්නේ වැලිපිල්ලේ: රංගන දේවප්‍රිය

මේ වන විට රට තුළ මතුව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය ද බරපතල අන්දමින් අර්බුදවලට මුහුණ දී ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා අවධාරණය කරයි.

ඊයේ (22) දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මතුව තිබෙන කඩදාසි හිඟය තුළ වාරාවසාන ඇගයීම් සිදුකිරීමට බස්නාහිර පළාත තුළ නොහැකි වී ඇති බවත්, මෙම තත්ත්වය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ විභාගයට මුහුණදීමේ සූදානම ඇහිරී ගොස් ඇති බවයි.

මේ මොහොතේ තිබෙන්නේ වසර 74 ක දේශපාලනය තුළ ගොඩනැඟුණු අර්බුදයක් බවත්, ජනතාවට උද්ඝෝෂණ පැවැත්වීමට සිදුව තිබෙන්නේ මෙම කාලය තුළ රට පාලනය කළ පුද්ගලයන් විසින් රට දමා ඇති තත්ත්වය නිසා බවත් පෙන්වා දෙන රංගන මහතා අවධාරණය කර සිටියේ මේ මොහොතේ ජනතාවගෙන් එල්ලවන විරෝධය හමුවේත් ආණ්ඩුව පිළිතුරු ලබා දීමට අසමත් වන්නේ නම්, ප්‍රශ්න මඟහැර යන්නේ නම්, හෝ සුරංගනා කතා කියන්නේ නම් ඉදිරියේදී තත්ත්වය තවත් බරපතල වනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගන දේවප්‍රිය මහතා:

“මේ මොහොතේ රට මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයත් එක්ක අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතළ අර්බුදවලට මුහුණ දී තිබෙනවා. පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනයත් එක සේම අර්බුදයට ලක් වෙලා. නමුත් පසුගිය දවස්වල මූලික වශයෙන් මතුවුණේ රටේ පවතින කඩදාසි හිඟය නිසා වාරාවසාන ඇගයීම් සිදු කිරීමට බස්නාහිර පළාත තුළ නොහැකිවීමයි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයට මුහුණ දෙන්නේ අවුරුදු 2ක වසංගතයකට පස්සේ. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න කඩදාසි හිඟය බලපා තිබීම නිසා අප්‍රේල් මාසය දක්වා විභාග කල් දාන බව පළාත් අධ්‍යාපන අධ්‍යාක්ෂක දැනුම් දී තිබුණා. විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ විභාගයට මුහුණදීමේ සූදානම මේ නිසා ඇහිරී යනවා. මේ වන විට ශිෂ්‍යයින්ගේ සහ මාපියන්ගේ විරෝධය නිසා කෙසේ හෝ විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සූදානම් වන්නේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම පාසල්වලට බාර දෙන්නයි. විදුහල්පතිවරුන්ට විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම පවරනවා.

බස්නාහිරෙන් පිට පළාත්වල තත්වයත් මේකයි. සබරගමුව පළාතේ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් කොට්ඨාස මට්ටමෙන් පාසල්වල තිබෙන මුද්‍රණ යන්ත්‍ර මගින් ප්‍රශ්න පත්තර මුද්‍රණය කර ගන්න පවරා තිබෙනවා. එහෙම නැත්නම් මිල ගණන් කැඳවා බාහිර ආයතන මගින් මුද්‍රණය කරන්න උපදෙස් දීලා. එහෙමත් නැත්නම් ලැප්ටොප් ස්මාර්ට් ෆෝන් මල්ටි මීඩියා මගින් නැත්නම් ප්‍රශ්න පත්‍ර කියවීම මගින් ඡායාපිටපත් ගැනීම මගින් සිදු කරන්න උපදෙස් දී තිබෙනවා. 
අවම මට්ටමෙන් මේ ප්‍රශ්නය විසඳන්න නිලධාරීන් මේ ආකාරයේ විකල්ප සොයන එක හොඳයි. නමුත් ඔවුන්ගේ උත්සාහය අගය කරන අතරම විද්යුත් උපකරණ මගින් මේ වැඬේ කරන්න විදුලිය කප්පාදුව බාධාවක්. විදුලිය පහසුකම් වගේම අනෙකුත් විද්‍යුත් උපකරණ පහසුකම් නොමැති පාසල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රශ්න පත්‍ර කියවීම මගින් ලබාදීම තුළ ශිෂ්‍යයන් කාලය කලමනාකරණය කර ගෙන තමන්ට පහසු ප්‍රශ්නවලට මුලින් උත්තර ලබා දෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ ආණ්ඩුව ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතිව නිලධාරීන් පිට පැටවීමයි. මේ විදිහට ගියොත් ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන්න වෙන්නේ වැලිපිල්ලේ තමයි. නිලධාරීන් මත, විදුහල්පතිවරුන් මත සහ දෙමාපියන් මත ප්‍රශ්නය පටවා ආණ්ඩුව නිහඬවීම අපි හෙළා දකිනවා. 

පෙළපොත් මුද්‍රණයත් සම්පූර්ණයෙන් නැවැත්වූ බව නිවේදනය කර තිබුණා. ඒ වගේම පෙළපොත් මුද්‍රණය කිරීමේ කඩදාසි මිල 28%කින් වැඩිවී ඇති බවත් කියා තිබුණා. පසුගිය කාලය පුරාම ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබන්න සිද්ධ වුණේ ඔන්ලයින් ක්‍රමය මගිනුයි. මේ වෙනුවෙන් එකම මාර්ගෝපදේශකයා වෙලා තිබුණේ පෙළපොත්. අනික් පැත්තෙන් ගුරුවරුන්ට මාර්ගෝපදේශන සහ නිදර්ශන ලබාදෙනවා. නමුත් දැන් වෙන කොට ගුරු විද්‍යාලයෙන් මුද්‍රිත මොඩියුල් ලබා දෙන එක නවත්වා පීඩීඑෆ් පිටපත් ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ නිසාත් ගුරුවරුන්ට බරපතළ ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ඒ වගේම ගුරුවරුන්ගේ පශ්චාත් උපාධිවලට අදාළ සටහන් සහ නිබන්ධන බාරදීමට ප්‍රශ්න ඇතිවී තිබෙනවා. 

ඒ වගේම මේ වන විට පාසල්වලට ලබාදී තිබෙන ජල සම්බන්ධතා විසන්ධි කිරීමටත් කටයුතු කර තිබෙනවා. පාසල් සංවර්ධන මණ්ඩලවලින් ජල බිල්පත් ගෙවීමට සල්ලි සොයා ගන්න කියලා නියෝග ලැබී තිබෙනවා. මෙයින් සිදු වන්නේ විදුලි බිල්පත සහ ජල බිල්පත දෙමාපියන්ගේ කරපිට පටවා තිබීමයි. පසුගිය දවස්වල කොවිඞ් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගත් පාසල්වල ජල බිල්පත් සහ විදුලි බිල්පත් ගෙවා නැහැ. ඒ වෙනුවෙන් ගොඩ ගැසුණු ලක්ෂ ගණන් ගෙවන්න වෙලා තියෙන්නේ දෙමාපියන්ටයි. අධ්‍යාපනය සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන ක්‍රමානුකූලව කපා හරින ආණ්ඩුව ඒ බර දෙමාපියන් වෙත පටවනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් මේ වගේමයි. නේවාසිකාගාරවල රැඳී සිටීම, දේශන පැවැත්වීම වගේම ආපන ශාලා පවත්වාගෙන යාමත් විදුලිය කප්පාදුව නිසා අර්බුදයට ලක් වෙලා. ජෙනරේටර් ක්‍රියාත්මක කරන්න ඉන්ධන නැහැ. මේ නිසා විභාගවලට මුහුණ දී සිටින සිසුන් විශාල පීඩනයකට ලක් වෙලා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නිකුත් කළ නිවේදනයක ආපන ශාලා පවත්වාගෙන යාම සදහා ජලය සැපයීම සීමා කිරිම ගැන දන්වා තිබුණා. මුල් දවස්වල කොවිඞ් නිසා විශ්වවිද්‍යාල පටන් ගත්තේ නැහැ. අද වෙනකොට ඉන්ධන සහ විදුලි අර්බුදය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. නමුත් සංගීත සංදර්ශන පවත්වන්න කිසිම බාධාවක් නැහැ. අධ්‍යාපනය වෙනුවෙන් කැපකිරීම් කරන්න ආණ්ඩුව සූදානම් නැහැ. විශ්වවිද්‍යාල ගණනාවක් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යන්න තවදුරටත් උත්සාහ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය හැර අනෙක් පීඨ සියල්ලම ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යනවා. මෙහි රට පුරා විසිරුණු ශිෂ්‍යයන් සිටිනවා. රටේ කොහේ හරි විදුලිය කප්පාදු කරන පසුබිමක ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන්නේ කොහොමද?

අද වෙනකොට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙනගන්නත් බැහැ. ඔන්ලයින් ඉගෙනගන්නත් බැහැ. ඒ වගේ අර්බුදයකයි අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නේ. 
පාලකයන් උත්සාහ කරන්නේ අධ්‍යාපන වියදම් අවම කරන්නයි. විශ්වවිද්‍යාලවල ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු ශිෂ්‍යයන්ට බරපතළ ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය සහ මිල වැඩිවීම් නිසා විශ්වවිද්‍යාලවල ආපන ශාලාවල ආහාරපානවල මිල පාලනයක් නැහැ. මේ දක්වා තිබුණු සහනාධාර කපා දමා මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ හැකියාව තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ අලුතින් ඉදිකළ යුතු ගොඩනැගිලි සහ අනෙකුත් පහසුකම් ඉදිරි අවුරුදු දෙක තුළ කපා හැර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. කුවේට් රජයෙන් මේ වෛද්‍ය පීඨයට රුපියල් මිලියන 6,600ක් ආධාර ලැබෙනවා. නමුත් මේ වනතුරු මුල් ගලක්වත් තියලා නැහැ. අධ්‍යාපනය වෙනුවෙන් ලැබෙන ආධාර වෙන දේවල්වලට නාස්ති කරනවාද කියන සාධාරණ සැකයක් අපට ඇති වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයත් එහෙමයි. අවුරුදු තුනක ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අරන් තියෙනවා. නමුත් මේ වනතුරුත් තාක්ෂණ පීඨයක් ලබාදී නැහැ. මේ කාණ්ඩ තුනේම ශිෂ්‍යයන් තාමත් අධ්‍යාපනය ලබන්නේ ගෙවල්වලයි. අධ්‍යාපන ක්ෂේත්‍රය පැත්තකට දාලා ඉන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. මේ අර්බුදය විසින් තව අවුරුදු ගාණක් ඉදිරියට අධ්‍යාපන අර්බුදයක් ආණ්ඩුව විසින් ඇති කරමින් තිබෙනවා. මේ මොහොතේ පවතින ගැටලුවලට උත්තර සෙවීමේ වැඩපිළිවෙළක් වහාම හදන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.

පවතින විදුලි කැපීම හමුවේ විශ්වවිද්‍යාල අත්‍යාවශ්‍ය ආයතන බවට පත්කර විදුලිය ලබා දෙන්න බැරි ඇයි? කඩදාසි නැති නිසා ප්‍රශ්න පත්තර හදන්න බැහැ කියලා වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් මහපොළ බාරකාර අරමුදල තිබෙනවා. මේ මුදල් විවිධ ව්‍යාපෘතිවල ආයෝජනය කරලා තියෙනවා. ඒ ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල වැඩි කරන්නේ නැහැ. මේ මොහොතේ ශිෂ්‍යයන්ට මතුවී තිබෙන ආර්ථික ගැටලුවලට උත්තරය තිබෙන්නේ මහපොළ වාරිකය වැඩි කරවා ගැනීමයි.  අපි ආණ්ඩුවට බල කරනවා වහාම වාරික මුදල වැඩි කරන්න කියලා. මේ මොහොතේ පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුහුණ දී සිටින ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ආණ්ඩුව වහාම මැදිහත් නොවුණොත් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම ඊට එරෙහිව පෙළගස්වන බවට අපි අවධාරණය කරනවා. 

මේ මොහොතේ තිබෙන්නේ අවුරුදු 74ක දේශපාලනය තුළ ගොඩ නැගුණු අර්බුදයක්. ජනතාවට උද්ඝෝෂණ කරන්න සිදුවී තිබෙන්නේ මේ දොගොල්ලම රට ගෙනාපු තැන නිසායි. මේ මොහොතේ ජනතාවගෙන් එල්ලවන විරෝධය හමුවේත් ආණ්ඩුව උත්තර දෙන්නේ නැත්නම්, ප්‍රශ්න මඟහැර යනවා නම්, සුරංගනා කතා කියනවා නම් ඉදිරියේදී බරපතළ තත්වයක් ඇති වේවි. ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට අපටත් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න සිදුවෙනවා. අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාමත් ශිෂ්‍යයින් වෙනුවෙන් පමණක් සීමා වී තිබුණේ නැහැ. හාල් පොත් කප්පාදුවේදී, විදේශීය මැදිහත්වීම්වලදී, මැදිහත් වුණු ඉතිහාසයක් අපට තිබෙනවා. මේ වෙන කොට තිබෙන ප්‍රශ්න හැම එකක්ම ශිෂ්‍යයින්ටත් බලපානවා. මේ නිසා ආණ්ඩුව එලවීමෙන් එහා ගිය විසඳුම් සොයන්න මැදිහත් වෙන්න කියා අපි ජනතාවට ආරාධනා කරනවා.” 

මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජීවන හරිස්චන්ද්‍ර, දිමුත් දසුන් සහ දසුන් උදාර යන අයද එක්වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan