විරුද්ධ පක්ෂයට (ජල) භීතිකාව !

උපාලි කොළඹගේ

කොළඹ LNW:විරුද්ධ පක්ෂය කිව්වාට හැමෝම නෙමෙයි එක කණ්ඩායමකට. හැබැයි ඒ අය තමයි පෙරහරේ ඉස්සෙල්ලම යන්නෙ. ලොක්ක එතන නිසා විරුද්ධ පක්ෂය කියන එකේ වරදකුත් නෑ.

ඒ ගොල්ල කියන විදියට මේ ව්‍යසනකාරී වාතාවරණයට එකම වගකිවයුත්තා වර්තමානයේ රට පාලනය කරවන මාලිමා ආණ්ඩුව. තව ටික දොහකින් කියයිද දන්නේ නෑ වර්තමාන ලෝක යුද්ධය ඇති කළෙත් මේ ආණ්ඩුව කියල.

පසුුගිය දවසක එජාප සභාපති වජිර අබේවර්ධන මහත්තය කියනව මෙහෙම ගියොත් රට වහන්ඩ වෙයි කියල. ඒ කතාව කියන්ඩ ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහගෙ පුරාජේරුව එපාවෙන තරමටම කියෙව්වා .

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තය රට වැටුණු වෙලාවෙ සුවිශේෂ කාර්යභාරයක් කළ පුද්ගලයෙක්. ඒක අපි අමතතක කළයුතු නෑ. එයා කරගත්ත ලොකුම වැරැද්ද ” හොරුත් එක්ක හෙළුවෙන්” නටල දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීම.

වජිර රට වහන්න වෙයි වගේ කියපු වෙලාවෙ ඔහුගෙ ශරීර භාෂාව නම් අපිට කිව්වෙ තමන්ගෙ යටි අරමුණත් ඊට සමපාත බවයි.

මේ උම්බෑ ශබ්ද එකිනෙක ගෙන කතා කිරීම වැඩක් නැති වුණත් පොදුවේ ඔවුන් කියන්නේ කුමක්ද යන්න සිහිපත් කළ යුතුයි. ඒ ඔවුන් කලක් රට පාලනය කළ පුද්ගලයන් වීමත් අනාගතයේ කොක්කෙන් හෝ කෙක්කෙන් රටේ පාලන බලය අල්ලා ගැනීමට වලිකන නිසාය. මේ රටේ ජහමනයාගේ බුද්ධියේ දිග පළල දන්නා අපට නම් යළි එහෙම වුණත් පුදුමයක් නෑ.

මේ දිනවල දක්නට ලැබෙන ඉන්ධන පෝලිම් ගැන කියලත් මේ අය ආණ්ඩුවට කොචොක් කරනව. ඉදිරියේ සිදුවිය හැකි මිල ඉහළ යෑම් ගැන කියලත් බනිනව. මං අහගෙන කවුද මෝඩයෙක් කියනව ඉරාන නැවට පහර දීම ගැන අපි ඇමරිකාවෙන් නිදහසට කරුණු අහන්න ඕනැයි කියල. මේව ගොං කමට කියන කතා කියල මං නං හිතන්නෙ නෑ. ආණ්ඩුව ලණුව කාල ඇමරිකාවට පුංචියට හරි වාග් ප්‍රහාරයක් එල්ල කරයි කියල හිතනව ඇති.

අපේ විපක්ෂ නායකතුමා නම් කොයි වෙලාවෙත් එල්ලෙන්නම බලා ගෙන කටමැත දොඩවන නිසා ඒව එච්චර ගණන් ගයුතු නෑ. උන්නැහැනෙ ⁣ IMF එකත් එක්ක කතා කරල ගිවිසුම වෙනස් කරන්න ඕනැය කියල නිතරම කියන්නෙ. ඒකත් කරන්න තියෙන අමාරුකම නොදැන නෙමෙයි ඔය කියන්නෙ . සාමාන්‍ය ජනතාව පිනවන්නයි ලණු කාල ආණ්ඩුව IMF එකත් එක්ක හැප්පුණොත් ඒකෙන් දේශපාලන වාසියක් ලබා ගන්නත්.

කවුරු කොහොම කිවුවත් මේ වෛරී දේශපාලන යේ හැබෑ අරමුණ දැනට තමන්ගේ ගෝලබාලයන්ටත් ඉදිරියේ තමන්ටත් නඩු වැටීම හා එම තත්ත්වය අවම කරගැනී⁣මේ වුවමනාවෙන් බව නම් පැහැදිලිය.

කවුරු කොහොම කිව්වත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළා බලයට පත්වීමට මේ කරන උත්සාහය කිසිසේත්ම සුදුසු නෑ. අවශ්‍ය වෙලාවට ආණ්ඩුව පෙරලෙයි නැත්නම් පෙරළ ගනිල්ලා. නමුත් මේ අභියෝගාත්මක මොහොතේ රටක් ලෙස එකට හිටපල්ලා. හැබැයි මාලිමා ආණ්ඩුවේ උද්දච්ච සෙට් එකද අරිට නොදෙවෙනි විදියට විපක්ෂයේ සහාය ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වය තීව්‍ර වීමට හේතුවනවාද වන්නට පුළුවන්. ඒකට උද්දච්චකමට අමතරව ආධුනිකකමද බලපානවා විය හැකියි.

මේ දෙගොල්ලන්ම වර්තමානයේ රට මුහුුණ දී සිටින අභියෝගය පිළිබඳව හරිහැටි අවබෝධයකින් යුතුව කටයුුතු කරන බවක් නම් පෙනෙන්නේ නැත. මෙම තත්ත්වය අභියෝගයකට වඩා අනතුරකි.

QR කේතය හා බදදා රජයේ නිවාඩු දිනයක් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. විපක්ෂයේ කටට බයේ හෝ හුදු ජනප්‍රියත්වය එකම සරල රේඛාවක් ලෙස පවත්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුව මේ අයුරින් කටයුුතු කරනවා විය හැකිය.

හොඳයි අපි මෙහෙම හිතමු. තවම යුද්ධය නැවතීමේ සංඥාවකුදු නැත. යුද්ධය නිසා සීඝ්‍රයෙන් ලොවට අහිමි වන්නේ තෙල් සම්පතයි. මේ අය බෝම්බ හෙලන්නේ එකිනෙකාගේ ඛනිජ සම්පත් විනාශ කිරීමටයි. සිදුවන්නේ ක්‍රමයෙන් ලෝකය රඳා පවතින වටිනාම සම්පත වන ඛනිජ සම්පත විනාශවී යෑමයි. මේ තත්ත්වයක් දිගටම පැවතුන හොත් අද සිටින තෙල් මුදලාලිලා අනාගතයේ ලෝකයේ සුළු වෙළෙන්දන් වීමට බැරි නෑ. ඒ ඒ රටවල පරිභෝජනයට තෙල් ප්‍රමාණය අඩුවන විට තෙල් මිල ඉහළ යෑමට අමතරව අන් රටවලට තෙල් දීමේ හැකියාවද ක්‍රමයෙන් අඩු වන්නේය. ගිවිසුම්වල මොනවා තිබුණත් අත්පිට මුදලට බඩු විකිණීමෙි සාමාන්‍ය වෙළඳ න්‍යායට ප්‍රවිෂ්ට වීමේ ඉඩක්ද පවතිනවා. යුද්ධය දික්වන තරමට අප වගේ කුඩා රටවලට මේ ප්‍රතිවිපාකය විඳීමට සිදුවනවා.

එම නිසා අපේ ආණ්ඩුවටත් මේ අර්බුදයේ ප්‍රතිවිපාක ඉතාමත් කටුක ලෙස අත්විඳීමට සිදුවන්නට පුළුවන්. ඒ සඳහා දැන් සිටම ⁣බල ශක්තිය සකසුරුවමට පාවිච්චි කිරීම තමයි දුෂ්කරතාව අවම කරගැනීමේ එකම පියවර. එය දුෂ්කර විය හැකියි. ජනප්‍රිය පීල්ලෙන් පිට පැනීමක් විය හැකියි. ආණ්ඩුව සජිත් ඇතුළු විපක්ෂ නඩයේ සමච්චලයට ලක්විය හැකියි.

නමුත් අනාගතයේ සිදුවිය හැකි බිහිසුණු ව්‍යසනය අවම කර ගැනීමට ගත හැකි එකම පියවර එයයි.