කලාපයම වැනසෙන මාරාන්තික සටනක් ඇවිලෙන ලකුණු – ට්‍රම්ප්ගේ පැය 48 තර්ජනයට ඉරානයෙනුත් තර්ජනාත්මක ප්‍රතිචාරයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: එක්සත් ජනපදය සිය බලාගාරවලට පහර දුන්නොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා කලාපීය බලශක්ති සහ ජල යටිතල පහසුකම්වලට පළිගැනීමේ ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානය මෙලෙස අනතුරු අඟවා ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතුළත විවෘත නොකළහොත් එරට බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

ඒ අනුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කරන්නේ සිය බලශක්ති කේන්ද්‍ර වෙත පහරදීමක් සිදුවුවහොත් කලාපය තුළ පවතින එක්සත් ජනපද හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාර වෙත පහර දෙන බවයි.

“ඔබ අපේ රෝහලට ගැහුවා, අපි එහෙම කළේ නැහැ. ඔබ අපේ ආධාර මධ්‍යස්ථානවලට ගැහුවා, අපි එහෙම කළේ නැහැ; ඔබ අපේ පාසල්වලට ගැහුවා, අපි එහෙම කළේ නැහැ. නමුත් ඔබ විදුලියට ගැහුවොත්, අපි විදුලියට ගහනවා,” යනුවෙන් ඉරාන IRGC විසින් ඇමරිකාවට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.

ඉරානය විසින් මෙලෙස ප්‍රතිචාර දක්වන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා ඇති කාලය අවසන් භාගයට පැමිණ සිටින මොහොතකය.

එක්සත් ජනපද ප්‍රහාර වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ඉරානය අවධාරණය කරන්නේ.

”ඇමරිකාව අපගේ හැකියාවන් නොදන්නා අතර ක්ෂේත්‍රය (යුද පිටිය) තුළ එය ඔවුන් දකිනු ඇත” යනුවෙන් ඉරානය පවසා තිබේ.