තනි සහ කණ්ඩායම් කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:තනි පුද්ගල, ගොවි සංවිධාන සහ ගොවි සමාගම් සඳහා ණය ලබාදී කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ නව ණය යෝජනා ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

වයස අවුරුදු 18ට වැඩි කෘෂි ව්‍යවසායකයෙකුට සිය පවුලේ තවත් සාමාජිකයෙකු සම්බන්ධ කර ගැනීම මගින් මෙම ණය මුදල ලබා ගත හැකි යැයි මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනී මහත්මිය පැවසුවාය.

තනි පුද්ගල ණය රුපියල් මිලියන 05ක් දක්වා ලබා දෙන බවත් ඊට වාරික ගෙවීමේදී මාස 12ක සහන කාලයක් හිමිවන බව ද ඇය කීවාය. එම ණය මුදල වසර 05ක කාලයකින් ගෙවා නිම කළ යුතුව ඇතැයි ද අධක්ෂවරිය කීවාය.

කණ්ඩායම් ණය ක්‍රමයේදී අයෙකුට ලක්ෂ 05ක ණය මුදලක් හිමි වන බවත් මෙම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අදාල ප්‍රදේශීය නිලධාරීන් දැනුවත් කොට ඇතැයි ද කී අධ්‍යක්ෂවරිය ඉදිරි මාසයේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද තවදුරටත් සඳහන් කළාය.