*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ධම්මිකගෙන් රටම හොල්ලන අලුත් වැඩක් – “පොහොසත් ගමක්” හදන හැටි පුද්ගලික මුදලින් කරලාම පෙන්නයි !

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇති “පොහොසත් ගමක් – පොහොසත් රටක්” ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) යටතේ ගොඩනැගෙන පළමු ආදර්ශ ගම්මාන දෙක ලබන මාසයේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම පළමු ආදර්ශ ගම්මාන දෙක මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ප්‍රදේශයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත ය.

පොහොසත් ගමක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, ප්‍රවාහන, විදේශ රැකියා යන ක්ෂෙත්‍ර සියල්ලම ආවරණය වන පරිදි පියවර 20 කින් සමන්විතව ධම්මික පෙරේරා මහතා විසින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත. ඒ පහත පරිද්දෙනි,

පොහොසත් ගමක් – පොහොසත් රටක්

  1. සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වගේ පොදු ස්ථානයක ප්‍රජා මුළුතැන්ගෙයක් (පොදු කුස්සියක්) පිහිටුවනවා. ගමේ ඉන්න, කෑම වේල සපයා ගන්නත් බැරි තරම් ඉතාම දුප්පත් පවුල්වලට ඒ ප්‍රජා මුළුතැන්ගෙයින් කෑම සපයනවා. එහි වියදමින් 50%ක් රජයෙන් ලබාදෙන අතර ඉතිරි මුදල ගමේ දානපතියන්ගෙන්, සමිති සමාගම්වලින් සපයා ගත යුතුයි.
  2. ගමේ පෙරපාසල ඇමරිකාව වගේ ලෝකයේ දියුණු රටවල්වල මේ වෙද්දී තියෙන විදියටම මේස පුටු, සෙල්ලම් බඩු දීලා අලුත්ම විදියට හදනවා. ලෝකයේ දියුණු රවටවල්වල පෙරපාසල් ළමයින්ට උගන්වන විදියටම ඩිජිටල් තිර සහිත ස්මාර්ට් පන්ති කාමර දීලා ගමේ පෙරපාසල් ළමයින්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාගන්න අවස්ථාව හදනවා. ළමයින්ගේ මොළය 90%ක්ම වර්ධනය වෙන්නේ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය තුළ නිසා මේ පෙරපාසල් අධ්‍යාපනය හොඳම මට්ටමින් ලබාදීම ඒ ළමයින්ගේ අනාගතයට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ක්‍රමයට පෙරපාසල් පවත්වාගෙන යන ගුරුවරුන්ට එක් ළමයෙකු වෙනුවෙන් රුපියල් 1,500 බැගින් දීමනාවක් ලබාදෙනවා.
  3. ගමේ පාසලට ස්මාර්ට් පන්ති කාමර දීලා කොළඹ ජනප්‍රිය පාසල්වල දූදරුවන් හා සමානවම එකම අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒ ඒ විෂයයට ලංකාවේ ඉන්න හොඳම ගුරුවරුන්ගෙන් ගමේ දූදරුවන්ටත් ගමේ පාසලේදීම ඉගෙන ගන්න පුළුවන්. මේ ක්‍රමය හැදුවාම ආයෙත් අධ්‍යාපනයේදී “කොළඹට කිරි – ගමට කැකිරි” කතාවක් නෑ.
  4. එක ගමකට එක නිෂ්පාදනයක් (One Village One Product) – ගමේ කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට ස්ථිර ආදායමක් උපයා ගන්න හැකි පරිදි එක ගමකට එක භාණ්ඩයක් (උදාහරණ – විසිතුරු මසුන්, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, ඇඳුම්, හඳුන්කූරු) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම සහ මූලික පහසුකම් ලබාදෙනවා. මෙයින් ගමේ පවුල්වලට අමතර ආදායමක් ලැබෙන අතර හැමෝම එකම භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා ඒවා තොග වශයෙන් විකිණීමටත් පහසු වෙනවා. තොග මිලදී ගන්න අයටත් එකම ගමකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය පහසුවෙන් මිලදී ගන්න හැකිවීම නිසා භාණ්ඩවලට හොඳ මිලක් ලබාදෙන්නත් පුළුවන්.
  5. එක ගමකට එක බෝගයක් (Colonial Crops) – ඒ ඒ ප්‍රදේශයේ දේශගුණය සහ පසේ ස්වභාවය අනුව ගමේ සියලුම පවුල්වලට තමන්ගේ ගෙවතුවල වගා කළ හැකි, දීර්ඝ කාලීනව අස්වනු ලැබෙන එක් බෝගයකින් (උදාහරණ – කෝපි, අඹ, පොල්, පුවක්, දූරියන්, රඹුටන්, සාදික්කා, කරාබු, දෙළුම්) පැළ සිටුවීමට ලබාදෙනවා. මෙම බෝගවලත් අස්වනු විකිණීම පහසු වෙනවා ගමේ හැමෝම එක බෝගයක් වගාකරලා තියෙන නිසා. මේවා තොග මිලදී ගන්න අයටත් එකම ගමකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න පුළුවන්. ඒ ඒ බෝගවල අස්වනු ලැබන කාලය අනුව ගමේ හැම පවුලකටම මෙයින් වෙනම ආදායමක් ලැබෙනවා. මෙයින් ගමටත් වෙනම වටිනාකමක් හැදෙනවා.
  6. සෑම සමෘද්ධි බැංකු කලාපයකම ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කරන විවිධ භාණ්ඩ (උදාහරණ – එළවලු, පළතුරු, කරවල, බුලත් පුවක්) විකිණීම සඳහා කුඩා ආර්ථික මර්ධ්‍යස්ථානයක් වගේ වෙළඳසැලක් හදනවා. එවිට ඒ ප්‍රදේශවාසීන්ට තමන්ගේ භාණ්ඩ පාපැදියක බැඳගෙන ගිහින් හරි එතනදී විකුණාගන්න පුළුවන්.
  7. Free Wifi කලාප – සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි ආගමික ස්ථානයක හෝ රජයේ ගොඩනැගිල්ලක් වැනි පොදු ස්ථානයක නොමිලේ ඉන්ටනෙට් පහසුකම් ලබාගැනීම සඳහා Free Wifi කලාපයක් පිහිටුවනවා. එවිට ගමේ ඕනෑම කෙනෙකුට එතැනට ඇවිල්ලා ඉන්ටනෙට් හරහා තමන්ට කරගත යුතු වැඩක් කරගන්න පුළුවන්.
  8. සෑම ග්‍රාම නිලධාරී වසමකම තරුණ නායකත්ව සමාජයක් පිහිටුවනවා. ඒ ඔස්සේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉතාම වැදගත් වන නායකත්ව පුහුණුවක් සහ රැකියා මාර්ගෝපදේශනයක් ලබාදෙනවා. එවිට ඔවුන්ට වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සහ තමන්ගේ හැකියාවන් අනුව වඩාත් ඉහළ වැටුප් ලැබෙන රැකියාවන් කරා යාමට මාර්ගය සකස් කරගන්න පුළුවන්.
  9. සෑම ගමකටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ (IT) රැකියා 50ක් ලබාදෙනවා. ඔවුන්ට වැඩකිරීම සඳහා පරිගණක සහ ඉන්ටනෙට් පහසුකම් සහිත කාර්යාලයක් ගමේම පිහිටුවනවා. තොරතුරු තාක්ෂණ රැකියා මෙතෙක් තිබුණේ ප්‍රධාන නගරවල විතරයි. මේකෙන් තොරතුරු තාක්ෂණ රැකියා ගමට ගෙනියන එක කරනවා. ඒ වගේම සෑම ගමකම භාෂා පාසලක් පිහිටුවලා පිටරට රැකියා කරන්න යන්න උනන්දු තරුණ තරුණියන්ට ඉ‍ංග්‍රීසි, ජපන්, කොරියානු, චීන සහ ඉතාලි භාෂාවන් ජාත්‍යන්තර විභාග සමත් විය හැකි මට්ටම දක්වාම උගන්වනවා. මීට අමතරව ලෝකයේ නොයෙක් රටවල ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුවේ න්‍යායික දැනුම ගමේම සිට ඔවුන්ට ඉගෙන ගැනීමට හැකි පරිදි ස්මාර්ට් පන්ති කාමර හරහා ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. මේවායේ පාඨමාලා කාලය මාස 6 – 9 අතර අවසන් කළ හැකි පරිදි සකස් කරනවා. මෙයින් තරුණ විරැකියාව සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන්.
  10. ගමේ ගොවියන්ට අවශ්‍ය පොහොර, බීජ, කෘෂි දැනුම යනාදිය ලබාදීම සඳහා පරිගණකගත ස්මාර්ට් සිස්ටම් එකක් හදලා දෙනවා. ගොවීන්ගේ අස්වනු විකිණීම සඳහාත් ඒ වගේම ස්මාර්ට් සිස්ටම් එකක් හදලා දෙනවා. ඒ හරහා ගොවීන්ට තමන්ගේ බෝග වෙනුවෙන් අවම මිලක් සහ ප්‍රවාහන පද්ධතියක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම ගොවීන්ගේ වගා හානි සඳහා වන්දි ගෙවීමටත් ඩිජිටල් ක්‍රමවේදයක් හදනවා. මීට අමතරව එළවලු ගොවීන් සඳහා ඉදිරි දින 10 තුළ කාලගුණය ඉතාම නිවැරදිවම පෙන්වන ජංගම දුරකථන ඇප් එකක් (App) හදලා දෙනවා. එයින් අස්වනු හානිය සහ මිල වෙනස් වීම් අවම කරගන්න පුළුවන්. වෙරළබඩ ගම්මානවල ධීවර කර්මාන්තය කරන අයට මුහුදේ මාළු අහින් සිටිනා තැන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණය ලබාදෙනවා. එයින් ඔවුන්ට තමන්ගේ ඉන්ධන වියදම 50%කින් අඩුකරගැනීමට හැකියාව ලැබෙනවා.
  11. ලංගම බස් රථ ධාවනය නොවන මාර්ගවල පාසල් සිසුන් සඳහා එම මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය වෙනවා නම් ඒ ප්‍රයිවට් බස් රථවල ගමන් කළ හැකි පරිදි වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ලබාදෙනවා. කුඩා දරුවන් (ප්‍රාථමික පංති) පාසල්වලට රැගෙන යන මවට හෝ පියාටත් ඒ මිලටම සීසන් එකක් දෙනවා. බස් ධාවනය නොවන මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර් 5ට අඩු නම් ගමේ මගීන් ප්‍රමාණය අනුව අට දෙනෙකුට ගමන් කළ හැකි ත්‍රීරෝද රථ ( 8 seater threewheeler) එකක් හෝ දෙකක් යොදවන අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 5ට වැඩි නම් මිනි බස් රථයක් යොදවනවා. ඒ වගේම ලංගම බස් රථවල උදේ 10 – දවල් 11.30 අතරත් සවස 2.30 – 4 අතරත් කාන්තාවන් සඳහා බස්ගාස්තුව 50%කින් අඩුකරනවා. සෑම ගමකම කුලී ත්‍රීරෝද රථ සඳහා නවතම ස්මාර්ට් ඇප් එකක් ලබාදෙනවා. ඒ අනුව ඔවුන්ට හයර් එකක් ලැබෙන තුරු පෝලිමේ රැඳී නොහිඳ තමන්ගේ ගෙදර ඉන්න හෝ වෙනත් වැඩක් කරගන්න පුළුවන්.
  12. වන අලින්ගෙන් කරදර ඇති ප්‍රදේශවල ගම්මාන සඳහා ගමට අලි වැටක් (විදුලි වැට) ලබාදෙනවා.
  13. පානීය ජලය හිඟ ගම්මාන සඳහා ගැඹුරු ළිං (Deep Well) ඉදිකර ගමට පානීය ජලය ලබාදෙනවා.
  14. විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණයක් සහිත ප්‍රදේශවල ඒ සංචාරකයින්ට ගමේ නිවාසවල කාමර කුලියට ලබාගෙන නැවතීමට ( Home Stay) හැකි පරිදි කාමරයට සම්බන්ධ නානකාමර (attached bathroom) ඉදිකිරීම ඇතුළු පහසුකම් සකස් කිරීම වෙනුවෙන් ආධාර ලබාදෙනවා. ඒ වගේම ඒ ස්ථාන සම්මත ආකාරයට නඩත්තු කිරීම සම්බන්ධයෙන් දැනුම ඒ නිවෙස් හිමියන්ට ඔන්ලයින් ක්‍රමයට ලබාදෙන අතර සංචාරකයින්ට ඒ ස්ථාන හඳුනාගැනීම සඳහා ඒවා අන්තර්ජාලයේ ලැයිස්තුගත කිරීමට ගම්වැසියන්ට දැනුම ලබාදෙනවා.
  15. ඉහත කරුණු එකින් එක ක්‍රියාත්මක කිරීම හරහා ගමට වැඩිවැඩියෙන් මුදල් ගලා ඒම ආරම්භ වෙනවා. ඒ තුළින් ගමේ කුඩා ව්‍යාපාර දියුණු කරගැනීමට ඒ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අලුත්ම ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දු අයට මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා සතියේ දින 7ම රූපවාහිනී නාලිකාවල විකාශය කෙරෙන Startup Sri Lanka නම් රියැලිටි ටීවී වැඩසටහනක් හඳුන්වා දෙනවා. එහිදී ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර අදහස් නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කර, තමන්ට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයාගත හැකියි.
  16. ගමේ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ අනෙකුත් ආගමික පූජකතුමන්ලාට වෙනත් රටවලටත් ගිහින් ධර්මය දේශනා කරන්න හැකි වීම සඳහා ඒ ඒ ආගමික ධර්මයන්ගේ වැඩිදුර අධ්‍යාපනයත් ඉ‍ංග්‍රීසි, ජපන්, කොරියානු, චීන සහ ඉතාලි භාෂා අධ්‍යාපනයත් ලබාදෙනවා. භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ දෙමව්පියන්ට රජයේ ආයතනවලදී පෝලිමේ නොසිට තම වැඩකටයුතු කරගැනීමට හැකි වන ආකාරයට VIP කාඩ්පතක් ලබාදෙනවා. ඒ වගේම පිරිවෙන්වල අධ්‍යාපනය දියුණු කිරීමට පිරිවෙන් සඳහා ස්මාර්ට් පන්ති කාමර ලබාදෙනවා.
  17. ශ්‍රී ලංකාවේ වඳ වීගෙන යන ගස් වර්ග 1496ක් තියෙනවා. ඒ ඒ ප්‍රදේශවල දේශගුණය සහ පස අනුව සෑම ගමකම මේ වඳවීගෙන යන ගස්වල පැළ හිටවනවා. ඒ වගේම ආයුර්වේද වෙදකම සඳහා අවශ්‍ය බෙහෙත් පැළෑටි, ගස්, වැල් වර්ගත් එක ගමකට එක් වර්ගයක් බැගින් වගා කරන්න පැළ ලබාදෙනවා. මෙයින් ගම්වැසියන්ට අමතර ආදායමක් ලබන්නත් පුළුවන්.
  18. ගමේ පාරවල් දෙපැත්තේ තියෙන රජයේ ඉඩම්වල, ගංගා ඇළ දොළ දෙපැත්තේ තියෙන රජයේ ඉඩම්වල කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ වැවීම සඳහා කිරි ගොවීන්ට අවස්ථාව දෙනවා. එළදෙනුන්ගෙන් පැටවුන් ලබාගැනීම සඳහා කෘතීම සිංචනය කිරීමට සෑම සමෘද්ධි බැංකු කලාපයකටම එක් තාක්ෂණික නිලධාරියෙකු බැගින් ලබාදෙනවා.
  19. සෑම ගම්මාන 5 කට එකක් බැගින් ටෙලි මෙඩිසින් මඩ්‍යස්ථාන පිහිටුවනවා. මෙයින් රෝහලටම නොයා වෛද්‍යවරයා සමග ඉන්ටනෙට් හරහා සම්බන්ධ වෙලා බෙහෙත් ගන්න පුළුවන්. මීට අමතරව සෑම නිවසකම වෙසෙන වයස්ගත අයගේ සීනි මට්ටම සහ රුධිර පීඩන මට්ටම නිවසටම ඇවිත් පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් හදනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 78 සිට 81 දක්වා අවුරුදු තුනකින් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.
  20. ගමේ පාසල්වල සහ ක්‍රීඩා සමාජවල වොලිබෝල්, ක්‍රිකට්, මීටර් 100, මීටර් 200, මීටර් 400, උස පැනීම සහ දුර පැනීම යන ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයින්ට අවශ්‍ය වෘත්තීයමය මට්ටමේ ක්‍රීඩා දැනුම එම ක්‍රීඩාවල ප්‍රවීණයින්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඒ අතරින් ජාත්‍යන්තර තරගවලට යාමට හැකි මට්ටමේ විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයින්ට නේවාසිකව පුහුණුවීම් කළ හැකි ක්‍රීඩා සංකීර්ණ 3ක් දිවයිනේ පළාත් තුනක පිහිටුවනවා. මෙයින් වෘත්තීයමය ක්‍රීඩකයින් හදනවා වගේම නීරෝගී තරුණ පරපුරකුත් රටට දායාද කෙරෙනවා.

සමස්ත රටටම ගැලපෙන පරිදි මෙම පියවර 20 සකස් කර ඇති අතර තෝරාගත් ප්‍රදේශ දෙකේ අවශ්‍යතාවන් අනුව මෙහි අවශ්‍ය පියවර සම්පූර්ණ කරමින් ධම්මික පෙරේරා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පළමු ආදර්ශ ගම්මාන දෙක පිහිටුවීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව අප්‍රේල් 17 වනදා බිබිල වෑගම ප්‍රදේශයේ පැවැත්වෙන අවුරුදු උත්සවයක් ද සමගින් පළමු ආදර්ශ ගම්මානය විවෘත කෙරෙනු ඇති අතර අප්‍රේල් 18 වනදා අලවතුගොඩ, කොනකලගල ප්‍රදේශයේ පැවැත්වෙන අවුරුදු උත්සවයක් සමගින් දෙවැනි ආදර්ශ ගම්මානය විවෘත කෙරෙනු ඇත.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ ගතවූ වසර 76ක කාලය තුළ, පොරොන්දු දේශපාලනයෙන් සපුරා බැහැර වෙමින් දේශපාලනඥයකු විසින් සිය පුද්ගලික මුදලින් සම්පූර්ණ ගම්මානයක් රටේ සමස්ත ආර්ථික පුනර්ජීවනය සඳහා වන ක්‍රියාකාරී සැලැස්මකට බද්ධ වූ අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් යටතේ නිශ්චිත ආර්ථික සංවර්ධන මාවතකට ප්‍රායෝගිකවම යොමුකෙරෙන පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැකිය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan