ගේය පද රචකයෙකු, චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, භාෂා පරිවර්තකයෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී සේවයේ කීර්තිමත් රාජකාරියක් ඉටු කළ ඔගස්ටස් විනයාගරත්නම් මහතාගේ 36වන ගුණ සමරුව අද (24) දිනට යෙදී තිබේ. මේ කියවීම ඔහු පිළිබඳවයි.
1936 මැයි මස 03 වන දින පානදුරයේදී උපත ලබන ඔගස්ටස් විනයාගරත්නම් මහතා අධ්‍යාපනය ලැබුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය හා පානදුර ශාන්ත ජොන් විද්‍යාල වලිනි.
පාසල් වියේ සිටම ලේඛණ කලාව ප්‍රකට කළ ඔහු ‘දිනදින’ හා ‘ජනතා’ පුවත්පත් සඳහා නිර්මාණ සපයන්නට විය. ‘ජනතා’ පුවත්පත හරහා ඇරඹි ගමන ශ්‍රී ලංකා පුවත්පත් සඟරාවේ සංස්කාරකවරයා දක්වාම ඉදිරියට යාමට ඔහු කුසලතා සම්පන්න විය. ඔහු උපතින් ද්‍රවිඩ ජනවර්ගයට අයත් වූ නමුත්, සිංහල ජන සමාජයේ හැඳීවැඩී මනුෂ්‍යත්වයට ආදරය කළ අපූරු චරිතයක් විය.
පුවත්පත් කලාවෙන් ගීත රචනයට ප්‍රවිශ්ට වන ඔගස්ටස් විනයාගරත්නම් සුගතපාලද සිල්වාගේ ‘සමනල්ලු’ චිත්‍රපටයටත්, තිස්ස අබේසේකරයන්ගේ ‘කණාමැදිරියෝ’ චිත්‍රපටයටත් ගීත රචනාවෙන් දායක විය. නමුත් අවාසනාවකට මෙම චිත්‍රපට දෙකම විකාශනය නොවීය.
ඔහු රචනා කළ චිත්‍රපට ගීත අතරින් විකාශනය වූ මුල්ම චිත්‍රපටය ‘බයිසිකල් හොරා ‘ චිත්‍රපටයයි. ලතා වල්පොල ගැයූ ‘මල් කැකුළු කුළුදුල්-මහදැහැනුන් නොයිඳුල්’ ගීතය ඔහු විසින් රචනා කරන ලද මුල්ම චිත්‍රපට ගීතයයි.
ඉන් අනතුරුව චිත්‍රපට 19කට පමණ ගීත රචනා කළ ඔගස්ටස් අවස්ථා කිහිපයකදී ජනාධිපති හා සරසවි සම්මානයටද පාත්‍ර විය. ගඟ අද්දර, හිම කතර, අහසින් පොළවට ,පැංචා ,කලන මිතුරෝ, සීතාදේවී, මංගලා, හිතුවොත් හිතුවාමයි, ඉන්දුට මල් මිටක්, ලසඳා ආදී චිත්‍රපට මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
1983 වසරේදී ගඟ අද්දර චිත්‍රපටයේ එන ‘රන් ටිකිරි සිනා’ ගීතය වෙනුවෙන් ඔහු ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය.
1985 වසරේදී ‘හිමකතර’ චිත්‍රපටයේ ‘වැස්ස වහින්නා’ යන ගීතය වෙනුවෙන්ද ඔහු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔගස්ටස් විචිත්‍ර රමණීය භාෂාවක් යොදාගෙන ලියන ලද ප්‍රේම ගීවල ඇත්තෙන්ම කවියෙකුට එහා ගිය කවි කල්පනා දක්නට ලැබේ.
‘අහසින් පොළවට’ සිනමා නිර්මාණය මෙරට ආර්ථික පෙරළියක් ඇතිවන අවධියේ ජන සමාජගත වූ නිර්මාණයක් විය. මධ්‍යම පාන්තික පවුල් කීපයක් පුරා අපූරු කතා සම්ප්‍රදායක් ඒ තුළ දිවයන අතර ‘උපුල් නුවන් විදහා’ ගීතය හරහා ඔගස්ටස් සමස්ත කතාවම රූප රාමු පෙළකට ගෙන ඒමට සමත්ය.
ගීතයේ තිබූ ශක්‍යතාවය හඳුනාගත් නිමල් මෙන්ඩිස් නම් අග්‍රගන්‍ය සංගීතවේදියා මනහර තනුවක් මඟින් එය පරිසමාප්ත කලා කෘතියක් බවට පත් කරනු ලැබීය.
‘උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා…….’
මෙලෙසම මනා සංගීත සුසංයෝගයක් ‘සීතාදේවී’ චිත්‍රපටයේ ‘නිමි හිමි සෙව්වා මා සසරේ’ ගීතය තුළද දක්නට ලැබේ. චිත්‍රපටයේ රූපාවලිය අරුත්ගන්වන වචන ඔහුගේ ඔහුගේ නිර්මාණාත්මක භාෂාවෙහි ජීව ගුණය රැක ගැනීමට සමත්ය.ඔගස්ටස් නිරාගමික වූ නමුත් බෞද්ධ දර්ශනයේ එන අතිශය සංකීර්ණ ධර්ම කරුණක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳ කියවීමක් ‘නිම් හිම් සෙව්වා’ ගීතය හරහා ඉදිරිපත් කිරීමට එතුමා උත්සුක වූ බව විචාරක පිළිගැනීම වේ.
‘නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරෙන් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ
දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගිම් සනහා අපමයි තැවුනේ….’
නිර්මාණකරුවකු කෙතරම් හෘද සංවේදී දැයි වචනයකට ලඝු කිරීම උගහටය. එනමුත් ඒ වෙනුවෙන් යම් සටහනක් ඔහුගේ දින පොතින් මෙහිලා දැකිවිය හැකිය.
1963 මැයි 03
‘මාමළොත් ඔබට එය දැරිය නොහැකි තරම් පාඩුවක් නොවේ. ඒ ඔබට ආදරය කළ අයෙක් මිය ගියා මිස ඔබ ආදරය කළ අයෙක් මියගියේ නැති නිසා. එහෙත් ඔබ මළොත් නම් කිසි ලෙසකින්වත් එය මට දැරිය නොහැකි වෙයි. ඒ මට ආදරය කළ අයෙකු නොව, මා ආදරය කළ අයෙකු මිය ගිය නිසායි’
1966 මැයි මස 03
‘වයස අවුරුදු 29ක් අදට සම්පූර්ණයි. අවුරුදු 24ක් මා වුන්නේ තනිවම තනියෙන් අවුරුදු 05ක් මා වුන්නේ විවාහකව තනියම. මා කවදත් තනියම තනියෙන් මගේ ගමනේ සැතපුම් කණු 29ක් දැන් ගෙවී ගොස් ඉවරයි. තව සැතපුම් කණු කීයක් ගෙවිය යුතුද අතරමං වී වටපිට බලමින් ගමන කොතෙක්දු ගෙවා ඇත්දැයි කියා සොයන මඟියෙක් වගෙයි මා……….’
‘මොහොතක්’
හමගිය තාරකාවක් බොඳවෙලා දිළිසේ
පොළව හතැරැස්
අහස හිස්
විවාහය බුදි එහා ඇඳේ
ඒත් රාත්‍රිය අවධියෙන්
නීතියෙන් යාළුවුණ සිරකරුවන් දෙදෙනෙක්
ඉඩෝරයේ තාමත් තාමත්
හති දැනෙන තරම් දිව්වත්
විනාඩි කටුව එතනමයි
කාලය නැවතුනා මටත් ඈටත්…
ගේය පද රචකයෙකුට අමතරව චිත්‍රපට තිර පිටපත් රචකයෙකු වශයෙන්ද ඔගස්ටස් විනයාගරත්නම් ඇල්‍ෆඩ් ජෙෆ්රිගේ ‘හිතුවොත් හිතුවාමයි’ චිත්‍රපටයට හා සුගතපාලද සිල්වාගේ ‘ඉන්දුට මල් මිටක්’ යන චිත්‍රපටයන් සඳහා තිර රචනයෙන් සම්බන්ධ විය.
1950 වර්ශයේ ‘එකලොස් ගින්න’ මෙන්ම 1960 වර්ෂයේ ‘පිපාසිතයෝ’ නමින් කෙටිකතා නිර්මාණ දෙකක් ප්‍රකාශයට පත් කිරීමට ඔහු සමත් විය. ඔගස්ටස් තමන්ගේ ‘එකොළොස් ගින්න’ පොතට නම යොදාගනු ලැබුවේ පොදු මානුෂීය ගුණාංග කැටිකරගත් නමක් වශයෙනි. ‘එකොළොස් ගින්න’ යන නම ඔහු යොදාගත්තේ බෞද්ධ සංකල්පයකට අනුව රාග, ද්වේශ මෝහ වැනි ගිනි එකොළහකින් මිනිසා දැවෙනවා යන පොදු ධර්මතාව අනුවය.
මනුෂ්‍ය ජීවිතය ගෙවන්නේත් තමන්ගේ පිපාසාව සන්සිඳුවා ගැනීමටය යන ධර්මතාවය පදනම්ව ‘පිපාසිතයෝ’ යන නම ඔහු සිය දෙවන කෙටිකතා නිර්මාණයට යොදාගනු ලැබීය.
එමෙන්ම ‘සෙව්වන්දි’ නම්න් කාව්‍ය නිර්මාණයක් එළිදැක්වීමටද ඔගස්ටස් විනයාගරත්නම් සමත් විය. ඒ වෙනුවෙන් නිසි පිළිගැනීමක් නොලැබුණමුත් විදේශ පොතපත කියවීමෙන් ලත් ආභාෂය මෙන්ම නව්‍ය භාෂා ලක්ෂණ ඒ තුළ විය.
60′ දශකයේ ‘අපේ කට්ටිය’ අතර සිටි විශේෂ චරිතයක් ලෙස ඔගස්ටස් විනයාගරත්නම් හඳුනා ගත හැකිය. එවකට පැවැති සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ව්‍යුක්තව වෙනත් මඟක් සොයා ගිය ඔගස්ටස් අරුත්බර සම්මතයක් වෙනුවෙන් සිතිවිලි මෙහෙය වූවෙකු විය. දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගිය පුළුල් මනසක් චින්තනයක් මෙන්ම විඥානයක් ඔහු සතු විය.
‘අපේ කට්ටිය’ සාහිත්‍ය කලාවේත්, සිනමාවේත් සහ විචාරයේදීත් ප්‍රබල නියෝජනයක් සිදු කරනු ලැබීය. නිලතල නොතිබූ ඒ සංවිධානයේ සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, රැලෙක්ස් වැනි අය අතර ඔගස්ටස්ගේද නියෝජනය විය.
බටහිර සාහිත්‍යයේ සංස්කෘතිය නව චින්තනයන් හඳුනාගැනීමට මෙම නවක තරුණ කණ්ඩායම වන අපේ කට්ටියට නිරන්තරයෙන් උත්සුක විය. මේ සඳහා ඔවුන්ට බලපෑවේ විශේෂයෙන්ම ප්‍රංශයේ ජෝන් පෝල් ශාත්‍රේ, කොලින් විල්සන්ගේ සහ ඇල්බෙයා කැමූගේ සාහිත්‍යයි. මීට සමාන්තරව එංගලන්තයේ බිහිවුණු තරුණ රැඩිකල් තරුණයන්ගේ ප්‍රධානියා වුණු ජෝන් ඔස්බෝන්ගේ ‘ලුක් බැක් ඉන් ඇන්ගර්’ නාට්‍ය වැනි සාහිත්‍ය කෘතීන් ද ‘අපේ කට්ටිය’ තරුණ චින්තනයට බලපාන්නට විය.
ඔවුන් ඒ හරහා නව ඉසව් සොයා යන්නට විය. ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කර ගැනීමට සිය නිර්මාණ මෙහෙයවන්නට විය. ද්විභාෂා දැනුම, කියවීම මඟින් මොවුන් කලා සංස්කෘතික ලෝකයේ පෙරළියක් කිරීමට නිරන්තරව උත්සහ දැරීය.
සැබැවින්ම ඔගස්ටස් ඵෙතිහාසික වශයෙන් අසාධාරණයට ලක් වූ නිර්මාණකරුවෙකු විය. පුදුමාකාර නිර්මාණ කුසලතා ශක්තියක් මේ වන විට ඔහුත් සමඟ අකාලයේ වියැකී ගොස් ඇත. ඒ නමුත් ඔහුගේ නිර්මාණ ජන හදවත් තුළ චිරාත්කාලයක් ජීවමාන වනු ඇත.
- සෂිකලා මධුෂාණි