මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ,
කොළඹ LNW:ලෝකයේ බලවත්ම ප්‍රජාතාන්ත්‍රික ධනවාදී ලෙස සැලකෙන ඇමෙරිකාවේ එවැනි ආර්ථිකයක් නොව, නාස්තිය සහ දුෂණයෙන් පිරි ගැඹුරු නිලධාරිවාදී රාජ්‍ය ආර්ථිකයක් පවතින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පැහැදිලි වන බවත්,එබැවින්, ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය ගැන කියමින් ශ්‍රී ලංකාව වැනි රටවල් විසින් IMF ලෝක බැංකුව හරහා අනුගමනය කෙරෙන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යනු හුදු දේශපාලනික රැවටීමක් බවත්, දැක්වීම යි. නව ලිබරල් වාදය යනු අවම නියාමනය, නිදහස් වෙළෙඳාම, ගෝලීය කරණය සහ රාජ්‍ය වියදම් කැපීම හරහා පෞද්ගලික වෙළෙඳපොළ ආර්ථිකය ප්‍රවර්ධනය කෙරෙන දේශපාලනික මතවාදයකි.
එබැවින්, වත්මන් ඇමෙරිකානු රජයේ නව ප්‍රතිපත්ති දැක්ම සහ ව්‍යායාමය මෙම රටවලට හොඳ පෙරහුරුවක් වනු ඇත. ඊට හේතුව,
වත්මන් ඇමෙරිකානු රැඩිකල් දේශීය නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය තුළින් වොෂින්ටන් සම්මුතිය පදනම් වූ IMF, ලෝක බැංකු, ඩොලර්/විදේශ ආයෝජන නව ලිබරල් වාදී ආර්ථික කළමනාකරණ සංකල්පය බිඳ වැටීමත්, එමගින්, නව ලිබරල් වාදයේ එල්බ ගෙන දේශීය නායකයන්ට සහ ඔවුන්ගේ ආර්ථික විශාරදයන්ට මහජනතාව රැවටීමට ඉදිරියේ දී නොහැකි වීමත් ය.
ඒ බව, දැනටමත් ලෝකය පුරා රටවලට දැනී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරු බදු සහ ආධාර කැපීමේ බියෙන් පැහැදිළි වෙයි. නව ඇමෙරිකානු ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එලෝන් මස්ක්ගේ මෙහෙයවුම් දායකත්වයෙනි. ඒ සඳහා ඔවුන් දෙදෙනාට ව්‍යපාරික දැනුමක් නොමැති බව කිසිවෙකුට කිව නොහැකිය.
එලෝන් මස්ක් යනු ලෝකයේ ධනවත්ම ව්‍යවසායකයා වන අතර ඔහුගේ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගම, ස්පේස්X අභ්‍යාවකාශ සමාගම සහ X සමාජ මාධ්‍ය සමාගම ලෝකයේ ඉතාමත් නවීන තාක්ෂණික ව්‍යාපාරයන් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු දේශපාලනය ඒමට පෙර ඇමෙරිකාවේ පාරම්පරික දේපොළ වෙළෙඳාමෙහි නියුතු, නිවුයෝර්ක් නුවර මහල් 58 ක් සහිත ට්‍රම්ප් ගොඩනැගිල්ල හිමි ධනවත්ම ව්‍යාපාරිකයෙකි. එබැවින්, ප්‍රයෝගික වෙළෙඳපොළ හැසිරීම ඔවුන්ට ඉගැන්වීමට ආර්ථික විද්‍යාඥයන් අවශ්‍ය නොවේ.

වත්මන් ඇමෙරිකානු නව ආර්ථික ප්‍රතිපත්තියේ පසුබිම
පසුගිය නොවැම්බර් 5 දින පැවති ජනාධිපති වරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ 2025 ජනවාරි 20 දින ය. පාර්ලිමේන්තුවේ බහුතර බලය ද ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට ලැබී ඇති බැවින් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට හොඳ හැකියාවක් පවතී.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා සරල විය. එනම්, ඇමෙරිකාව ආර්ථික වශයෙන් නැවත බලවත් කරන බව යි. එම දේශපාලන න්‍යාය පත්‍රය තුළ ඉදිරිපත් කළ ප්‍රධාන අයිතමයන් කිහිපයකි.
එලෝන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක් (Department of Government Efficiency) පිහිටුවා, ෆෙඩරල් රජයේ ප්‍රමාණය අඩු කොට කාර්යක්ෂම කිරීම. එහි අරමුණු කිහිපයකි.
ෆෙඩරල් රාජ්‍ය ආයතනවල මුදල් නාස්තිය සහ වංචාවන් වලක්වා, අනවශ්‍ය රාජ්‍ය ආයතන වසා දමා, රජයේ වියදම් සහ අයවැය හිඟය සැලකිය යුතු ලෙස පහළ දැමීම. ෆෙඩරල් රජයේ ආර්ථික නියාමන පද්ධතිය කපා හැර පෞද්ගලික වෙළෙඳපොළ පද්ධතිය ප්‍රවර්ධනය කිරීම. ෆෙඩරල් රජය හැකි තරම් රාජ්‍ය සේවයෙන් ඉවත් වී, එය ප්‍රාන්ත රජයන් විසින් කර ගෙන යාමට ඉඩ දීම. අයවැය හිඟය සහ ආර්ථික නියාමනය පහළ යාම හරහා ආර්ථිකයෙහි උද්ධමන පීඩනය පහළ දැමීම. නුදුරු අනාගතයේ දී රාජ්‍ය ණය පැහැර හැරීම හරහා රට මුහුණ හැකි බංකොලොත් භාවය වැලැක්වීම.
මෙය, ගැඹුරු නිලධාරී රාජ්‍යයේ බලය සීමා කොට, මහජනයා විසින් පත් කල රජය විසින් රට පාලනය කිරීමේ උත්සාහයක් ලෙස දැක්වෙයි. 2022 වර්ෂය අවසානයේ දී එක්සත් රාජධානියෙහි පත් වූ ලිස් ට්‍රස් අගමැතිනියගේ රජය විසින් කඩිනම් ආර්ථික වර්ධනය සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කොට දින 45 කින් පරාජයට පත් වූයේ, IMF සහ මෙවැනි බලවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ විරුද්ධත්වය හරහා හට ගත් මූල්‍ය වෙළෙඳපොළ පීඩනය හේතුවෙනි.
තීරු බදු පැනවීම හරහා දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ විදේශ වෙළෙඳ හිඟය පහළ දැමීම.
සැපයුම් අංශය ඉලක්ක කොට බදු පහළ දැමීම මගින් නිෂ්පාදනය ඉහළ නංවා, මිල ගණන් සහ උද්ධමනය පහළ දැමීම. නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කොට, ආර්ථික වශයෙන් ඵලදායි සංක්‍රමණික ප්‍රතිපත්තියක් දියත් කිරීම. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති රැඩිකල් පියවරයන් කිහිපයක්.
ඔහු විසින් පසුගිය ජනවාරි මස 20 දින දිවුරුම් දීමේ දින සිට මේ දක්වා 200 කට වඩා විධායක නියෝගයන් නිකුත් කොට, මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට ක්‍රියා කරන ආකාරය දින පතා මධ්‍යයෙහි වාර්තා වී ඇත. ඉන් ප්‍රධාන පියවරයන් කිහිපයක් පහත දැක්වෙයි.
ඇමෙරිකානු පුරවැසි හිමිකම නොමැති විදේශිකයන්ට උපදින ළමයින්ගේ පුරවැසි හිමිකම හෝ අයිතිය අවලංගු කිරීම.රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව පිහිටුවා ෆෙඩරල් ආයතනවල වියදම් සහ කාර්යයන් පරික්ෂා කිරීම. එය හුදෙක් එම ආයතනවලින් ඇමෙරිකානු බදු ගෙවන්නන්ට ඇති ප්‍රතිඵලය කුමක් ද? යන්න මත පදනම් වෙයි. එමගින්, ඇමෙරිකාව සහ ලෝකය පුරා බලපාන තීරණයන් රැසක් ගෙන ඇත.
ෆෙඩරල් ආයතන කිහිපයක් අත් හිටුවීම. US AID ක්‍රියාකාරකම් අත්හිටුවීම ලෝකය පුරා බලපා ඇත. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ කාර්යාංශය ද එසේ අත්හිටුවා ඇත.
ෆෙඩරල් රාජ්‍ය ආයතනවල මහා පරිමාණයේ මුදල් නාස්ති සහ දුෂණ ගනුදෙනු විශාල සංඛ්‍යාවක් සොයා ගෙන ඒවා අත්හිටුවීම. ඒවා, රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු පරිඝණක නිලධාරීන් විසින් ආයතනවල පරිඝණක දත්ත පද්ධතිය පරික්ෂා කිරීම මගින් සොයා ගැනේ. මින් දැනට ඩොලර් බිලියන 150 කට වඩා අධික ඉතුරුම් ජනිත කොට ඇති බව වාර්තා වෙයි.
ෆෙඩරල් රජයේ අතිරික්ත සේවක සංඛ්‍යාව කපා හැරීම. මීට පරිවාස කාල සේවකයන් 30,000 කගේ සේවය නිමා කිරීම සහ පාරිතෝෂිකයක් මත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීම ඇතුළත් වෙයි.
අන්‍යෝන්‍ය හෝ ප්‍රති තීරු බදු (Reciprocal Tariff) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එනම්, විදේශ රටවල් විසින් ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයෙන් එම රටලින් ඇමෙරිකාව විසින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීම. දැනට චීනය, මෙක්සිකෝව, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් රාශියකට එරෙහිව තීරු බදු ඉහළ දමා ඇති අතර එම රටවල් ද තීරු බදු ඇතුළු වෙළෙඳ බාධක පනවා ඇති බැවින් විදේශ වෙළෙඳ යුද්ධයක් හට ගෙන ඇත. එන අප්‍රේල් 02 දින සිට බොහෝ රටවලට ප්‍රති තීරුබදු පැනවෙන බවට වාර්තා වෙයි.නීති විරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන සිය රටවලට පිටුවහල් කිරීම.වෙනිසියුලාවෙන් සංක්‍රමණය වී ඇති අති දරුණු අපරාධ කරුවන් 230 ක් පමණ එල් සැල්වදෝරයේ පිහිටි දරුණු සිරගෙයකට පිටුවහල් කිරීම. ඩොලර් ට්‍රිලියන 2 ක පමණ ස්වෛරිත්ව වත්කම් අරමුදලක් පිහිටුවීම. ෆෙඩරල් වත්කම් අළෙවිය සහ එවැනි වත්කම් ඇපයට තබා ගනු ලබන ණය මගින් අරමුදලට මුදල් රැස් කෙරේ.
ඩොලරය මත පදනම් වූ පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ප්‍රචලිත කිරීම මගින් ඩොලරයේ ගෝලීය සංචිත මුදල් තත්ත්වය තවත් ව්‍යාප්ත කිරීම. මේ සඳහා මූලික පියවරයන් දෙකක් ගෙන ඇත.
පළමුව, ඇමරිකන් රජය විසින් බිට් කොයින් සංචිතයක් සහ වෙනත් ක්‍රිප්ටෝ මුදල් සංචිතයක් ගොඩ නැගීම තුළින් ක්‍රිප්ටෝ කර්මාන්තය ප්‍රවර්ධනය සහ ස්ථායිකරණය කිරීම.
දෙවනුව, ඩොලරයට බද්ධ වූ ස්ථායී කාසි (Stable Coins) නිකුත් කිරීමට සහ වෙළෙඳාම් කිරීමට බැංකුවලට අවසර දීම සහ ස්ථායී කාසි නියාමනය සඳහා නව නීති සැකසීම.
මෙමගින් ඩොලර් මත පදනම් වූ නව පෞද්ගලික විද්‍යුත් මුදල් වර්ගයන් ඇමෙරිකානු බැංකු හරහා ලෝකය පුරා ව්‍යාප්ත කිරීම මගින් ඩොලරයේ නව ප්‍රවර්ධනයක් කිරීමට අපේක්ෂා කෙරේ. මීට පෙර ඩොලරය ගෝලීයකරණය කරනු ලැබුවේ 1944 දී එකඟ වූ බ්‍රෙටන්වූඩ්ස් රන්-ඩොලර් විනිමය අනුපාතය මත IMF-ලෝක බැංකුව හරහා ය. දැන් එම ක්‍රමය බිඳ වැටී, රටවල් ඩොලර් මුදලින් ඉවත් වීමේ උපනතියක් දැකිය හැකිය. එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වූයේ, ඩොලරය නැවත ලෝකයේ බලවත්ම මුදල් බවට පත් කරන බව යි.
ඇමෙරිකානු සුරක්ෂිතාගාරවල පවතින අවුන්ස මිලියන 248 ක් (මෙට්‍රික් ටොන් 8,133) පමණ වන රන් සංචිතය විගණනය කිරීම. එය 1953 න් පසු භෞතික විගණනයක් කොට නොමැති බැවින් එම රන් ප්‍රමාණය තිබේ ද? යන්න සැකයක් හට ගෙන ඇත. එහි වටිනාකම 1974 දී මිල වූ අවුන්සයක් ඩොලර් 42 මත ඩොලර් බිලියන 10.5 ක වටිනාකමක් පොත්වල ගිණුම් ගත වී ඇති අතර එහි වත්මන් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 760 ක් පමණ වන බවට වාර්තා වෙයි. එබැවින්, අයවැය හිඟය මූල්‍ය කරණයට රන් සංචිතය භාවිතා කිරීමේ අදහසක් ද ඉදිරිපත් වී ඇත.
බදු කැපීම සහ ආර්ථික වර්ධන පනතක් කෙටුම්පත් කිරීම. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම පළමු ජනාධිපති සමයේ ඉදිරිපත් කළ පනත, නව ඡන්ද පොරොන්දු ඉටු කිරීම සඳහා සංශෝධනය කිරීමකි. මෙහි දී, විශේෂයෙන් සැපයුම් අංශයට බලපාන බදු ලිහිල් කිරීමට අපේක්ෂා කෙරේ. උදාහරණ ලෙස අතිකාල සහ සේවා තුටුපඬුරු බදුවලින් නිදහස් කිරීමට යෝජනා කොට ඇත.
පොලී අනුපාතය පහළ දමා තීරු බදු ප්‍රතිපත්තිය දායක වන ලෙස ඇමෙරිකානු මහ බැංකුවෙන් ඉල්ලා සිටීම. රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියා කළ හැකි වන ලෙස ඇමෙරිකානු මහ බැංකු පනත සංශෝධනය කරන බවට අදහස් ඉදිරිපත් වී ඇත.
අභ්‍යවකාශ යානයේ දෝෂයක් හේතුවෙන් මාස 9 ක් පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා ආයතනයේ ගඟනගාමින් දෙදෙනා එලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ සමාගමේ යානයක් යවා ආපසු රැගෙන ඒම. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් ගේ ජාතික වීර ක්‍රියාවක් ලෙස සැලකේ. එලෝන් මස්ක් විසින් හිටපු ජනාධිපති සමයේ ඒ සඳහා අවසර ඉල්ලා සිටිය ද, හිටපු ජනාධිපති ජෝ බයිඩන් එය ප්‍රතිකේෂ කිරීම නිසා ඔවුන් ආපසු පෘතුවියට ගෙන ඒම ප්‍රමාද වූ බව එලෝන් මස්ක් විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලදි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් මුහුණ දෙන අභියෝගයන්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගැඹුරු නිලධාරිවාදය සහ විරුද්ධ පක්ෂය දැඩි ලෙස හරස් වී ඇත. ඒ බව, ඒවා ක්‍රියාත්මක කිරීමට මේ දක්වා පැන නැගී ඇති අධිකරණ හරස්වීම් සහ මහජන උද්ගෝෂණයන්ගෙන් පැහැදිළි වෙයි. මෙවැනි අවස්ථාවල ජනාධිපති සහ කාර්ය මණ්ඩලය අධෛර්යමත් වුවහොත් වෙනත් රටවල මෙන් රජය අක්‍රීය වීමට හෝ බිඳ වැටීමට හැකියාව පවතී. එවැනි අභියෝගයන් කිහිපයක් පහත දැක්වෙයි.
ජනාධිපතිගේ විධායක නියෝගයන්ට එරෙහිව නඩු පැවරීම
ප්‍රතිපත්ති තීරණයන්ට එරෙහිව දැනට නඩු 145 ක් පමණ ගොනු වී ඇති අතර ඉන් 46 කට පමණ රජයට එරෙහිව වාරණයන් පනවා ඇත. වාර්තාවන් අනුව පසුගිය මෙම සියවසම තුළ රජයට එරෙහිව පැනවූ අධිකරණ වාරණ සංඛ්‍යාව 26 කි. සමහර නඩු ප්‍රාන්ත ආණ්ඩුවල නීතිපති වරුන් විසින් ගොනු කොට ඇත. එය විශේෂයෙන් විදේශියකයන්ට උපත් අයිතිය අහෝසි කිරීමේ ජනාධිපති නියෝගය සඳහා දැකිය හැකිය.
ලෝකය පුරා දැඩි විවේචනයට සහ නීති අර්බුදයකට භාජනය වී ඇති අධිකරණ වාරණයක් වන්නේ, දරුණු අපරාධ කරුවන් 230 ක් එල් සැල්වදෝරයේ බන්ධනාගාරයට යැවීම අත්හිටුවීම යි. මෙම අධිකරණ වාරණය දැඩි දෝෂ දර්ශණයට ලක් වී ඇත්තේ, වාරණය ලැබෙන විට ඔවුන් රැගත් යානය ඇමෙරිකානු ගුවන් සීමාවෙන් එහා තිබීම හේතුවෙන් අධිකරණයට නීතිමය බලයක් නොමැති වීමත්, විනිශ්චයකරු විසින් ගුවන් යානය ආපසු හරවා නැවත ගොඩබාන ලෙස නියෝග කිරීමත්, වාචික අධිකරණ නියෝගයක වලංගුතාවය ප්‍රශ්න කිරීමත්, මෙම ජනාධිපති නියෝගය සියවස් දෙකකට වඩා පැරණි යුධ නීතියක් යටතේ ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීමක් නිසා සංක්‍රමණික අධිකරණයකට මෙවැනි පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොවීමත් ය.
එබැවින්, රාජ්‍ය ප්‍රතිපත්ති අකර්මන්‍ය කෙරෙන විනිශ්චයකරුවන් පාර්ලිමේන්තුවේ විශ්වාසබංගයන් හරහා ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති අතර මෙම විනිශ්චයකරුට එරෙහිව එය දැනටමත් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි. මීට එරෙහිව අග්‍ර විනිශ්චයකාර වරයා පවා නිල ප්‍රකාශණයක් නිකුත් කිරීමෙන් ගැඹුරු රාජ්‍ය නිලධාරිවාදයේ ප්‍රමාණය පැහැදිළි වෙයි. ඊට හේතුව, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ව අධිකරණ ක්‍රියාවලියෙන් පිටත නිල ප්‍රකාශනයන් කිරීමේ අධිකාරියක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති වීම යි. ඔහු විසින් ප්‍රකාශ කොට ඇත්තේ, මෙසේ විනිශ්චය කරුවන් විශ්වාස බංගයන්ට ලක් කිරීම පසුගිය සියවස් දෙකේම වූ සම්මතයට පටහැනි බැවින් එවැනි වාරණයන් ඉහළ අධිකරණයන්ට අභියාචනය කිරීම හරහා විසඳා ගැනීම වඩා යෝග්‍ය බවයි (වීඩියෝව බලන්න) .
මෙහි දී, පැරණි සම්මතයන් පවත්වා ගැනීමට උත්සාහ කිරීම මිස, ඡන්ද පොරොන්දු අනුව රටට අවශ්‍ය නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවකාශය සැපයීමක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කිරීමක් සිදු නොවේ. එහෙත්, ජනාධිපති වරයා පවසන්නේ, අභියාචනා අධිකරණ ක්‍රියාවලිය සඳහා සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් ගත වන බැවින් මහජන පොරොන්දු ඉටු කිරීමට ඉඩ නොලැබෙන බවත්, මෙම විනිශ්චය කරුවන් ඩිමොක්‍රටික් රජයන් විසින් පත් කොට ඇති බැවින් මේ පිටුපස රජය කඩාකප්පල් කිරීමේ දේශපාලනික ව්‍යාපාරයක් පවතින බවත් ය. ඊට උදාහරණය ලෙස ජනාධිපති වරණයට පෙර තමා අධිකරණ තීන්දු මගින් බන්ධනාගාර ගත කිරීමට පසුගිය රජය උත්සාහ කළ බව ද දැක්වෙයි.
එලෝන් මස්ක්ට එරෙහි පෞද්ගලික පහරදීම්
ජනාධිපති ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක පිටුපස සිටින්නේ, එලෝන් මස්ක් සහ ඔහුගේ රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් ය. එබැවින්, එලෝන් මස්ක්ට එරෙහිව දේශපාලනික රැල්ලක් ගොඩ නැගී ඇති අතර ඔහුට මරණීය තර්ජන ද එල්ල වී ඇති බව වාර්තා වෙයි.
එසේම, පසුගිය දින කිහිපය තුළ ඔහුගේ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගමට අයත් දේපොළ සහ ප්‍රදර්ශනාගාර රැසකට පහර දීම් සහ ගිනිතැබීම් ද උද්ඝෝෂණයන් ද රාශියක් ද වාර්තා විය. එය ඇමෙරිකාවේ මෙන්ම විදේශ රටවල ද සිදු විය. රජයේ ක්‍රියාශීලීන්ට එරෙහිව මෙවැනි පුද්ගලික තර්ජන සහ බලපෑම් හරහා රජයන් අක්‍රීය කිරීම ලෝකය පුරා දැකිය හැකි දේශපාලනික කුමන්ත්‍රණයකි.

මහ බැංකුවේ සහයෝගය නොලැබීම හෝ අවිනිශ්චිත භාවය
රජයෙන් ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ඇමෙරිකානු මහ බැංකුව වෙතින් ද නිලධාරී මට්ටමේ තර්ජනයක් සුපුරුදු ලෙස වර්තා වෙයි. එනම්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු මුදල් ප්‍රතිපත්ති තීරණ රැස්වීම් දෙකක් (ජනවාරි 28 හ මාර්තු 19) පැවති අතර පොලී අනුපාතය පහළ දමන ලෙස කළ ජනාධිපති වරයාගේ ඉල්ලීම නොසලකා පොලී අනුපාතය 4.25%-4.50% මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීමට තීරණය කොට ඇත.
වෙනත් රටවල මෙන් ඇමෙරිකාවේ මහ බැංකුව ද විවෘතව රජයට එරෙහිව ක්‍රියා කරන අතර ඊට හේතුව ලෙස අයවැය හිඟය සහ ණය තුළින් සිදු වන උද්ධමන අවදානම ඉදිරිපත් කෙරේ. මෙවර, ඊට තීරු බදු සහ විදේශ වෙළෙඳ යුද්ධය ද බද්ධ කිරීම දැකිය හැකිය. එබැවින්, මහ බැංකුවේ සුපුරුදු පිළිතුර වන්නේ, උද්ධමනයට අවදානම් පවතින බවත්, ඉදිරි දත්ත දෙස බලා තීරණය කරන බවත් ය. පෙරෙයි දා පැවති රැස්වීමේ දී දක්වා ඇත්තේ තීරු බදු හේතු කොට ඇතිවිය හැකි උද්ධමනය තාවකාලික බව යි.
එහෙත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ, තීරු බදු ප්‍රතිපත්තියට උපකාරී වන ලෙස මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමිය යුතු බව යි. එසේම, රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු මහ බැංකුවේ මුදල් ගනුදෙනු පරික්ෂා කිරීමට ද නියමිත ය.
එබැවින්, පොලී අනුපාතයන් පහළ නොදමුවොත්, එම පරික්ෂාව ඉක්මන් වී මහ බැංකුවේ වියදම් පිළිබඳ ව නොයෙකුත් විවේචනයන් ප්‍රසිද්ධ වීමේ අවදානම පවතී. එසේම, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය හේතු කොට නුදුරු අනාගතයේ දී රාජ්‍ය මහ බැංකු මුදල් ප්‍රතිපත්ති සීමා වී, ක්‍රිප්ටෝ වත්කම් මත පදනම් වූ නව ගෝලීය ඩොලර් මුදල් ක්‍රමයක් ගොඩ නැගෙනු ඇත. එවිට, ලෝකයේ අනෙක් මහ බැංකු විසින් ද ඩොලර්වලට හුවමාරු වන ක්‍රිප්ටෝ වත්කම් මත තම මුදල් ක්‍රමයන් පාලනය කිරීමට පෙළඹෙනු ඇත.
කිසිම රටක රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මහ බැංකුවේ සහයෝගය නොමැතිව ක්‍රියාත්මක කල නොහැකිය. ඊට හේතුව, ආර්ථිකයේ බැංකු, ණය සහ මුදල් අංශය මහ බැංකුවෙන් පාලනය වන බැවිනි. එබැවින්, මහ බැංකුව විසින් මහජන රජයන් පෙරලා දැමීමට පවා ක්‍රියාත්මක වන බවට සාක්ෂි පවතී. මීට හොඳම උදාහරණය 2022 අවසානයේ දී එක්සත් රාජධානියේ ලිස් ට්‍රස් රජය දින 45 කින් කඩා වැටීම යි. ඊට ප්‍රධාන වශයෙන් දායක වූයේ මුදල් වෙළෙඳපොළ යි. මෙහි දී, අඛණ්ඩ ප්‍රතිපත්ති ගැටුමක් හට ගත හොත්, මහ බැංකු පනත සංශෝධනය කොට ජනාධිපතිගේ පාලනය යටතට ගැනීමට පවා අවකාශය පවතී. ඊට හේතුව, රජයට එරෙහි වී රටක් සහ ආර්ථිකයක් පාලනය කිරීමේ නෛතික හෝ ප්‍රයෝගික බලයක් මහ බැංකුවට නොමැති බැවිනි. මහ බැංකුවට හැකියාව පවතින්නේ, ආර්ථික සංකල්පයන් කිහිපයට මුවා වී, මුදල් මුද්‍රණය කොට බැංකු කිහිපයකට ණය දීම පමණි.
සමාප්ත සටහන
මෙතෙක් ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේ දී ඇමෙරිකාවේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින බවත්, නූතන නව ලිබරල් වාදය ලෙස එම ඇමෙරිකානු ආර්ථික මොඩලය ඉදිරිපත් කිරීමත් ප්‍රචලිතය. එසේම, ඇමෙරිකාව යනු පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රාජ්‍ය පාලනයක් පවතින ඉහළම රට ලෙස ද සැලකෙයි.
තව ද, ජාත්‍යන්තර වෙළෙඳාම යනු නිරපේක්ෂ වාසි සහ සාපේක්ෂ වාසි ආර්ථික න්‍යායන් මත පදනම් වූ බොහෝ නිදහස් තරඟකාරී වෙළෙඳාමක් බව ද, කාලයක සිට ආර්ථික විද්‍යාවේ ඉගැන්වෙයි. තරගකාරී නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා ලෝක වෙළෙඳ සංවිධානය ද පිහිටුවන ලදි. එසේම, ඇමෙරිකාව යනු ඉහළම සංවර්ධිත සහ ජීවන තත්ත්වයක් ඇති ලොව ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම රට ලෙස සැලකිණ. එහෙත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් විසින් දියත් කොට ඇති වත්මන් ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සහ ඊට එරෙහි වූ සමාජ ක්‍රියාකාරකම් දෙස බලන විට, එවැනි අමෙරිකාවක් හෝ වෙළෙඳපොළ ආර්ථිකයක් හෝ තරඟකාරී ජාත්‍යන්තර වෙළෙඳාමක් හෝ පුද්ගලික නිදහස ගරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ පැවති බවක් නොපෙනේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක්ගේ අරමුණ වන්නේ, ආනයන සහ විදේශ බලපෑම්වලින් ආරක්ෂා වූ ශක්තිමත් දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීමයි. විදේශ ආධාර වැඩසටහන් අත්හිටුවීම ද එහි කොටසකි. එසේම, IMF සහ ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ආර්ථිකයට ඇති ප්‍රයෝජනය ද දැනට ප්‍රශ්න කොට ඇත. එබැවින්, එම ආයතනවල ආර්ථික විද්‍යාඥයන් විසින් ඇමෙරිකානු නව දේශීය ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ව කිසිම විවේචනයක් සිදු කොට නොමැත.
එසේම, ඇමෙරිකාවේ හෝ වෙනත් රටවල සිටින නිදහස් වෙළෙඳපොළ ආර්ථික විද්‍යා මහාචාර්ය වරුන් සුපුරුදු පරිදි තරඟකාරී තීරු බදු හේතු කොට උද්ධමනය ඉහළ ගොස් ආර්ථික සංකොචනයක් පිළිබඳ සංකල්පීය අනාවැකි පළ කිරීම හැර වෙනත් විවේචනයක් ඉදිරිපත් කොට නැත. එහෙත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික විද්‍යාඥයන්ගේ පිළිතුර වන්නේ, මෙය හුදෙක් තීරු බදු ප්‍රතිපත්තියක් නොව, දේශීය සැපයුම් ප්‍රවර්ධන ආර්ථික ප්‍රතිපත්ති පැකේජයක් බවත්, ඉන් උද්ධමනය පහළ ගොස් ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ඉදිරියේ දී ඉහළ යන බවත් ය.
මෙම ප්‍රතිසංස්කරනයන්හි පදනම වන්නේ, රජයේ මැදිහත්වීම වෙළෙඳපොළ පද්ධතියෙන් ඉවත් කොට, රාජ්‍ය ආරක්ෂණය යටතේ දේශීය වෙළෙඳපොළ ක්‍රියාශීලී කිරීම යි. එබැවින්, තීරු බදු සහ විදේශ වෙළෙඳ බාධකයන් ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගය වෙයි. එහි අදහස තරගකාරී නිදහස් විදේශ වෙළෙඳ ආර්ථික විද්‍යා මූලධර්මය ප්‍රතික්ෂේප කිරීම යි.
රාජ්‍ය සේවය සංකෝචනය කොට කාර්යක්ෂම කිරීම එම ප්‍රතිපත්තියේ මූලික අංගයකි. එනම්, නාස්තිය සහ දුෂණය පිටුදැකීම තුළින් දැනට ඩොලර් ට්‍රිලියන 2 ක් පමණ වන අයවැය හිඟය සැලකිය යුතු ලෙස කපා දැමීම යි. ඊට හේතුව ලෙස එලෝන් මස්ක් විසින් දක්වා ඇත්තේ, ඉදිරියේ දී ණය ගෙවීමට නොහැකි වීමෙන් ආර්ථිකය බංකොලොත් වීමේ අවදානම වැලැක්වීම යි. එසේම, රජය කුඩා වී කාර්යක්ෂම වීමෙන්, මහජනයාට ඇති බදු බර පහළ ගොස් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ශක්තිමත් වන බව ද දැක්වෙයි.
එබැවින්, නව ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකයන් සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ව වර්ණනා කරමින් රටවල ආර්ථිකයන් අර්බුදයන්හි හිර කර ගෙන සිටින මහජන නායකයන්ට සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන්ට වත්මන් නව ඇමෙරිකානු ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය සහ ක්‍රියාශීලිත්වය තුළින් පැරණි දේශීය ආර්ථික විද්‍යා පාඩම් කියා දෙනු ඇත. ඇමෙරිකාව විසින් ආරක්ෂණවාදී ස්වයංපෝෂිත දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට ක්‍රියා කරයි නම්, IMF සහ ලෝක බැංකුව ප්‍රමුඛ වොෂින්ටන් නව ලිබරල් සම්මුතියෙන් අප රටවල ආර්ථිකයන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති බව කිව යුතු නැත. ඊට හේතුව, ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවලින් ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ දර්ශනයට පෙර පැවති පැරණි වාණිජ වාදය හැර වෙනත් කිසිම තරඟකාරී වෙළෙඳ සහ ආයෝජන දායකත්වයක් බලාපොරොත්තු විය නොහැකි වීම යි.
සමස්තයක් ලෙස ගත් විට, ඩොනල්ඩ් ට්‍රම්ප්-එලෝන් මස්ක් ආර්ථික දැක්ම තුළින් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ, ගෝලීය ආර්ථික විද්වත් සංකල්පයන්ට සහ තර්ජනයන්ට බිලි නොවී, දේශීය ආර්ථිකය සහ මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසාදනය සඳහා අවස්ථානුකුලව රටට ගැලපෙන පාලනයක් රජය විසින් ගෙන යා යුතු බව යි. ඊට හේතුව, අප රටවල් විසින් හිස මුදුනින් සලකන වොෂින්ටන් සම්මුතිය මත වන නව ලිබරල් වාදය හෝ නියාමනික නිදහස් ගෝලීය වෙළෙඳපොළ ආර්ථික සංකල්පය ඩොනල්ඩ් ට්‍රම්ප්-එලෝන් මස්ක් විසින් බිඳ දමා ඇති බැවිනි. ඔවුන් විසින් ඉදිරිපත් කෙරෙන නව ආර්ථික දැක්ම වන්නේ, රාජ්‍ය නියාමනය තුළින් ගෝලීය වශයෙන් ආරක්‍ෂිත දේශීය ආර්ථිකයකි.
එබැවින්, අනපේක්ෂිත ලෙස හට ගත් ඇමෙරිකාවේ ගෝලීය ආර්ථික සහ දේශපාලනික ගැටළුව හේතු කොට, පොරොන්දු වූ පරිදි මහජනයාට ආර්ථික සහන ප්‍රදානය කිරීමට නොහැකි වූ බවට, ශ්‍රී ලංකාවේ නායකයන් සහ ඔවුන්ගේ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් ඉදිරියේ දී ප්‍රකාශ කරනු ඇත. එහෙත්, IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව විසින් මෑත දී ජනාධිපති වරයාට උපදෙස් දෙනු ලැබුවේ, වත්මන් ගෝලීය ආර්ථිකයට ඇති අපහසුකම් සහ අස්ථායිතාවයන් සැලකිල්ලට ගෙන, දේශීය ආර්ථිකයක් ගොඩ නගන ලෙස යි (ලිපිය කියවන්න) . ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් විසින් ගෝලීය ආර්ථිකයෙන් ආරක්‍ෂිත දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමේ ක්‍රියාශීලිත්වය ද ආදර්ශයට ගත යුතුය. ඊට හේතුව, නව ලිබරල් ආර්ථික මොඩලය ඉදිරියේ දී අමෙරිකාවෙන් සහ ලෝකයෙන් අභාවයට යන බැවිනි.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි. සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)
