Home පුවත් ක්‍රී​ඩා ඉතාලියේදී වේගයෙන් නික්ම ගිය ලංකාවේ වේගයෙන් වාර්තා තැබූ මනුරගේ පුතා

ඉතාලියේදී වේගයෙන් නික්ම ගිය ලංකාවේ වේගයෙන් වාර්තා තැබූ මනුරගේ පුතා

නිශ්මං රණසිංහ ,මාර්තු 24, කොළඹ LNW:

‘ඒවා මහා විශාල බයික් අයියෙ.රේස් පදින එවා‘

මිතුම් සංදීප කුරණගේ ඉතාලියේදි තවත් විසි හැවිරිදි තරුණියක සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මිය යාම ගැන එරට වෙසෙන අයෙකුගෙන් විමසිමේදී ඔහු පැවසුවේ ඒ ආකාරයටයි.ඇන්ජින් ධාරිතාවය 125 සීසී සිට 650 සීසී දක්වා ඇති මේ යතුරු පැදිය ගැන මම ඔහුගෙන් ඊට වඩා යමක් අසන්නට නොගියේ ඔහු දුටු යතුරු පැදිය ගැන අදහස අනුව එය අධි බලැති යතුරු පැදියක් විය යුතු නිසාය.
එවැනි අධි බලැති දෙපයක් මිතුම්ගේ පිටාට ද තිබිණ.මීටර් 400 ආසියාවම පරාජය කළ මොහොතේ සහ එය ශ්‍රී ලංකා වාර්තාවක් වූ මොහොතේ කවුරුන් හෝ කී දෙයක් මට මතකයේ ඇත.එය තව දුරටත් මතකය තුළ තැන්පත්ව ඇත්තේ මිතුම්ගේ පියා වූ මනුර ලංකා ගැන කියූ දෙයක් හැටියටය.

රිලේ එකට වෙනම මනුර තියලා තිබ්බෙ.එයා ඒකට ස්පෙෂල් නිසා.

වචනයක් ගාණෙ මතක නැති වුණාට අදහස එය බව මට මතකය.මේ මිතුම් ඒ කියූ අධි බලැති වේගයක් සහිත විශේෂ මිනිසා මනුර ලංකාගේ දෙටු පුතුය.

ඉතාලි මාධ්‍ය වාරතා කරන ආකාරයට මේ මිතුම් පැද වූ යතුරු පැදිය වැදුණු ටැක්සි රථය පෙරැලී ගොස් ඇත.එය මෙවැනි යතුරු පැදියක් වැදුණොත් සිඳු විය හැකි දෙයකි.කෙතරම් වේගයෙන් පැමිණියද චැලි යතුරු පැදියක් වැදී මෝටර් රථයක් පෙරළෙන්නේ නැත.ලංකාවේනම් යම් අශ්වබල ප්‍රමාණයකට සාමාන්‍ය පරිදි පාරේ යතුරු පැදි පැදීම සීමා කර ඇති බව නිබොරුය.හිටපු අමාත්‍යවරයෙකුගේ නම ඈදමින් රිය අනතුරක් ගැන කෙරෙන පරීක්ෂණවලදි යතුරු පැදිය පැඳ වූ තරුණය පැද වූ යතුරු පැදිය මෙරට මාර්ගවල පැදීමට අවසර නැති අශ්වබල ප්‍රමාණයක එන්ජින් ධාරිතාවයක් ඇති යතුරු පැදියකි.එය ඇමති වාහනය පැද වූවාද පැද වූයේ නැද්ද කියන කාරණය සෙවීමටත් වඩා බරපතල නීතිමය කඩ කිරීමක් ලෙස සැළකෙන්නේය.

ඉතිං මිතුම් පැද ඇති යතුරු පැදියේ සාමාන්‍ය වේගය ද එවැනි ඇන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරු පැදි පැදවිය හැකි ඉතාලියට අනවසර දෙයක් නොවේය.එවැනි යතුරු පැදියක වේගයද සාමාන්‍යෙයන් අප දැක ඇති තත්ත්වයට වඩා වැඩි එකක් විය යුතුය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ බිහි වූ අති විශිෂ්ඨ ධාවන සූරයෙකු,ජාතික වාර්තා තැබූ අයෙකුට මෙරට එහි වටිනාකම සහ පිළිගැනීම ලැබෙන ජීවිතයක් ගත කරන්නට ඉඩ නොතිබිණ.ඒ නිසා මනුර ලංකා විශාල කාලයක් තිස්සේ ජීවත්වන්නේ ඉතාලියේය.ඔහුගේ පවුලේම පදිංචිය ඉතාලියේය.මේ මොහොතේ බොහෝ අයට මනුර ලංකාව අමතකව තිබෙන බව දැනේ.ඔහු සමඟ ජාතික වාර්තාව තැබීමට දුවන ලද කණ්ඩායම මනුර,රොහාන් ප්‍රදීප්,වී.රත්නකුමාර් සහ රංග විමලවංශ විය.මින් මනුර,රොහාන් සහ රත්නකුමාර් තිදෙනාම මීගමුවෙන් එහාට කරදිය වළල්ලේ සුළං වැදෙන මානයේ හැදී වැඩුණු අයය.ඒ තිදෙනාගෙන් මනුර පමණක් නොව රොහාන්ද ශ්‍රී ලංකාවේ නැත.

ඒ ඉතිහාසය ගත් විට සුසන්තිකා ලංකාවේ නැත.(මේ දිනවල ඇත) දර්ශා නැත.අනෝමා සූරියආරච්චි නැත.ප්‍රදීපා හේරත් ද නැත.නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ බිරිඳ සහ දරුවන් ද එතෙරය.ඒ රටක හැටිය.දක්ෂයන් නික්ම යන රටකි.ඔවුන්ට හැකියාවේ සහ ජයග්‍රහණයේ ගෞරවයෙන් රැඳෙන්නට නොහැකි රටකි.

මිතුම් වයස 23 දී සඳහටම දෙනෙත් පියාගෙන අවසන්ය.එහෙත් මේ ශෝකි මොහොතේ රටට වැඩක් කළ මනුර සමඟ දුක බෙදා ගන්නට හුස්ම වැදෙන මානයේ සිටි කාටවත් ඉඩක් නැත.එය දුකකි.වියෝව හුස්ම සැඟවුණ මිනිස්සු පමණක් නොව හුස්ම ඇති මිනිස්සුද විඳිමින් රැඳෙමින් සිටිති.මේ තිත්ත ඇත්ත කෙළින්ම පිට්ටනියට පමණක් බද්ධ කාරණයක් නොව ලංකාවේ සමස්ත ආර්ථික දේශපාලන දේහය කුණු වී ඔජස් ගලනාකාරයේ පිළිබිඹුවක්ය.

මනුර යනු රටක්ම ආඩම්බරයට පත් කළ දෙපයක් උරුම මිනිසෙකි.ඒ මනුස්සයාට දුක බෙදාගන්නම ඕනි මොහොතේ ආදරයෙන් දෑක් අල්ලා ගන්නට නොහැකි දුරක අපව වෙන් කර තබා ඇත්තේ මනුරගේවත්,මනුර සමඟ රැදෙන්නට හැඟීමක් ඇති කාගෙවත් නුවමනාවකට නොවේය.අප වෙනත් සමාජ දුබලතා අනුව හසුරුවන ජීවිතවල උරුමයන්ය.

පුතේ ආදරයෙන් කියමි.

උඹේ පියා ජාතිය දින වූ වීරයෙකි.ඔහුගේ ආදරණියම තැනට රිදෙන්නම වැදුණ මොහොතේ උඹ ගැන ඒ දුක බෙදා ගන්නට ඉන්නට නොහැකිවීම මහත් කණගාටුවෙන් තැවෙන බොහෝ පිරිසක් ඇත.ඒ සියල්ලම නුමේ නික්ම යාම ගැන දුකෙනි.ගෞරවයෙන් සමුදෙන්න සූදානමෙන්ය.