Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

මාස හයකට ළමා අපයෝජන 4740ක්. ළමා ආරක්ෂණ අධිකාරිය මොනවද කරන්නේ ?

‘ළමුන් සඳහා ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම’ යන දැක්ම සහිතව ‘ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවුරු කිරීම’ සිය මෙහෙවර කරගත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත 2021 වසරේ මුල් මාස හය තුළ පමණක් වාර්තා වන ලද ළමා අපයෝජන සංඛ්‍යාව 4740 කි. එමෙන් ම දිනකට ළමා අපයෝජන සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් 200ට අධික සංඛ්‍යාවක් ඔවුන් වෙත ලැබෙන බව එම ආයතනය සඳහන් කරනු ලබයි. මේ සම්බන්ධව දෛනික තොරතුරු ලබා ගැනීම පවා අතිශය ගැටලුකාරීය.

ළමා අපචාර වැළැක්වීම හා එවැනි අපචාර වලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණෙන් 1998 අංක 50 දරණ ළමා ආරක්ෂණ අධිකාරි පනත යටතේ ජාතික ළමා ආරක්ෂණ අධීකාරිය 1999 වර්ෂයේදී පිහිටුවා තිබිණි. සියලුම ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් කර ගැනීම අධිකාරියේ වගකීම අතර වේ. නමුත් ආයතනය ක්‍රියාත්මක වීමේදී එවැනි වගකීමකින් ඔවුන් කටයුතු කරනු දක්නට නොලැබේ.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සේයා දැරිය පිළිබඳවත් ,ඉෂාලිනී පිළිබඳවත් ,සමාජ ජාල හරහා බරපතළ ලෙස අපයෝජනයට අලෙවිකරමින් ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියක් පිළිබඳවත් අපට ඇත්තේ කම්පනීය මතකයන්ය.දිනෙන් දින මෙවැනි අමිහිරි සිදුවීම් වැඩි වෙනවා විනා අඩු වීමක් නම් නැත. වාර්තා වන ප්‍රමාණයට වඩ‌ා වාර්තා නොවන ප්‍රමාණය වැඩි බව අප කවුරුත් දන්නෙමු.මේ පිළිබඳව අදාළ බලධාරීන් ආයතන නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ විමසීමක් කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය අනුව වයස අවු: 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම අදහස් වේ. ළමයින් වැඩිහිටියන්ගේ රැකවරණය තුළ ජීවත්වන කොටසකි. ඔවුන් ළමුන් ලෙස නිර්වචනය කරනු ලබන එක් සාධකයක් වනුයේ ද වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලෝකයේ දරුවන් විශාල සංඛ්‍යාවක් (බිලියන 01) පමණ ළමා අපයෝජනයට ලක් වේ. මේ හේතුව නිසාවෙන් ම ළමයින් 50000 පමණ මිය යන බව වාර්තා වේ.

‘ළමයාට එරෙහි සිදුවන අපචාර වත්මන් ලෝකය පුරාම සමාජ අංවර්ධනයේ දී ප්‍රබල ගැටලුවක්ව ඇති බව පෙනී යයි. විශේෂයෙන් නූතනයේදී ළමා අපයෝජනය හා බැඳී ඇති කලාප වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාවේ තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව ප්‍රධානය’ (දයා අමරසේන: ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න:2005,පි.25 )

ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය.

වර්තමානයේ ළමයින්ගෙන් විශාල කොටසකට ඔවුන්ගේ ළමා කාලය නිසි පරිදි ගතකිරීමට අවශ්‍යකරන පහසුකම් ලැබී නැත. දැනුම හිඟවීම සහ පහසුවෙන් ලබා ගත හැකි ළමා ආරක්ෂණ සේවාවන් නොමැතිකම, ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම සහ සම්පත්වල හිඟකම නිසා දරුවන්ට විවිධ තාඩන පීඩන, වෙනස්කම්වලට ද මුහුණ දීමට සිදුව තිබේ.

ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

ළමා අපයෝජන අවම කර ගැනීම සඳහා ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට බොහෝ වගකීම් තිබේ.

Over 4,000 child abuse complaints in past six months - NCPA | Daily News

අපචාරයන්ට ගොදුරු වූ වින්දිත දරුවන් වැඩිහිටියන් වන ‌තෙක්ම මෙම නඩු එක තැන පල්වෙනු දක්නට ලැබේ. ඒවායෙහි කිසිදු ප්‍රගතියන් නොමැත. අපරාධකරුවන්ද නිදැල්ලේ සිටීම මෙහි බරපතල තත්වයකි. මෙය එක්තරා ආකාරයකට අපයෝජකයන් දිරිමත් කිරීමකි. ළමා වින්දිතයින් යුක්තිය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැත. ඔවුන්ට ඉතිරිව ඇත්තේ බිහිසුණු මතකයන්ගෙන් පීඩා විඳින මතකයක් පමණ. ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිද්ධීන් වැඩිවීම මෙන්ම අපයෝජකයන් නීතියේ සිදුරින් බේරී පළා යාම රටේ ළමා ආරක්‍ෂණ වගකීම දරන ප්‍රධාන අධිකාරිය වන ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ දුර්වලතාව නිසා බව පෙනී යයි.

ළමා ආරක්‍ෂණ අධිකාරිය සතුව විශාල යාන්ත්‍රණයක් තිබියදීත්, ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් ගුණාත්මක හා නිසි ළමා ආරක්‍ෂණ සේවාවක් සැපයීමට ළමා ආරක්‍ෂණ අධිකාරිය අපොහොසත්වී තිබේ. දිනෙන් දින ඉහළ යන අපයෝජන සිදුවීම් වලට සාපේක්ෂව නෛතික වශයෙන් මේවා විසදීමට ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව ඡායා මාත්‍රයන්වත් මෙම ආයතනය තුළ දක්නට නොමැත.

බොහෝ විට දරුවන්ගේ හා දෙමාපියන්ගේ නොදැනුවත්කම හේතුවෙන් අපයෝජනයට ලක් වේ.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අතිශය වැදගත්ය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක, අධිකරණ වැනි අමාත්‍යාංශ ද ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහාය දක්වන බව එම ආයතනයේ නිලධාරීන් පවසයි.ඒ අනුව එම ආයතන හරහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඇති කිරීමට ප්‍රමාද වීම පිළිබඳ අපට ඇත්තේ කණගාටුවකි.

දරුවන් දෙමාපියන් දරුවන්ගේ භාර කරුවන් මේ පිළිබඳ දරනුවත් කිරීමේ වගකීම ඇත්තේ ළමා රක්ෂණ අධිකාරියටය. ශාරීරික, ලිංගික හා චිත්තවේගීය හිංසනය, නොසලකා හැරීම, පවුල් හිංසනය සහ හිරිහැර කිරීම පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුය. එය නිලධාරී යාන්ත්‍රණයක් හරහා ජාතික දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පුහුණු කිරීම හා ඒ පිළිබඳව පසු විපරම් කිරීම කළ යුතුය.

ළමා ආරක්ෂණ ගැටළු වලින් පෙළෙන හා පීඩාවට පත්ව සිටින ළමුන් සඳහා රැකවරණය හා පුනරුත්ථාපනය මෙන්ම වින්දිතයින්ට හිතකර පැමිණිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. එය අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශ හරහා කිරීමේ හැකියාව පවතියි. ශ්‍රී ලංකාව තුල ළමා සුබසාධනය සහ ආරක්ෂාවට ඍජු ලෙස ම අදාල වන පනත් ගණනාවක් ක්‍රියාත්මක වේ. ඒ එක් එක් පනත් සලකා බැලීමේ දී පෙනී යන්නේ ඒ අතුරින් බොහොමයක් නීති අද වන විට යල් පැන ගොස් ඇති බවයි. එක් මාතෘකාවක් වෙනුවෙන් පනත් රාශියක් ඒවායේද පරස්පරතා රැසක් දක්නට ලැබේ.නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් ලෙස අධිකරණය නොසලකන අතර එය එසේ නම් ඒ පිළිබඳ ආදාළ පාර්ශවයන් දැනුවත් කිරීම එම ආයතනය සම්බන්ධ වගකීමකි. යුතුකමකි. කාර්ය භාර්යකි.

ළමා අපයෝජනයක් සම්බන්ධව පවතින නීති වර්තමානයට නොගැලපේ නම් අපයෝජකයන්ට උපරිම දඩුවම් ලබා දිය හැකි ලෙස සංශෝධනය විය යුතුය. ඒ වෙනුවෙන් ළමා රක්ෂණ අධිකාරිය මැදිහත් විය යුතුය.

ඉහත සඳහන් කළ ආයතන වලින් හැකි තරම් සහයෝගය ලබා ගනිමින් දරුවන්ට හිතකර පරිසරයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. සම්පත් තිබිය දී අදාල ක්‍රියා මාර්ග නොගැනීම ජාතික ළමා රක්ෂණ අධිකාරියේ බරපතල ගැටලුවකි. ජාතිකළමා රක්ෂණ අධිකාරියේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙස බැලීමේ දී දක්නට ලැබෙන්නේ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රවීනයන් බවයි. නමුත් ආයතනය ක්‍රියාත්මක වීමේදී මෙ පවතින බරපතල තත්වයට අවශ්‍ය මැදිහත් වීම ඔවුන් වගකීමක් ලෙස භාර ගනු දක්නට නොලැබීමයි. එය බරපතල ගැටලුවකි.

ඉදිරියේදී මේ තත්වය තව දුරටත් බරපතල වනවා මිස අඩු වීමක් නම් සිදදු වේ යැයි අපේක්ෂා කළ නොහැක. වර්ථමානයේ රටේ පවතින තත්වය හේතුවෙන් පීඩනයට අසහනයට පත් වූවන්ගේ පීඩනය පුපුරා යන්නේ දරුවන් හරහා විය හැකිය. තත්වය කෙසේ වූවත් එයින් දරුවන් බේරා ගැනීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය බලසම්පන්න විය යුතුය. ඉක්මන් විය යුතුය. ඒ සේ නොවීම සමස්ත රටේම අභාග්‍යකි.

මේ වන විට ජාතික ළමා රක්ෂණ අධිකාරියේ ක්‍රියාත්මක වන සේවාවන්

යම්කිසි ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පටිගත කළ සාක්ෂි ඇත්නම් වීඩියෝ පට හෝ ඡායාරූප ඇත්නම් වට්ස්ඇප් සහ වයිබර් හරහා (0773220032) පැමිණිලි අංකය සටහන් කර ලබාදීමටද හැකියාව ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය තුළින් ද වැඩි විස්තර දැනගත හැකිය.

ළමයින් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් හෝ යම්කිසි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම් දිය හැකියි. එය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම පැය 24 පුරාම ක‍්‍රියාත්මක සේවාවකි.

මහජන මුදලින් නඩත්තුවන ප්‍රධාන වග කිව යුතු ආයතනයක තත්වය මෙසේය.

ඔබේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඇත්තේ ඔබ අතේ මිස විකල්ප ආයතන සතුව නොවන බව තරයේ මතක තබා ගත යුතුය.

SM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.