උපාලි කොළඹගේ
කොළඹ LNW:සමාජ මාධ්‍ය මඟින් කාන්තා දේශපාලනඥවරියන් උපහාසයට හා අපහාසයට ලක්කිරීම මේ දිනවල ජයටම සිදු කෙරෙයි. විශේෂයෙන් පළාත් පාලන ඡන්දය කට ලඟට ඇවිත් තියෙන මේ මොහොතේ මෙම නින්දිත ක්‍රියාවලිය වෙනදාට වඩා තීව්‍ර ලෙස කල එළි බැස ඇති බව දක්නට ලැබෙයි. දේශපාලන සුචරිත වාදීන් ලෙස සමාජය ඉදිරියේ සිල්සමාදන් වී සිටින ගහලයන්ද මේ තිරස්චීන ක්‍රියාවලියට දායක වී සිටින බව කියති.
විශේෂයෙන් ඇතැම් කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස කිරීමේදී සත්‍ය නමුත් පෞද්ගලික රස රහස් ප්‍රසිද්ධියට පත් කිරීම ඇතමකු විසින් සිදු කරනු ලබයි. මගේ අදහස නම් සත්‍ය වුණත් කෙනකුගේ පෞද්ගලික තොරතුරු ඉන් රටට සෘජු බල පෑමක් නොසිදු වේ නම් ප්‍රකාශයට පත් නොකළ යුතුය. එයින් මා අදහස් කරනුයේ කෙනකුගේ පෞද්ගලික සබඳතා හෝ එවැනි වෙනත් කරුණු රාජ්‍ය පාලනය හා සෘජුව බද්ධ නොවේ නම් ඉන් රටට හෝ ප්‍රතිපාර්ශවයට අවැඩක් නොසිදු වේ නම් ඒවා නොපල කළ යුතු ය. එමෙන්ම එවැනි දෑ ප්‍රචාරණයට වැට බැඳිය යුතුය.
මෙය බොහෝ දෙනා එතරම් ගණන් නොගන්නා වැඩි දුර නොහිතන තත්ත්වයකි. මේ නිසා අසහනයට හා අසීරුවට පත්වන බොහෝ දෙනකු සිටින බව මා අසා ඇත. නීතියෙන් ගැලවුණු පමණින් කෙනකුගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් සමාජයට මුදා හැරීම අනාගතයේ දී හෝ තහනමට ලක්විය යුතුය.
කෙසේ වුවත් මාධ්‍ය සම්බන්ධයෙන් කතා කළ යුතු තවත් කරුණු බොහෝය. විශේෂයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අය වැය කාරක සභා අවස්ථාවේ අවසන් දිනයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවේ මාධ්‍ය පිළිබඳව දැක්වූ අදහස් ගැන වඩා විමර්ශනාත්මකව සිතා බැලිය යුතුයයි සිතමි.
ජනාධිපතිතුමා මාධ්‍ය ගැන දැක්වූ අදහස න්‍යායාත්මකව නිවැරදිය. එනම් අනාගතයේ මාධ්‍යවලට අවශ්‍ය ආකාරයට රටේ පාලකයන් පත් කිරීමට ඉඩ නොමැති බවය. එය ජනතාවගේ කැමැත්ත මත සිදුවිය යුතු බවද එතුමා ප්‍රකාශ කර සිටියේය.
මෙය නිවැරදිය. සමාජයේ පෙර ගමන්කරුවන් ලෙස මාධ්‍ය හැඳින්වුවද මාධ්‍ය ජනතාවගේ අපේක්ෂා පිළිබඳව පුළුල් දැක්මක් සහිතව එම කාර්ය ඉටු කළ යුතු ය.
නමුත් ජනපතිත් නිවැරදි හක්කේ තියෙන බුදුරැස් බොක්කේත් ඇත්නම් පමණක් බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
එසේ නැතිව ආණ්ඩුව දැඩිව විවේචනය කරන මාධ්‍ය මට්ටු කිරීමේ යටි අරමුණක් ඇතිව ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කළ බවටද චෝදනා කළහැකිය. කලින් හිටි පාලකයන් මෙන්ම වර්තමාන පාලකයන්ද විවේචනය නොරිස්සන බවය තිත්ත ඇත්ත. පාර්ලිමේන්තුවේදී පවා විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් කරන බොහෝ විවේචනවලට ඇතැම් ඇමතිවරුන් ප්‍රතිචාර දක්වනුයේ කෝපයෙන් යුතුවය . මාලිමා ආණ්ඩුවේ ඇතැම් ජේෂ්ඨයන්ට මේ ගැන කෙලින්ම චෝදනා කළහැක. සභානායක ප්‍රමුඛයෙකි.
සමාජ මාධ්‍ය පමණක් නොව ඇතැම් ප්‍රධාන මාධ්‍ය පවා ඉතාමත් නින්දිත ලෙස සිය මාධ්‍ය භූමිකාව සිදු කරන බව පරම සත්‍යයකි. නමුත් එම තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ ඉතා සුපරීක්ෂාකාරීව දැලි පිහියෙන් කිරි කන්නා ආකාරයටය. ආණ්ඩුව මෑතක සිට මාධ්‍ය පිළිබඳව දක්වන අදහස් සංයුක්තව විමසා බැලීමේදී. ඉදිරියේ කුමක් සිදුකරන්නේද යන්න අවිනිශ්චිතය.මාධ්‍ය ගැන කියැවෙන නව පනත් මාධ්‍ය සමග සාකච්ඡා නොකර සිදුකරන්න යන බවටද ආණ්ඩුව ට බරපතළ චෝදනාවක් එල්ලවී තිබේ.
