ඇෆ්ගනිස්ථානය නැවත වරක් තලෙයිබාන් පාලනයට ලක් වීමත් සමඟ, ඔවුන්ගේ අමනෝඥ නීතිවල අඳුරු සෙවණැලි වරින් වර ඇෆ්ගන් දේශය පුරා පැතිරෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු දක්නට ලැබේ. මෙහිදී විශේෂයෙන් ඇෆ්ගිස්ථානය පිළිබඳ විමසිලිමත් වන කාරණා අතර ”ඇෆ්ගන් කාන්තාව” ඉදිරියෙන්ම සිටියි. එම කාන්තාව ”අවම වටිනා සාධකයක්” වීමේ දුර්දාන්ත යුගය ඇරඹෙමින් තිබේ. මේ පිළිබඳ ලෝකයේ බෙහෝ මානව වාදීන්ගේ අවධානය ඇෆ්ගනිස්ථානය වෙත යොමුව තිබේ.
1995 මුල් භාගයේ දී තලෙයිබාන්වරුන් බලයට පත් ව 1996 රැඩිකල් ස්ලාමීය සාම්ප්‍රදායික ඇෆ්ගන් ඉස්ලාම් එමිරේටය පිහිටුවීය. සරියා නීතිය මුල්ව ඔවුන්ගේ පාලනය ක්‍රියාත්මක වූ අතර එහිදී කාන්තාවන්ගේ හා ගැහැණූ ළමුන්ගේ මානව අයිතීන් දරුණු ලෙස උල්ලංඝණය වූ අතර ඔවුන් වෙනස් කොට සලකා සමාජයෙන් කොන් කරණු ලැබීය. මෙහි දී අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවාවට සහ අනෙකුත් රැකියාවලට තිබූ කාන්තා ප්‍රවේශය දැඩි ලෙස සීමා කෙරුණු ලැබූ අතර කාන්තාවගේ ආරථීක හා සාමාජීය තත්වයන් දරුණු ලෙස පිරිහීමට ලක් විය. වෛද්‍යවරුන්, ගුරුවරුන් ලෙස සේවයේ නිරත වූ කාන්තාවන් මෙහිදී අතිශය අසරණ භාවයට ලක් වූ අතර බොහෝමයක් රැකියා නොමැතිව සිඟමනට වැටින, සමහරක් ලිංගික ශ්‍රමිකයන් බවට පත් විය.
2001 තලිබාන් සංවිධානය නිකුත් කළ නියෝගයක් අනුව කාන්තාවන්ට රිය පැදවීම තහනම් විය. කාන්තාව පොදු ස්ථානවල පෙනී සිටීය හොත තලිබාන් සටන්කාමීන්ගේ හිරිහැර නිරන්තරව ඔවුන් වෙත එල්ල විය.
පාදයක හෝ අතක අඟලක ඉඩකින් ශරීරය පිටතට පෙණුනහොත්, වැරදි මේස් කුට්ටමක් පැළඳුවොත් තලෙයිබාන්වරුගේ දරුණු වදහිංසාවන්ට ලක් විය.
1996 සිට 2001 කාල පරාසය තුළ තලෙයිබාන්වරුන්ගේ නීති රැසක් මඟින් කාන්තාවන්ගේ නිදහස සහ අයිතීන් දරුණු ලෙස සීමා කරණු ලැබීය. එයින් නීති කිහිපයක් පහත දැක්වේ.
01.බුර්කාව නොපැළඳ සහ/හෝ ලේ ඥාතියකු නොමැතිව වීදිවලට ප්‍රවිශ්ඨ වීම තහනම්.
- කාන්තාවන්ගේ අඩි ශබ්දය පුරුෂයන්ට ඇසීම නුසුදුසු හෙයින්, අඩිය උස පාවහන් නොපැළඳිය යුතු යි.
- ආගන්තුකයන්ට කාන්තාවන්ගේ ශබ්දය ඇසීම නුසුදුසු හෙයින්, පොදු ස්ථානවල උස් හඬින් කතා කළ නොහැක.
04.වීදිවල සැරිසරන ආගන්තුකයන්ට ඇතුළත සිටින කාන්තාවන් නොපෙනෙන පිණිස තනි තට්ටුවේ නිවාසවල ජනෙල් සියල්ල සහ තට්ටු නිවාසවල පළමු මහල දක්වා වූ ජනෙල් අඳුරු පැහැයෙන් පින්තාරු කළ යුතු යි. නැතිනම් යමකින් ආවරණය කළ යුතු යි.
- කාන්තාවන්ට තමාගේ රුව සහිත ඡායාරූප, වීඩියෝ පට ළඟ තබා ගත නොහැකි යි. පුවත්පත් සහ පොත් ආදියෙහි පවා තමාගේ රුව ඇතුළත් නොවිය යුතු අතර, ඒවා නිවසේ හෝ සාප්පුවල ප්‍රදර්ශනය නොවිය යුතු යි.
06.නමක් සඳහන් ව ඇති සෑම තැනකින් ම “කාන්තාව (Women)” යන්න ඉවත් විය යුතු යි.
07.සඳලුතලවල කාන්තාවන්ට රැඳී සිටීමට අවසර නැත.
08.රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් සහ පොදු ඒකරාශී වීම්වල පෙනී සිටීමට කාන්තාවන්ට අවසර නැත.
මෙවැනි අතිශය ගෝත්‍රික නීති රාමුවක් හරහා ඔවුන් කාන්තාවගේ නිදහස අතිශය නින්දිත ලෙස සීමා කරන්නට විය.
9/11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමත් සමඟ ඇෆ්ගන් කාන්තාව විෂයෙහි බලපැවැත් වූ යම් යම් අමනෝඥ නීතීන් ලිහිල් වන්නට විය. ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේම කාන්තා අයිතීන් පුළුල් කරන බවට කරන ලද ප්‍රකාශයත් සමඟයි. ඒ වෙනුවෙන් ඇෆ්ගන් කාන්තාව එකඟ වූ අතර ඔවුන් ඒ වෙනුවෙන් නව බලාපොරොත්තු දරා සිටින්නට විය. තලෙයිබාන් පසුබැසීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානයේ කාන්තාවන් විශේෂයෙන් ම සතුටු විය.
2004 ඇෆ්ඝනිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා කාන්තා අයිතිවාසිකම්වල සාධනීය තහවුරු කිරීමක් සිදු වූ අතර ඇෆ්ගන් කාන්තාව නැවත සාමාන්‍ය ජීවිතයකට නැඹුරු විය. ඔවුන්ගේ අයිතිවාසිකම් නැවතත් නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව තහවුරු විය.
2001 වර්ෂයේදී තලෙයිබාන් පාලනය සීමා වීමේ සිට මෑත දිනයකදී තලෙයිබාන්වරුන් කාබුල් නුවරට ඇතුළුවීමේ සිදුවීම දක්වා වූ කාල පරාසය ඇතුළත ඇෆ්ගන් කතුන්ගේ සැලකිය යුතු අවදි වීමක් දකින්නට ලැබුණා. ඔවුන් නීතිය හා මාධ්‍ය වැනි විෂයන් වෙත නැඹුරු වූ අතර යම් ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.
2001-2021 කාලය තුළ ඇෆ්ගන් කාන්තාව බුක්තිවිඳි නිදහස එක්සත් ජනපද හමුදාව ඇෆ්ඝනිස්තානනයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟ සාම්ප්‍රදායික, ආගමික සහ සංස්කෘතික හැඩතල යටතේ නැවත ඒ දුර්දාන්ත යුගයේ භිතිකාවන් රට පුරා විහිද යනු දක්නට ලැබෙයි. ඇෆ්ගන් කාන්තාවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ඇයට රැකියාවක් කිරීමේ අයිතිය, ක්‍රිඩා කීරීමේ අයිතිය, ඇඳුම් පැළදුම් භාවිතා කිරීමේ අයිතිය, පමණක් නොව ඇයට නිදහසේ ගමනක් බිමනක් යෑමේ අයිතිය පවා මේ වනවිට මතවාදට තුඩු දෙමින් පවතී. ඒමගින් පෙනී යන්නේ ඇයට සුබවාදී කාලයක් උදාවන බවක් නම් නොවේයි.
රටේ පාලනය තලෙයිබාන් අතට පත්වීමෙන් අනතුරුව පැවති ප්‍රථම මාධ්‍ය හමුවේදී තලෙයිබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් අවධාරණය කළේ සමස්ත ඇෆ්ගන් ජනතාව “ඉස්ලාමීය නීති රාමුවට” අනුකූලව ජීවත් විය යුතු බවයි. තලෙයිබාන් සංවිධානයේ තවත් ප්‍රකාශකයෙකු වන සුහායිල් ශහීන් කියා සිටියේ “ඇෆ්ගනිස්ථානයේ සම්මතයන් සහ ඉස්ලාමීය ධර්මතාවලට අනුකූලව ඇෆ්ගන් කාන්තාවන්ගේ සහ සුළුතරයේ අයිතීන්වලට ගරු කෙරෙනු ඇති බවය.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ “අපේ (නීති) රාමුවට අනුකූලව කාන්තාවන්ට රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට අවසර දීමට අපි කටයුතු කරනවා.” යැයි පිළිතුරු දුන් තාලිබාන් ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, “අපේ සමාජය තුළ කාන්තාවන් ඉතා සක්‍රිය වනු ඇති” යනුවෙනි. මේ වනවිට තාලිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානය පුරාවට බලපාන පරිදි පොදු සමාවක් ප්‍රකාශයට පත්කර ඇත.විශ්ලේශකයන් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ මොඳ හිත දිනා ගැනීම වෙනුවෙන් ඔවුන් මෙලෙස ක්‍රියාත්මක වන බවයි.
මේත් සමඟ 1960 දශකයේ ශරීරය නිරාවරණය ඇඳුම් ඇඟ ලා ගත් චායාරූප පෙන්වමින් ඇෆ්ගන් කතුන් තමාට අහිමිවන නිදහස , ස්වාධීනත්වය පිළීබඳව කතා කරනු ජාත්‍යන්තර මාධ්‍ය තුළ දක්නට ලැබෙයි. සියලු වැඩකඩුලු තරණය කරමින් ගලා ගිය නිදහස් චින්තනයේ මහා ප්‍රවාහය පිළිබඳව ඔවුන් අරගල කරමින් සිටියි.
මෙහිදී කාන්තා ක්‍රියාකාරිණියන්ගේ භුමිකාව අතිශයින්ම වැදගත්ය.
මේ පිළිබඳව ඇෆ්ගන් කාන්තාවන්ගේ අදහස් මෙසේය. ඇෆ්ගනිස්ථානය තුළින් මතුවන්නේ මිශ්‍ර ප්‍රතිචාරයකි.
“ඔවුන්ගේ ප්‍රකාශ මම විශ්වාස කරන්නේ නැහැ.” රුපවාහිනිය ඔස්සේ මුජාහිඩ් ගේ කතාවට සවන් දුන්, කාබුල් නුවර වෙසෙන කාන්තාවක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
තවත් කාන්තාවක් පවසා තිබුණේ “මේක කූට උපායක්. අපිට දඬුවම් කරන්න දාපු ඇමක් මේක. ඔවුන්ගේ නීති යටතේ රැකියාවක් කිරීම හෝ ඉගෙන ගැනීම මම ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙනි.
මුලදී දෙන ලද පොරොන්දු පිළිබඳව ශුභවාදීව බැලූ කාන්තාවන් ද නැත්තේ නොවේ.
“අපිට ඉගෙන ගන්නයි, රැකියාවක් කරන්නයි පුළුවන්කම තියෙනවනම්, ඒක තමයි නිදහස කියල කියන්නේ. ඒක තමයි මගේ රතු ඉර. තාලිබාන්වරු තවම ඒ රතු ඉර පැනල නැහැ.”
“මගේ අධ්‍යාපනයයි වැඩ කිරීමේ අයිතියි රැකිලා තියෙන තාක් කල් මම හිජාබයක් අඳින්න අකමැත්තක් නැහැ. මම ඉන්නේ ඉස්ලාමීය රටක; ඒ නිසා ඉස්ලාමීය ඇඳුමක් පිළිගන්න මම ලැහැස්තියි. හැබැයි බුර්කාව නොවෙයි. බුර්කාව කියන්නේ ඉස්ලාමීය ඇඳුමක් නොවෙයි.”
“මට අවස්ථාවක් ලැබුණ ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාධරයන් කීපදෙනෙකු සමඟ කතාබහ කරන්නට. ඔවුන් කිව්වේ මින් ඉදිරියට තමන්ගේ ජීවිතය කොයි වගේ වේවිද කියල ඔවුන්ට විශ්වාසයක් නැති බවයි.”
“බොහෝ දෙනෙකුට මතකයි 1996-2001 අතර කාලය තුළ මොනවද සිද්ධවුණේ කියල. කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන, ඔවුන්ගේ අයිතීන් ගැන, ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය ගැන ඒ අය ඉන්නේ දැඩි කනස්සල්ලෙන්.”
“අපි දැනටමත් දැක්ක ඇතැම් පුවත් පලවෙනවා සමහර විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යාවන් ගෙදර යවල තියෙන බවට. බොහෝ දෙනෙකුට බල කරලා තියෙනවා වයස අවුරුදු 15දී, 12දී විවාහ වන්නට.” වැනි ප්‍රකාශ ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබාදී තිබිණි.
කරගෙන ආ සියල්ල ඒ ආකාරයෙන් ම නොනැවතී කරගෙන යාමට අදිටන් කරගත් කාන්තාවන් ද නැතුවාම නොවේ.
Swedish Committee for Afghanistan නමැති සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක් වන පෙයිවාන්ද් සෙයේඩ් අලි, ගේ අදහස් ද මෙහිලා දක්වනු වටියි. අධ්‍යාපන උපදේශකවරියක් වන ඇය බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ “කාන්තාවන්ගේ අයිතීන් සහ අධ්‍යාපනය ගැන තාලිබාන්වරුන් කුමක් කරාවිද කියල හිතන එකෙන් පලක් නැහැ. කාන්තාවන්ට අධ්‍යාපනය ලබන්නට සහ රැකියා කරන්නට ඉඩ ලබා දෙන බව තාලිබාන් සංවිධානයේ ඉහළ නායකයන් පොරොන්දු වෙලා තියෙන නිසා අපට තියෙන සම්පත්වලින් දිගටම අපි වැඩ කරගෙන යා යුතුයි.” යනුවෙනි.
“අපි කළ යුත්තේ මේවා හිත් දිනාගැනීමට පමණක් කියන කතා පමණක් නොවෙයි, කැපවීමක් ලෙස සලකා ගැහැණු ළමුන් පාසලට රඳවා ගන්නට හැකිවන පරිදි විසඳුම් සොයා ගන්නට තාලිබාන් නායකයන් සමඟ සක්‍රියව කටයුතු කිරීමයි.”
“ගුරුවරුන්ගේ වැටුප් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් සියල්ල පාහේ දරන්නේ ආධාරවලින්. ඉන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සහ අධීක්ෂණය කෙරෙන්නේ ලෝක බැංකුවෙන්. අරමුණ එසේම පැවතිය යුතුයි. දර්ශකයන් වෙනස් නොවිය යුතුයි. වගවීමේ ක්‍රියාමාර්ග එසේම පැවතිය යුතුයි. වර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනිමින් අපේ දරුවන් සියලුදෙනා පාසල තුළ තබා ගැනීම සඳහා ඕනෑම ආණ්ඩුවක් එක්ක අපි වැඩකළ යුතුයි.”
“පෞද්ගලික තීරණ වෙනස් වීම් සහ පාසලට වාර්තා නොකිරීම් ඉතා ඉහළින් පවතින නමුත් මේ වනවිට බොහෝ බාලිකා පාසල් විවෘත කර හෝ නැවත විවෘත කරමින් පවතින බවක් පෙනෙන්නට තියෙනවා. බොහෝ ප්‍රදේශවල දිස්ත්‍රික් සහ පළාත් කාර්ය මණ්ඩල දිගටම වැඩ කරගෙන යනවා.” ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.
පශ්ටානා දුර්රානි සමාජ ක්‍රියාධාරිනියකි. ඇය පවසන්නේ ජනතාව පරීක්ෂාකාරීව සිටිය යුතු බවය.
“ඔබ තේරුම් ගත යුතුයි, ඔවුන් ආරම්භයේදී කියන්නේ මොනවද පසුව ක්‍රියාවට නගන්නේ මොනවද කියල.”
“හෙරාට් ප්‍රාන්තයේ ගැහැණු ළමුන්ට විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා. කන්දහාර් පළාතේ බැංකුවල සේවය කළ ගැහැණු ළමුන් ගෙදර යවල පිරිමින්ට වැඩ කරන්න කිව්වා.”
“නමුත් ඔවුන්ගේ (තාලිබාන්) ආණ්ඩුව පිළිගන්න කියල අනෙකුත් රටවලට කියනවා. තමන්ගේ ආණ්ඩුවට නීත්‍යනුකුල බව අපේක්ෂා කරන ගමන් ඔවුන් මොනවද ඇෆ්ගනිස්ථානය තුළ කරගෙන යන්නේ?”
“එක්කෝ ඔවුන්ට බිම් මට්ටමේ සෙබළුන් පාලනය කරගන්න බැහැ. නැතිනම්, තම ආණ්ඩුවට නීත්‍යනුකුල බව අවශ්‍ය වුනත් තමන්ගේ රාජකාරිය කරන්න උවමනාවක් නැහැ. මේක එකිනෙකට වෙනස් කාරනා දෙකක්.”
පවතින තලෙයිබාන් පාලනය යටතේ ජීවිතය කෙබඳු වේදැයි යන්න දැනගැනීමට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බලා සිටීමට සිදු වනු ඇත. තවමත් වගකිවයුතු ආණ්ඩුවක් පිහිටුවා නොමැති හෙයින් බිය සහ අස්ථාවර බව එහි දක්නට ඇත. ඒ කෙසේ නමුත් නිදහස ඉල්ලා හඬ නගන ඇෆ්ගන් කාන්තාවන්ගේ විලාපයන්ගේ දෝංකාරය නම් අසා සිටිය නොහැක.
”රුකක් කොටයක් බවට පෙරළන්න
එවිට එය ඔබ සඳහා දැවෙනු ඇත.
එහෙත් ඉන්පසු කවදාවත් එය
ජීවමාන මල් හෝ පල නොදරනු ඇත…”
- සශිකලා මධුෂාණී