සටහන – රුවන් නෙළුගොල්ල
ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ රුපියල් 79කින් නොව රුපියල් 179කින් බවත් රජය විසින් එයින් රුපියල් 100ක් දරාගැනීමට තීරණය කර ජනතාවට සහන ලබාදුන් බවත් වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“අපේ රටේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ජනාධිපතිතුමාගේ හෝ මගේ සල්ලි නෙවෙයි. මේවාගේ නම් ගහනකොට අපේ නම් කොටන්න එපා. දිත්වා සුළි කුණාටුවට අහුවෙච්ච රටක, ලෝක යුද්ධයක් ඇවිල්ලා තියෙන මොහොතක අපි මේවා පස්සට දාලා නෑ. අරවා පෙන්නලා මේවා හංගලා නෑ. මේවා ඔක්කොම කරනවා. රටේ තෙල් ප්‍රශ්නයක් ආවා, ගෑස් ප්‍රශ්නයක් ආවා. ඉතිහාසයේ තෙල් ගෑස් ප්‍රශ්න ආපු එකයි, මේ ප්‍රශ්නෙ ආපු එකෙයි වෙනසක් තියෙනවා. ඉස්සර වගේ පෝලිම් කිලෝමීටර් ගාණක් තියන්න දුන්නෙ නෑ. දවස් ගණන් තියන්න දුන්නෙ නෑ. පොඩි කාලයක් තිබුණා, දැන් ආපහු සාමාන්‍ය තත්වයට ඇවිත්. ඩීසල් මිල වැඩිවුණේ සාමාන්‍ය ඩීසල් රුපියල් 79කින් නෙ. ඇත්ත ගාණ 79ක් නෙවෙයි, ඇත්තම වැඩිවෙච්ච ගාණ 179 යි. එදා අපි රජයෙන් තීන්දු කළා ඩීසල් ලීටරයකට 179ක් වැඩිකරන්නෙ නැතිව 100ක් රජයෙන් බාරගන්නවා, ජනතාව 79යි. හැම ඩීසල් ලීටරයකටම රජය රුපියල් 100ක් දානවා. ඒ අනුව අපි මාසෙකට භාණ්ඩාගාරයෙන් වෙන්කරලා තියෙනවා තෙල්වලට බිලියන 20ක්. දෙන්න පුළුවන් සහන උපරිමයෙන් දෙනවා”
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයකට මුල්ගල් තැබීම සඳහා පැවති උත්සවයක් අමතමිනි.


