ක්ෂේත්‍ර ගණනාවකින්ම දැවැන්ත අර්බුධකාරී තත්ත්වයකට රට මුහුණ පා ඇති බවත් මැදපෙරදිග යුද්ධය නිර්මාණය වීමට අප රටක් ලෙස හේතු නොවූවත් මේ යුදමය තත්ත්වය නිසා අභියෝග රැසක් නිර්මාණය වී ඇති බවත් මෙහි ඇති බරපතළ ගැටලුව වන්නේ, මේ යුද්ධය සති 3කට පෙර ආරම්භ වූවා යැයි බහුතරයක් සිතුවත් පසුගිය වසරේ ජුනි මාසයේ සිට ඇමෙරිකාව විසින් ඊශ්‍රාලය සමග එකට එකතු වී ඉරානයට ප්‍රහාර එල්ල කළ බවත් මේ ප්‍රහාරයෙන් පසු සිදුවූ ජාත්‍යන්තර සිදුවීම් දෙස බැලූ විට දක්ෂ කාර්යක්ෂම රජයකට නම් මීට වඩා බරපතල යුද්ධයක් ඇති වේවි කියා පුරෝකථනය කළ යුතු වුවත් මේ රජය එය නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් කියුබාවේ සිදු වූ අභ්‍යන්තර ගැටලු ඇතුළු තෙල් නැව් ආදිය ඇතුළුවීමට ඉඩ නොදීම ඇතුළු ගැටලු රැසක් මතුවු බවත් රටක් පාලනය කරන විට ලෝකයේ සිදුවන දේවල් ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය දෙස බලන විට මැදපෙරදිග යුධ තත්ත්වය පුරෝකථනය කළ හැකි බවත් රජයක් මේ පුරෝකථන සිදු කිරීම සාර්ථකව සිදු කළ යුතු වුවත් මේ රජය එය නොකළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජය පසුගිය කාලයේම සිදු කළේ මේ අර්බුධයන්ට සූදානම් වීම නොවන බවත් Scenario planning සම්බන්ධයෙන් තමා යෝජනා කළ පසු රජයට සම්බන්ධ කුලී වහලුන් කොට්ඨාසයක් එය සමච්චලයට ලක් කළ බවත් මේ පෙර සූදානම් ඇති නොකිරීම නිසා අද රට වැටී ඇති ප්‍රපාතය නිසා අසහනයට පත් වන්නේ ජනාධිපතිවරයා අගමැතිනිය හෝ කැබිනට් එක නොවන බවත් මේ නිසා අසහනයට පත්ව ඇත්තේ ජනතාව බවත් අද වන විට අප රට මේ අර්බුධයට සූදානමක් පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
බාල ගල් අගුරු නිසා විදුලි උත්පාදනය අනතුරේ
එසේම බාල ගල් අගුරු නිසා නොරොච්චෝල බලාගාරය පවා නියමිත ප්‍රමාණයට විදුලිය බලය උත්පාදනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් මේ තත්ත්වය මත රජය පච කිය කියා රටේ ජනතාව සහ රට දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
බාල ගල් අගුරු නිසා ඉන්ධන බලාගාර මාෆියාව ශක්තිමත් වෙනවා
මේ රජය ගෙන විත් ඇත්තේ බාල ගල් අගුරු බවට නොරොච්චෝල බලාගාරයේ තත්‍යකාලීන වාර්තා තුළින් පෙන්නුම් කරන බවත් රජය මේවා බාල ගල් අගුරු නොවන බව පැවසුවත් ඊයේ දින පවා මෙගවොට් 113ක් අඩුවෙන් උත්පාදනය කර ඇති බවත් මෙසේ අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසා මේ හිගය ඉන්ධන බලාගාරවලින් පියවා ගැනීමට යාමෙන් විදුලි බිල වැඩි වීමත් ඉන්ධන හිගය වැඩි වීමත් සිදුවන බවත් මේවා ගැන කියද්දි සමාජ මාධ්‍ය තුළින් අපහාස කළත් මෙහි බර අදින්න වෙන්නේ රටේ ජනතාවට බවත් හෙට අනිද්දා පවා විපක්ෂයේ විරෝධය මත විදුලි බිල වැඩි කිරීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විදුලි බිල වැඩි කරන්නේ බාල ගල් අගුරු හොරකම වහගන්න
විදුලි බිල වැඩි කරන්නේ බාල ගල් අගුරු නිසා සිදුවූ හොරකම වසා ගැනීමට වන අතර ඉන්ධන බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීම නිසා ඇතිවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා කරපිට පටවන්න රජය කටයුතු කරන බවත් මේ බාල ගල් අගුරු නිසා අඩු විදුලියක් උත්පාදනය වනවා සේම බලාගාරයේ උපකරණවලට හානි වීම සෞඛ්‍ය හා පාරිසරික හානි සිදුවීම ආදී දැවැන්ත හානි රැසක් සිදුවෙමින් පවතින බවත් මේ බාල ගල් අගුරු නිසා තවදුරටත් ඉන්ධන අර්බුධය පවා වර්ධනය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රජය දන්නේ අපි අදහස් ඉදිරිපත් කරන විට මඩ ගහන්න විතරයි
විපක්ෂය අදහස් ඉදිරිපත් කරන විට ඊට ඇති ඉඩ පවා අහුරාලීමට රජය කටයුතු කරන බවත් රටේ බරපතල ගැටලු තිබියදී බදාදා දින පාර්ලිමේන්තුවේ නිවාඩු බවත් ඒ තරම් මේ රජය උද්දච්ච වී ඇති බවත් විපක්ෂය ඉදිරිපත් කරන අදහස් මේ රජය ගණන් ගන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්දියාවත ජනතාවට සහන දෙන්න තෙල් මත ඇති බදු ඉවත් කළා
ඉන්දියාව තෙල්වලට ගසා ඇති බදු පවා මේ වන විට ඉවත් කිරිමටත් සමහර බදු අඩු කිරීමටත් පියවර ගෙන ඇති බවත් ඔවුන් ඉන්දන මත පනවා ඇති බදු අවම කර ජනතාවට සහන දෙන්න කටයුතු කර ඇති බවත් දකුණු කොරියාව පවා මෙවැනි සහන ලබා දෙන බවත් එහෙත් අපේ රටේ ජනාධිපතිවරයා සහ රජය මැතිවරණ සමයේ කියූ කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත් බදු කොමිස් ඉවත් කර වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද ඒ කිසිවක් නොමැති බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ආණ්ඩුව මෙවැනි බොරු පොරොන්දු දී බහුතරය ලබා ගෙන අදටත් ඉන්ධන මත බදුපිට බදු ගසමින් යන බවත් සඳහන් කළේය.
දැන් කුපන්වලටවත් ගොවියාට ඉන්ධන ලබා ගන්න බැහැ
මේ වන විට ගොවි ජනතාව පවා බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවත් මාස් කන්නයෙ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන බවත් ඉදිරි යල කන්නයේ පවා හෙක්ටයාර ලක්ස 5ක් වගා කටයුතු සිදු කර බවත් හෙක්ටයාර පන්ලක්ෂ පනස්දහසක් වී වගා කළත් ජලය හිගතාව තුළ ලක්ෂ 5ට අඩුවන බවට පුරෝකථනය කරන බවත් දැන් මාස් කන්නයේ ගලා ගත් වී අස්වනු විකුණා ගැනීමට මෙන්ම අස්වනු නෙලන්න අවශ්‍ය ඉන්ධන මෙන්ම ඉදිරි යල කන්නයට අවශ්‍ය බිත්තර වී පවා නොමැති බවත් දැන් තණකොළ කපන යන්ත්‍රවලට කූපන්වලටවත් ඉන්ධන නොදෙන බවත් මේවා නොමැතිව වගා කටයුතු ආරම්භ කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ දැවැන්ත පොහොර හිගයක් පවතිනවා
ඊට අමතරව ප්‍රමාණවත් පොහොර රට තුළ නොමැති බවත් මැතිවරණ සමයේ අමුවෙන් ගොයම් හා තණකොළ කාපු මැති ඇමතිවරු සිටියත් අද ඒ කිසිවෙක් සොයාගත නොහැකි බවත් පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් තිබ්බත් ඇත්තටම ඇත්තේ 70000ක් බවට වාර්තා වන බවත් මේ ඉඩම් ප්‍රමාණය වගා කරන්න නම් මේ පොහොර ප්‍රමාණවත් නොවන බවත් වී වගාව මෙන්ම බඩඉරිගු, තේ ආදී වගාවන්ට ද මේ යූරියා පොහොර අවශ්‍ය වුවත් එයටද ප්‍රමාණවත් පොහොර නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) කැලණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.


