මෙතනින් අහන්න
මෙතනින් බලන්න
කොළඹ LNW: එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ගල්ෆ් කලාපය තුළ හටගැනුණු යුද්ධය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. මෙම යුද්ධයට අද දවස වන විට දින 31ක් ගත වී තිබෙන අතර ගෝලීය බල දේශපාලනය සම්බන්ධ සෙවනැලි එකින් එක පහදා ගැනීමට අවස්ථාව සැලසී ඇත. විශේෂයෙන් එක්සත් ජනපදය නොසිතූ අයුරින් ඔවුන් අඩියෙන් අඩිය පස්සට යමින් සිටියි. ඉරානයේ බලශක්ති පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට වූ අනතුරු ඇඟවීම මේ වන විට දින 5 සිට 10ක කාලයක් දක්වා සටන් විරාමයකට ගොස් සිටින අතර විශේෂයෙන් ඇමරිකානු පාර්ශවයෙන් ජාත්‍යන්තරය වෙත වාර්තා වන්නේ යුද්ධය නිමා වීමේ සලකුණු සම්බන්ධයෙනි. කෙසේ වෙතත් මෙම යුද්ධය අවසාන කරන ලෙස ඇමරිකාව තුළත් ඊශ්‍රායලය තුළත් මහජන සටන් ඇවිලී අවසන්ය. බලපුළුවන්කාරකම් මත එළඹි යුද්ධය විසින් බලපුළුවන්කාරකම්වල දිග පළල දැන් මැනවින් පෙන්නුම් කරමින් තිබේ.
ඉරානය විසින් සමස්ත ගල්ෆ් කලාපයම යුද පිටියට කැඳවීම හමුවේ ලෝක සිතියම තුළ ඉරානයේ හයිය මෙන්ම ඔවුන් කෙතරම් මේ මොහොතට සූදානමින් සිටියේද යන්න දැන් පැහැදිලිය. ඇමරිකානු අඩන්තේට්ටම් හමුවේ ඔවුන් සංවිධානය වී සිට ඇති ආකාරය ජනාධිපති ට්‍රම්ප් වුවද මේ වන විට මවිත කර ඇතිවාට සැක නැත. ලෝකය ඉදිරියේ විහිළුවක් වෙන තැනට ජනාධිපති ට්‍රම්ප්ව ඇද දමා ඇති ඉරානය ඇමරිකානුවන් සිය රාජ්‍ය නායකත්වයට එරෙහිව ලක්ෂ ගණනින් මහපාරට ගෙන ඒමටද කටයුතු කර අවසන්ය. ඇමරිකාව දින හතරකින් අවසන් කිරීමට බලාපොරොත්තු සහගතව සිටි මෙකී යුද්ධය දැන් මාසයක කාලයක ඉක්මවා ගොස් අවසන්ය. යුද්ධය සම්බධයෙන් වූ තීරණාත්මක සාධකය බවට ඇමරිකා – ඊශ්‍රායල ප්‍රතිවාදියා වන ඉරානය විසින් අත්පත් කර ගැනීම හමුවේ විශේෂයෙන් ලෝකට පොලිස්කාරයා වී සිටි ඇමරිකාව නිරුවත් වීම සිදුවෙමින් තිබේ.
ලෝක බල දේශපාලනයේ සුක්කානම ඇමරිකාවෙන් ගිලිහීම මේ වන විට ආරම්භ වී ඇත ඒ අනුව ගල්ෆ් යුද්ධය සමඟ ගෝලීය දේශපාලන බල විභේදනය සහ ඇමරිකාවේ කිරුළු ගිලිහීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක ප්‍රවේශයකට එළඹීම මෙම ලිපියෙන් අරමුණු කරන අතර මෙහි සම්පත් දායකත්වය ජාත්‍යන්තර පර්යේෂකයෙන් මෙන්ම විශ්ලේෂකයෙක් වන හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා විසින් සිදුකරනු ලබයි. මීට පෙර මෙම ගල්ෆ් යුධය සම්බන්ධයෙන් ”මනුස්සකමක් නැති මිනිස්සු දෙන්නෙක් සමඟ බල ලෝභය හා වංචා දුෂණ: බිලියන 08ක් අපේක්ෂාභංගත්වයට යන විශ්ලේෂණය මඟින් මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා ගල්ෆ් යුද්ධයේ ඇත්ත පැත්ත ගැන සාකච්ජාවක යෙදුණි.
ඒ අනුව එහි දිගුවක් ලෙස මැදපෙරදිග යුද්ධය සමඟ ලෝක බල දේශපාලනයේ හැරවුම සහ එහි අනාගත සැකැස්ම පිළිබඳ පුරෝකථනමය ප්‍රවේශයකට මෙවර එළඹ තිබේ.
ඒ අනුව මේ වන විට ඉරානයේ පවතින හැකියාව සහ විශ්ෂයෙන් එක්සත් ජනපදය මුහුණ දී සිටින අභියෝගය පිළිබඳ මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පැහැදිලි කිරීමක් සිදුකරයි. ඔහු පවසන අන්දමට ඉරානයේ මිලිටරි හැකියාව පිළිබඳ යුද්ධයට පෙර ඇමරිකාවට නිසි ඇගයීමක් නැති වන්නට ඉඩ තිබේ. එහෙත් ඇමරිකාව විසින් සිදුකරන ලද ඉරානයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් අඩපණ කරන අභියෝගයට වඩා දරුණු අනතුරක් ඉරානය විසින් මැදපෙරදිග ජල පද්ධතිය සම්බන්ධයෙන් සිදුකිරීම මත යුද්ධය සුවිශේෂී සංධිස්ථානකට පැමිණි වග පෙනෙන්නට තිබේ.

මේ යුද්ධය ඉරනයටත් අමාරුයි. ඇමරිකාවටත් අමාරුයි. ඊශ්‍රායලයටත් අමාරුයි
ඒ අනුව මෙජර ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ,
”මගේ තක්සේරුව අනුව ඉරානයට මිසයිල 45000ක් තියෙනවා. ඉරානයේ තියෙන පවර් එක අනුව කරදරයක් නොවී මේ විදිහටම පහර දෙනවා නම් ඉරානයට පුළුවන් මැදපෙරදිග පිහිටි ඇමරිකාවේ ස්ථානගතයන්ට තව අවුරුද්දක් පහර දෙන්න. ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේ අභ්‍යන්තර බලය යොදවල මේක කොහොමත් නවත්වන්න බැහැ. ඒක හොඳටම පැහැදිලියි. ඊශ්‍රායලයේ ඉන්ටර්සේක්ටර්ස් ප්‍රහාරක මිසයිල අඩුවෙලා තියෙනවා. ඩිමොනා කියන ඔවුන්ගේ පරමාණු බෝම්බ යුරේනියම් තියෙන මධ්‍යස්ථානයටත් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒක ඉතා භයනාක තත්ත්වයක තියෙන්නේ. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තිබුණා ඉරානයේ ඉලෙක්ට්‍රිසිටි වලට අදාල යටිතල පහසුකම් සම්පුර්ණයෙන් නැති කරනවා කියල. එහෙම ප්‍රහාරයක් දුන්නොත් මුළු ඉරානේම ලයිට් නතුව යනවා. එහෙම වුනොත් නැවත අලුත්වැඩියා කරන්න වසර 5ක සිට 10ක කාලයකුත් යනවා. එහෙම කෙරුවොත් ඉරානය ප්‍රකාශ කළා මැදපෙරදිග තියෙන බීමට ගන්න සහ වගාවන්ට ගන්න මුහුදු ජලය සියල්ල විනාශ කරනවා කියල. මෙතැනදී අපිට තෙල් එන්නේ නැහැ කියමුකෝ. හරි අපිට තෙල් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි තෙල් කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. තෙල් අවශ්‍ය වෙන්නේ ගමන් බිමන් යන්නයි කර්මාන්ත දුවන්න සහ නිෂ්පාදන කටයුතු කරන්න. ගහක් හදන්න තෙල් ඕනේ නැති වුණත් පොහොර හදන්න තෙල් ඕනේ තමයි. හැබැයි වතුර නැතුව ජීවත් වෙන්න බැහැ දවස් දෙකකට වැඩිය. තෙල් නැතුව අවුරුද්දක් දෙකක් වුණත් අමාරුවෙන් හරි ජීවත් වෙන්න පුළුවන්. එතකොට තෙල්වලට වඩා මැදපෙරදිග වතුරවලට විනාශයක් කළොත් මැදපෙරදිග සම්පූර්ණයෙන් ශුන්‍ය භූමියක් වෙලා ජීවත් වෙන්න බරුවම යනවා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ තර්ජනය හකුළ ගන්න වුණා. දැන් කොහොමහරි යුද්ධය දවස් පහකට විරාමයක් දුන්නා. දැන් එක දවස 10ක් වෙලා තියෙනවා. ඇත්තටම ඉරානයට වුණත් මේ යුද්ධය අමාරුයි. ඉරානයට වැඩිය ඊශ්‍රායලයට අමාරුයි. ඇමරිකාවට අමාරුයි ඉරනයට සහ ඊශ්‍රායලයට වැඩිය. මෙතන වැඩියෙන්ම අමාරු ඊශ්‍රායලට සහ ඇමරිකාවට. මොකද ඔවුන්ගේ යුද වියදම වැඩි වෙනවා. මිල අඩු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වළක්වන්න ගහන ප්‍රතිවිරෝධකවලට විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. මම දන්නා විදිහට ට්‍රම්ප්ගේ යුද බජට් එක ඩොලර් ට්‍රිලියන 1ක්. ඊට අමතරව තව බිලියන 21ක් ඉල්ලලා තියෙනවා. ඒක දෙන්න පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ කැමැත්තක් නැහැ. මහජනතාවගේ කැමැත්තක් නැතුව යුද්දෙකට ගියොත් ඕනෑම රටක් පරදිනවා.” යනුවෙනි.
ඒ අනුව වෙනිසියුලාව මෙන් පහසු ඉලක්කයක් බව සිතා ඉරානයට අත තැබුවද මෙතරම් සංකීර්ණ තැනකට පත්වනු ඇතැයි ඇමරිකාවට ඉරානය පූර්ව නිගමනයක් නොතිබෙන්නට ඇත. දේශපාලන විශ්ලේෂණයන්ට අනුව ඊශ්‍රායලයේ වුවමනා එපාකම් වලට සහය දැක්වීමට ගොස් ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකාව දැන් අත පුළුස්සා ගෙන තිබේ. එහෙත් දැන් ඇමරිකානු ජනාධිපතිවරයාට එක් අතකින් විලිවසාගෙන දැවෙමින් ඇති අත අහකට ගැනීමටද නොහැකි අභිමානය පිළිබද ප්‍රශ්නයේ ගිලෙමින් සිටියි. යුද්ධය නතර කරන්නැයි කෑගසන ඇමරිකානුවන් මෝඩයන් ලෙස හදුන්ව දීමට තරම් ජනාධිපති ට්‍රම්ප් උත්සුක වී හිදින පසුබිමක විශේෂයෙන් ජනාධිපති ට්‍රම්ප් විසින්ම ඇමරිකාවේ බලවත්භාවය දියකර හරිමින් පසුවෙයි.
”බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කඩා වැටුණා වගේ, ඉස්සර තිබුණ ස්පාඤ්ඤ අධිරාජ්‍ය කඩා වැටුණා වගේම ඇමරිකන් අධිරාජයා කඩා වැටීමට නියමිතයි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක ප්‍රවණතාවය. මෙතැනදී ඇමරිකානු ඩොලරයට තිබුණ පිළිගැනීම නැතුව යනවා. ඇමරිකානු හමුදා බලය ගැන තියෙන විශ්වාසය අඩුවෙනවා. ඉරානය පරාජය කරන්න ගිහින් ඒක කරගන්න බැරිවුණ එක ඔප්පු වෙනවා. එතකොට මැදපෙරදිග තියෙන ඇමරිකානු හමුදා කඳවරු අයින් කරගන්න කියල බලපෑමක් එනවා. ඒවගේම ඇමරිකානු රාජ්‍ය නායකත්වය ගැන ඇමරිකාව තුළ වගේම ලෝකවාසීන් සතුව තිබෙන විශ්වාසය නැතුව යනවා. ඇමරිකානු අධිරාජ්‍ය බිඳ වැටීම දැනටමත් පටන් අරන් ඉවරයි. එක ඊට පස්සේ කඳවුරු කිහිපයකට බෙදිලා යනවා. චීනයට, ඒවගේම රුසියාවට තව ටික කාලයක් ගියහම ඉන්දියාව අතට බලය ගිහිල්ල ඇමරිකාව සාමාන්‍ය තැනට යනවා. ඔවුන්ට ලෝකෙට බලපෑම් කරන්න බැරිව යනවා. මදුරෝව අල්ලගත්තා වගේ දේවල් ඉස්සර්ර්හට කරන්න බැරිව යනවා. ඒ නිසා මේ යුද්ධය අවසාන වෙද්දී බල පෙරළියකුත් සිද්ධ වෙනවා. ඇමරිකාවට විශාල පරිහානියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”
ඇමරිකාවේ අධිරාජ්‍ය අවසන් – ගාසාවට කළ විනාශය වෙනුවෙන් ඊශ්‍රායලටත් සොබාදහමෙන් දඬුවම් ලැබුණා
මේ වන විට ඉරාන යුද්ධය අවසන් කරන ලෙස බලකරමින් ඇමරිකාව, ඊශ්‍රායලය, තුර්කිය ඇතුළු රටවලින් මතුව ඇති මහජන විරෝධය හමුවේ මෙම කාරණය තහවුරු වෙමින් තිබේ. අරාබි වසන්තය හරහා ඇරඹි බටහිර විසින් මැදපෙරදිග වැනසීමේ ක්‍රියාවලිය තවදුරටත් අවසන් නොවුණද මෙවර ඉරානය ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ලොව සුපිරි බලවතුන්ට සිය බලවත්භාවය පිළිබඳ නැවත නැවත සිතන්නට අණ කර ඇත. රටවල සිය ආර්ථිකය ශක්තිමත් කරගනිමින් ඉදිරියට පැමිණෙන විට උපායමාර්ගිකව සිදුකරන හැසිරීම් චීනය හා රුසියාවෙන් මේ මොහොතේ උගත හැකිය.මෙම යුද්ධය අවසන් වී සිදුවන සමාජ පරිවර්තනය හරහා ඔවුන් ගොඩනගාගත් බලය දැකගත හැකිවනු ඇති අතර ඉන්දියාවද ඊට ක්‍රමයෙන් ළඟා වන ආකාරය දැකගත හැකි වනු ඇත. ඒ අනුව ඇමරිකාවේ බලයත් යුරෝපයේ බලයත් පිළිබඳ ප්‍රශ්න කරන තැනට සමාජ පරිවර්තනයක් අපේක්ෂා කළ හැකිය.
මෙම ගල්ෆ් යුද්ධයේ ප්‍රධාන හැරවුමක් ලෙස දැක්වෙන ඉරානය විසින් අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීමට ඇමරිකාවට ඇති වූ නොහැකියාව මත ඇමරිකානු බලය පිළිබඳ ප්‍රශ්නය මෙන්ම නේටෝ සංවිධනය ගල්ෆ් යුද්ධය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පෙන්නුම් කරමින් ඇත. භෞතිකව හෝමුස් වෙත ළඟා වීමට ඇති ස්වභාවික නොහැකියාව විසින් නේටෝ සංවිධානය සිය දේශපාලනය පවත්වාගෙන යාම වෙනුවෙන් එකී අවස්ථාව උපයෝගී කර ගෙන තිබෙන ආකාරය පැහැදිලිය. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අහක යන නයි ගෙට වද්දා නොගැනීම තරම් නේටෝ ප්‍රවේශම් සහගතව පසුවෙයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ලෝක දේශපාලනය තුළ තනි නැගීසිටීම් වෙනුවට සාමූහික, කලාපීය නැගී සිටීම හමුවේ කැපී පෙනෙන්නන් නිර්මාණය වනු ඇත. එහිදී චීනය සහ රුසියාව පෙරමුණේ පසුවෙයි. ඔවුන් මේ මොහොතේ ඉරානයට සහය දවක්වමින් එකී ස්ථානය රැකගැනීමට කටයුතු කර තිබේ.
”ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ දැම්මා. ඒකම අනිත් පැත්තෙන් ඊශ්‍රායලයට පලිසන් දීලා තියෙනවා. සොබාදහමේ නීතියට අනුව මම දකින්නේ ඊශ්‍රායලයේ ගාසාවලට කරපු විනාශයට සමාන විනාශයක් ඉරානය විසින් ඊශ්‍රායලයට කරලා තියෙනවා. ඉහළ තාක්ෂණයක් තියෙන ප්‍රබල හමුදා ඉන්න රටක් වුණත් විශාල පරිහානියක් අත්වෙලා තියෙනවා. මට හිතෙන්නේ අධිරාජ්‍යයේ බිඳවැටීම පටන් ගත්තා කියල. ඒ වගේම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සඳහා ඇමරිකාව නේටෝ සංවිධානයේ සහයත් ඉල්ලුවා. නමුත් ඒගොල්ලෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඇමරිකාවට එය බලහත්කාරයෙන් විවෘත කරන්න හැකියාවක් නැහැ. මොකද ගොඩක් බෝම්බ හයි කරලා තියෙනවා. ඒ මුහුදු තීරය පුරාම ප්‍රතිවිරුද්ධ නැව් වලට ගහන්න මිසයිල හයි කරලා තියෙන්නේ. ඇමරිකාවේ ගුවන් හමුදාවට වුණත් එතනට එන්න බැහැ. මොකද ඒ මුහුදු තිරය එච්චර පළල නැහැ. ඇමරිකාව බලනවා නේටෝ සංවිධානයේ නැව් ටික දාලා පුළුවන් නම් මේක ඇරගන්න. නමුත් නේටෝ සංවිධනය එක පිළිගත්තේ නැහැ. ඊශ්‍රායල අගමැතිත් කියනවා හොමූස් ඇරගන්න ලෝකෙන්ම ඇවිත් උදව් කරන්න කියල. ඒක වෙන්නෙත් නැහැ.” යනුවෙන් පවසන මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ මෙම යුද්ධය ආරම්භ කළ පාර්ශවයේ පරාජය දැනටමත් සනිටුහන්ව ඇති බවයි. දින 5ක සිට දින 10 දක්වා දීර්ඝ වුණු සටන් විරාමය ඊට සාක්ෂි සපයා ඇති බවයි ඔහු පවසන්නේ.

ඇමරිකාව සටන් විරාමය ගෙනාවේ පරදින නිසා
”සටන් විරාමයට ආවේ පරදින හින්දා. දිනන කෙනෙක් කවදාවත් සටන් විරාමයකට යන්නේ නැහැ. මගේ තක්සේරුව වුණේ දින පහේ සටන් විරාමය ඉස්සරහට යනව කින එක. මෙහෙම ගිහින් යුද්ධය නවතයි. සාමකාමී වාතාවරණයක් එයි. තෙල් සහ ගෑස් මිල යම් ප්‍රමාණයකට අඩු වුණත් විනාශ වුණු තෙල් සහ ගෑස් යටිතල පහුකම් හදා ගැනීමට තව කාලයක් යයි.”
මේ නිසා සුපිරි බලවතුන් සහ විශාල රාජ්‍යයන් දැනගත්තොත් හොඳයි මේ වගේ ක්‍රියාවලිවලින් ලෝකෙට ලැබෙන පීඩාව වැඩියි එයාලට වෙන යහපතට වැඩිය. ලෝකයේ ප්‍රබල රටවල කෙරෙහි ලෝකයේ අනෙකුත් රටවල තිබෙන විශ්වසය සහ ගරුත්වය නැතිකර ගැනීමක් වෙන්නේ.
”ඇමරිකාව සම්බාධක දැම්මත් යුදමය වශයෙන් ඔවුන් අසමත්. ඉරානයට චීනයේ සහ රුසියාවේ සහය ලැබුණා. බෝම්බ දාලා රෙජීම් චේන්ජ් කරන්න බැහැ. එහෙම දෙයකට ගොඩබිමෙන් යන ඕනේ. ඇමරිකන් හමුදාව ඉරාන ගොඩබිමට ගියොත් ඔවුන් සම්පුර්ණයෙන් විනාශයි. ඒක එච්චරම අමාරු භූමියක් බලකොටුවක් වගේ භූමියක්. ඇමරිකාවේ සුපිරි බලවත්භාවයට පැල්ලමක් එකතු වුණා. මේ විදිහටම බ්‍රිතාන්‍ය ඊජිප්තුවේ සූවස් ඇල පහර දීලා බලෙන් අල්ලගන්න ගියා. එකත් බැරුව ගියා. ඊට පස්සේ බ්‍රිතාන්‍යට තියෙන පිළිගැනීමට බලපැමක් ආවා. ඕනෑම ආණ්ඩුවක ජනාධිපති කියන්නේ බොරු නම් කියන දේ කරන්න බැරි නම් එයාට තියෙන ගෞරවය පිළිගැනීම නැතුව යනවා. ඒක ජනාධිපතිකෙනෙකුට වෙන්න පුළුවන් රටකට වෙන්න පුළුවන්. සුපිරි බලවතෙකුට වුණත් එකයි. දැන් ට්‍රම්ප් ගැන වුණත් මහජන විශ්වාසයක් නෑනේ. සාම සාකච්ජා පවත්වනවා ඒ අතරතුර ගහනවා. ඒක ලෝක නායකයෙකුගේ චරිතයට ගැළපෙන එකක් නෙවෙයි. චීනය ආර්ථික වශයෙන් මතුවෙනවා. රුසියාවේ මතුවෙනවා, ඉන්දියාවට උඩට එනවා. එයාල මේක පවත්වාගෙන යයි. මැදපෙරදිගින් ඇමරිකාවට යන්න වෙනවා. තෙල්වල තියෙන හෙජමොනිය නැතුව යනවා. එහෙම ගියාම සල්ලි නැතුව යනවා. ඇමරිකාවේ හමුදා කදවුරු ලෝකය පුරා 750ක් තියෙනවා. හමුදා කඳවුරු දාන ඒකෙන බලය එනවා වගේම අනිත් පැත්තේ පරිහානියත් එනවා. මිලිටරි එක්ස්පෙන්ෂන් කරන්න ගියාම ආර්ථිකය කඩන වැටෙනවා. ඕනෑම රටක GDP ඒකෙන 15%ට වා ආරක්ෂාවට දැම්මොත් ඒ රට කඩන් වැටනවා. සෝවියට් රුසියාවට වුනෙත් එකයි. වර්ල්ඩ් ඔපිනියන් කියල එකක් තියෙනවා. වෙනිසියුලාවට කරපු වැඩේට කැමති නැහැ. නිකන් හිටපු ඉරානයට නේ ගැහුවේ ලෝක මතය තුළ ඒවාට කැමැත්තක් නැහැ. ”
ඒ අනුව ගල්ෆ් යුද්ධය ලෝක දේශපාලනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරන්නක් සේම දේශපාලනික හෙජමොනි දෙදරායාමට නියමිත අතර මූලෝපායික උපායමාර්ග පිළිබඳ නව සංවාදයක් ඇති වනු ඇත.
සටහන – ආශිකා බ්‍රාහ්මණ


