සටහන – රුවන් නෙළුගොල්ල
1999 ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) තීන්දු කර තිබේ.
අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව ය.
1999 වසරේ පැවති ජනාධිපතිවරණය ආසන්න කාලසීමාවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි. එම අධිචෝදනා පත්‍ර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2020 වසරේ නොවැම්බර් 20 වනදා තීන්දු කර තිබුණේ නීතිපතිවරයා විසින් ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රය බලරහිත කිරීමට ය.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ අභියාචනාධිකරණයේ තීන්දුව දෝෂ සහගත බැවින් එය බලරහිත කරන ලෙස ය.
ඒ අනුව, එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ සඳහන් කළේ නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වැරදි සහගත බවත් ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඉවත දමන බවත් නීතිපතිවරයාගේ අභියාචනය ගාස්තුවට යටත්ව පිළිගන්නා බවත් ය.


