*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

රැළි දේශපාලනය කොයිබටද ?

පසුගිය ටිකේ “සිස්ටම් චේන්ජ්” නමින් රට පුරා හමාගිය රැළ්ල දැන් ක්‍රමක්‍රමයෙන් බැසයමින් තිබේ. ඇත්තෙන්ම රැළිවල ස්වබාවයද එයමය, එය වේගයෙන් නැගඑන්නාක් මෙන්ම වේගයෙන් බැසගෙනද යයි. අනෙක් පැත්තෙන් රැළ්ල යනු රංචුවාදයකි, ඒ තුල හිතළු සහ අනුමාන මත පදනම් වී සිදුවන අමුකැලෑ ගිනි තැබීම් මිස බුද්ධිමය හෝ දාර්ශනික ප්‍රබවයන් කිසිවක් නොපවතී.

යම් සමාජයක දේශපාලන පරිකල්පනය ගොඩනැගෙන්නේ එකී සමාජයේම අභ්‍යන්තර ගතිකයන්ගෙනි. මෙහිදී ගෝත්‍ර සමාජයක් එකී ස්වකීය දේශපාලන පරිකල්පනය ගොඩ නගා ගන්නේ ඔවුන්ගේම ඇතුලතට නැබුරුවූ යම් ශුද්ධවූ ඉරණමක් සම්බන්ද අදහසකින් සහ පිටත සම්බන්දව පවතින යම් සතුරු උපද්‍රවයක් සම්බන්ද අතාර්කික බියකිනි. එසේම එහිදී ඔවුන්ගේ ගෝත්‍රයටම අනන්‍යවූ මනස්දෘෂ්ඨිමය පරම නිෂ්ඨාවක්ද පවතී.

මෙය ලංකාවට අදාල කරගෙන බැලූ විට ලාංකිකයාටද ඔවුන්ටම විශේෂිත පරමාදර්ශී ඉරණමක් සහ පරම නිෂ්ඨාවක් පවතී. බොහෝ විට එය වැඩවසම් සිංහල බෞද්ධ මනස්දෘෂ්ඨියක් මත ඉදිවූවකි. එසේම එහි නිෂ්ඨාව අතීතයේ පැවතියා යැයි ෆැන්ටසයිස් කරන පරමාදර්ශී ස්වයං පෝෂිත රාඨ්‍ර පාලනක ව්‍යුහයකි. ඒ අනුව පොදු ජනතාව මතින් ගොජදමන රැළිවල අනිවාරනීය ගතිකය වන්නේද එකී අතීතකාමී සිංහල බෞද්ධ ජාතිකවාදී ග්‍රාම්‍ය මන්ස්දෘෂ්ඨියයි.

එබැවින් ජාතියේ විද්‍යාත්මක හා ප්‍රායෝගික අනාගතය සැලසුම් කල යුත්තේ රැල්ලට පිටතිනි, ඇතැම්විට ආචීර්නකල්පිකත්වයක් හා ඇලී ඇති මෙකී රැළ්ලට එදිරිවය. මෙහිදී කාල් මාක්ස් විසින් “ආසියාවේ ජාතීන්ගේ අනාගත අබිවෘදිය පදනම් වී ඇත්තේ ඔවුන්ගේම අතීත අගතීන්වලට එරෙහි මාවතේය” යැයි සඳහන් කර ඇත්තේද මෙකී සන්ධර්බය තුල විය යුතුය.

මේ සන්තිතිය තුල යම් දේශපාලන කන්ඩායමක් රැළි මතින් බලයට පත්වීම රටකට යහපත් ප්‍රතිපල අත්කර දෙන්නේ නැත. මන්ද පෙරකී රැළ්ල මතින් බලයට පත්වූ දේශපාලන කන්ඩායම තමන් බලයට පත්කල රැළ්ලට පෙරලා වගකිව යුතුය. මෙහිදී එකී දේශපාලන කන්ඩායමට වෙනත් න්‍යාය පත්‍රයක් තිබුනද එය ක්‍රියාත්මක කිරීමට යාමේදී රැළ්ල පාරාවලල්ලක් බවට පත්වේ.

එසේම මේ මනස්දෘෂ්ඨික රැළ්ල නිර්මාණය වන්නේම පරිකල්පිත සතුරෙකුට එරෙහිව ගොජදමන වෛරයක්ද සමගින්ය. එසේම මෙකී රැළ්ලට ජීවබලය සපයන්නේ එකී වෛරය විසින්ම බැවින් මේ රැළ්ල පාමුළ අනිවාර්ය ලෙසම සතුරෙක් හා ඊට එරෙහි වෛරයක්ද පවතී. මෙයට හොඳම උදාහරණය පැවති රාජපක්ෂ වාදයේ රැළ්ලයි.

රාජපක්ෂවාදය සංවිධානය කෙරුනේ සිංහල බෞද්ධයා වැනසීමට පැමිනෙන සතුරෙකුට එරෙහිවය. රාජපක්ෂවරු එහිදී එකී සතුරා මැවීමේ කාර්‍ය මෙන්ම සතුරාට එරෙහි වෛරයද මනාව සංවිධානය කලෝය.
මෙහිදී රාජපක්ෂවාදයේ බිඳවැටීම තුලින් විද්‍යාමාන වූයේද රාජපක්ෂවාදය යනු පෙරකී සිංහල බෞද්ධයාගේ අතීතකාමී මනස්දෘෂ්ඨිය කොල්ලකාගෙන ගොඩනගාගත් චෞර බලකඳවුරක් බවත් කලින් සඳහන් කල සතුරු බලවේග යථාර්ථයේ පවතින දෙයක් නොවන බවත්ය.

රාජපක්ෂවාදය බිඳවැටෙන විට රටපුරා ඇවිළුන රාජපක්ෂ විරෝධී වෛරයේ ගින්නද ජනයා විසින් තමාගේම දෝෂය පිටතට බහිෂ්කරණය කොට නිර්මාණය කරගත් තවත් එවැනිම රැළ්ලකි. දෙදාස් දහනමයේදී රාජපක්ෂවරු විසින් දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහිව සංවිධානය කල වෛරය මෙවර වමේ බලවේග විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව සංවිධානය කලේය. මෙහිදී සිදුවූයේ වෛරයේ රික්තකය වෙනත් අන්තර්ගතයකින් පිරවිම පමණි.

රැළ්ල විසින් අපේෂා කරන නිෂ්ඨාව ඉටු නොවූ කල රැළ්ල විසින් ඉහලට එසවූ නායකයන්ව බිමට ඇදදමා පොළොවේ ගැසීමද මේ රැළ්ලේ සාමාන්‍ය සොබාවයයි. ඒ අනුව මේ මොහොතේ රැළ්ල උඩ නැග පිනුම් ගහන රැළ්ලට අනුගතවී ඇති අන්දබුත බලවේගවල ඉළඟ ඉරණම වන්නේද තමා ඉහලට ඔසවනු ලැබූ රැළ්ලට හසුව පොඩිපට්ටම් වී යෑමටය.

ලාංකීය ආර්ථික අර්බූදය යනු පද්දතිගත ඓතිහාසික රෝගයකි. මෙය දේශපාලන චරිත කිහිපයක් උගුල්ලා ඉවත් කිරීමෙන් විසඳාගතහැකි සරළ අර්බූදයක් නොවේ. රාජපක්ෂවරු හොරාකෑ බව සත්‍යයකි, නමුත් අර්බූදයේ මූලය එය නොවේ. අර්බූදයේ සැබෑ මූලය ඇත්තේ රටට විනිමය උපයන මාර්ගවල ඇති අන්ත ද්‍රරිද්‍ර පසුබිම තුල සහ උපයන ධනය මෙන් කීපගුණයක ධනයක් රටේ එදිනෙදා අවශ්‍යතාවයන්ට වැයවෙන ආර්ථික පැටලිල්ල තුලය.

මසකට රුපියල් බිලියන සියය බැගින් කිසිදු ප්‍රතිවටිනාකමක් ජනනය නොකරන රාජ්‍ය ව්‍යවසායකත්වයන් නඩත්තුවට එක දිගට මහා ධනයක් රජයට වැයකිරීමට සිදුවීමද අර්බූදයේ එක් ප්‍රධාන මූලයක් උවද මේ මොහොතේ පවා අරගල ජනප්‍රිය වාදය කැරකෙන්නේ රට බේරාගැනීමට නම් කෙසේ හෝ රාජ්‍ය ආයාතන පද්දතිය රජය අතම තබාගත යුතුය යන විකාර මතය වටාය.

ඇත්තෙන්ම සැබෑ අර්බූදය ඇත්තේ ඉතිහාසය පුරාම රැළිපිට රැළි නැංවූ ජනතාවාදය තුලමය.

ජාතියේ ණය බර ඩොලර් බිලියන පනස් තුනකි, දෙමළ ජනවර්ගයට එරෙහි නිරර්ථක යුද්ධයේ පිරිවැය සහ යුද්ධය නිසා විනාශ වූ ධනස්කන්ධයේ වියඳම ඩොලර් බිලියන දෙසීයකි. එදා රෑ දවල් දෙකේ රැළිපිට රැළි නංවමින් පාලකයන් එවන් ධනහානියක් කල ජන ඝාතක යුද්ධය කරා දක්කනු ලැබූවේද මේ ජනතාව විසින්ම සහ ඔවුන්ගේ ගැලවුම් කරුවන් ලෙසින් රැළි මෙහෙයවන මේ වාම බලවේග විසින්මය.

අනෙක් පැත්තෙන් රටේ “ජනතාව යනු කිසිත් නොතේරෙන සිහිනෙන්වත් වරදක් නොකරන සුපිරිසිදු ජීව කොඨ්ටාසයක්ය” යන මිත්‍යා මතයද දේශපාලකයන් විසින් ජනමතය ලාබෙට ඩැහැගැනීම සඳහා දෙසාබාන ලද බටර් ප්‍රවාදයකි. සැබැවින්ම සැබෑම ඇන්දවිල්ල එය වන අතර රටේ ආර්ථික බංකොලොත්කමට අදාල තමාගේ දායකත්වය වටහාගත නොහැකි ජනතාවක් නිර්මාණය වීමට මේ බාල දේශපාලන බාවිතාව ඉඳුරාම හේතුවිය.

මෙවර ජනතා රැළ්ල ගොනුවී ඇත්තේ රට උලා කෑ හොරු අල්ලා හොරුන්ට උපරිම දන්ඩනයන් පැනවමින් හොරා කෑ සියළු ධනය රජයට පවරාගෙන රට සශ්‍රීක කරන ක්‍රියාවලිය සඳහා රටට ආදරය කරන පිරිසිදු නොඉඳුල් අළුත් බලවේගයක් රජ පුටුවේ වාඩිකරවීම සඳහාය. නමුත් විද්‍යාත්මකව බැලූවිට පෙනී යන්නේ ගැඨළුව සඳහාවු සැබෑ විසඳුම ඒ ජනකාන්ත රොමෑන්ටික් යෝජනාවන් තුල නැති බවය.

මේ හොරු අල්ලන සෙල්ලම වූ කලී සංකීර්ණ අර්බුදයක විසඳුම ග්‍රාම්‍ය ජනමනස විසින් වටහා ගන්නා දුර්වල ආකාරයයි. එසේම වාම බලවේග විසින් බාල රැළි ගොඩනගා ගැනීම සඳහා එකී ජනමනස සංවිධානය කරන ආකාරයයි. ගමක කෙසෙල් කැන් හොරෙක් අල්ලා ගස් බැඳ පහර දෙන විට හොරා ලවාම කෙසෙල් කැන පිළිබඳ සියලු රහස්ද කෙසෙල් කැනද සොයාගත හැකිවන්නා සේ රාජපක්ෂවරු ලොව අන් තැන්වල විවිධ අයුරින් ආයෝජනය කර ඇති හොරා කෑ ධනය නැවත සොයාගත හැකිවේද …? ගංවල කෙසෙල් කැන් හොරුන් ශාක්ෂි සැම තැනම ඉතිරි කර හොරකම් කරන්නාක් සේ රාජපක්ෂ වර්ගයේ ෆ්‍රොපෙෂනල් කොමිෂන් හොරු ශාක්ෂි ඉතිරි කර හොරකම් කරයිද…? එසේ හොරකම් කර පිටත ලෝකයේ ඇති ධනය කෙසෙල් කැනක් සේ ඉතා සරළ ක්‍රමවේදයක් හරහා නැවත පවරාගත හැකිවේද …? ලෝක ඉතිහාසයේ එසේ පාලකයන් විසින් හොරාගෙන වෙනත් රටවල්වල තැන්පත් කර තිබූ ධනය නැවත මවු රටට පවරාගනු ලැබු උදාහරණ කීයක් තිබේද..?

අර්බූදය ගැන විද්‍යාත්මක දැක්මක් නැති ජනමනෝබාවයට මෙකී යථාර්ථය ගෝචර නොවන අතර බාල ජනප්‍රිය වාදයන් මතින් බලයට පැමිණීමට කැස කවන බලවේග වලට එය ජනයාට පහදා දීමේ උවමනාවක්ද නැත.

ඉතිහාසය පුරාම ජාතිවාදී රැළි නැංවූයේද, ජාතිවාදී නායකයන් බලයට පත් කලේද, චෞර පාලකයන්ට හොරාකෑම සඳහා පසුබිම සකස් කරගැනීමට තුනෙන් දෙක ලබා දුන්නේද මේ ජනතාවමය.

මෙදා රැළි නංවන්නේද එදා රැළි ඒ රැළි නැංවූ ජනතාවම මිස වෙනත් ග්‍රහ වස්තුවකින් ගෙන්වාගත් ජනතාවක් නොවේ. මේ රැළ්ල පෙර පැවති රැළි වලින් වෙනස් වන්නට නම් මේ ජනතාව තුල අරුමපුදුම බුද්ධිමය විප්ලවයක් හදිසියේ සිදුවී තිබිය යුතුය. ඉතින් මේ කප තුල එවැන්නක් සිදුවිය හැකිද …?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan