සෞඛ්‍ය ඇමති නලින්දට GMOA එකෙන් විවෘත අභියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත විවෘත අභියෝගයක් කර තිබේ.

අද (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ ඇමතිවරයාට හැකි නම් විවෘත සංවාදයකට පැමිණෙන ලෙසයි.

අමාත්‍යවරයා පවසන දේ සහ ප්‍රයෝගික ක්‍රියාවලිය අතර පරස්පරයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දෙවන වරටත් ඊයේ දින පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද උදෑසන 08.00න් අවසන් විය.

කෙසේවෙතත් පවතින ගැටලුකාරී තත්ත්වය විසඳාගැනීම වෙනුවෙන් අද හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවන බවත් ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවත් ඔහු සඳහන් කරයි.

”සෞඛ්‍ය අමාත්‍යවරයා අපිට තර්ජනය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයක්.අපි කාටවත් තර්ජනය කරන්නේ නෑ. නලින්ද ජයතිස්ස රෝහලක සේවය කරලා නෑ. ඔබට වසර 30ක නරක ඉතිහාසයක් තිබුණා. ඔබලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවූහයට ඇවිත් කියලා හිතලයි මිනිස්සු ජන්දය දුන්නෙ. නැවත ඒ යුගයට යන්නද හදන්නේ කියලා අපිට හිතෙනවා. ඇමතිතුමනි වියරුවෙන් මිදෙන්න. ඔබ කැමති නැත්නම් සාකච්ජා මේසයට එන්න රජයේ වෛද්‍ය සංගමය රජය සමග විවෘත සංවාදයකට සූදානම්. සෞඛ්‍ය ඇමතිතුමනි ඔබට මෙන්න අපෙන් අභියෝගයක්. ඔබ කියන එකයි ප්‍රායෝගික එකයි දෙකක්.”

මේ වන විට රජය සීමා වාසික වෛද්‍යවරුන්ට ද බලපෑම් කරමින් තිබෙන බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.