ඩොනල්ඩ් ට්‍රම්ප්ට මහන්සි – ඉරානයට කේන්තියි!

උපාලි කොළඹගේ

කොළඹ LNW: විධායක ජනාධිපති ක්‍රමයේ භයානකත්වය ගැන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ආසන්නයේ දේශපාලන විද්වතකු මෙන්ම ආර්ථික විශේෂඥයකුද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පොත් පිංචක් ලිව්වා. ඇන්. ඇම්. එහි දක්වා තිබුණු ප්‍රධානතම කාරණය තමයි යම් විදියකින් විධායක ජනාධිපති පදවියට උන්මත්තකයකු පත් වුවහොත් එයින් සිදුවිය හැකි අනර්ථය. එහි භයානකත්වය. විධායක ජනාධිපතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කිරීමට සිදුවිය යුතු නෛතික ක්‍රියා මාර්ගයේ පවත්නා දුෂ්කරතා. අසීරුතා. ඇත්ත වශයෙන්ම එය විය සිදුරෙන් අහස බැලීමක් බව ඇන්. ඇම් එදා මනාව පැහැදිලි කර දුන්නා. නමුත් ඉන් කිසිදු පලක් සිදු වූයේ නෑ. ආණ්ඩුවේ කිසිවකු එය කනකටවත් ගත් තේ නෑ. අද වගේම එදත් හිටියෙ දේශපාලන වහලුන්. හාම්පුතාට එරෙහිව මතයක් ඉදිරිපත් කිරීමේ ධෛර්යයක් කිසිවකු තුළ තිබුණේ නෑ. එදාට වඩා අද වෙනස යස් සර් කියපු එක ඔව් සහෝදරයා කියන එක පමණයි.

ඇන්. ඇම්. ඒ පොත ලිව්වෙ ලංකාවෙ දේශපාලනයට අදාළවයි. නමුත් ඒ කිවිව කාරණා අද අත්විඳීමට සිදුව ඇත්තේ ඇමරිකන් ජනතාව ප්‍රධාන සමස්ත ලෝක ජනතාවටයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ විධායක ජනාධිපති බලතල ඒ තරමටම අයාලේ ගියේ නෑ. පොඩි පොඩි වංගු දාපු එක ඇත්ත. විධායක බලතල නිසා ජනතාවට සිදුවූ අකටයුතුකම් බොහොමයි. නමුත් විධායක බලතල යොදා බලයේ රුඳී සිටීමක් සිදු වූයේ නෑ. මේක අපේ රටේ ජනතාවගේ වාසනාවක්. ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. ඒකාධිපතියකු වේ යැයි සිතා සිටි ,විශ්‍රාමික හමුදා නිලධාරියකු වන ගෝඨාභය රාජපක්ෂවත් ඒ තැනට වැටුණේ නෑ. ගෝඨාභය නම් පැදුරටත් නොකියා පලා ගියා.

නමුත් ඇමරිකන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය නම් මේ ලෝකය උඩුයටිකුරු කරමින් ඉදිරියට ඇදී යමින් පවතිනවා. අර්ධ ඒකාධිපති තත්ත්වයේ සිට පූර්ණ ඒකාධිපති තත්ත්වයට මාරුවෙමින් පවතිනවා. සියලු ශිෂ්ට සම්ප්‍රදායන් වලපල්ලට යවමින් බිහිසුණු ඒකාධිපතියකු බවට පත් වෙමින් සිටිනවා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු අතරමැදි සංවිධාන තඹ දොයිතුවකට ගණන් ගන්නේ නෑ. ඉදිරි දෙසතිය හරිම තීරණාත්මකයි.

ට්‍රම්ප් ට බොක්කෙන්ම උදව් කරන්නෙ නෙතනියාහු. මේ ඩබල තුන්වැනි ලෝක යුද්ධයක් දැනටමත් ඇති කරමින් පවතිනවා.

ට්‍රම්ප්ට දොස් කිව්වට ඉරානයත් දෙවෙනි වෙන්නෑ. අද වන විට ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් පතිනවා. මෙහිදී සිදුවන්නේ යුද මෙහෙයුම් සඳහා සුදුසු පරිසරයක් සකස් කිරීමයි. මේ දැවැන්තයා දැන් ක්‍රියා කරන්නේ සියලු ජාත්‍යන්තර රීතීන් අභිභවමින්. ඉරානයේ ජල මූලාශ්‍ර වලට පහර දීම සමාන වන්නේ වතුර බොන ලිඳකට වහ දැමීමකට සමානයි. ඉරාන තෙල් සම්පත විනාශ කිරීම යනු මුළු ලෝකයම නන්නත්තාර කිරීමක්. මේ නැති වන මනුෂ්‍ය ජීවිත. මේවාට වග කියන්නේ කවුද?

දැනට නම් මේ යුද්ධය අවසන් වන ලකුණ කුදු නැත. එමෙන්ම එකිනෙකා යටත් වීමක්ද අපේක්ෂා කළ නොහැක. ඉරානය ගල් යුගයට යවනවා කියන ප්‍රකාශයම කොතරම් දුෂ්ටද?

කොහොමටත් සිදුවිය හැක්කේ එකිනෙකා මරාගෙන මැරීමය. ඉරාන ජනාධිපති කියන්නේ මුළු ලෝකයම කිව්වත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. එයත් ට්‍රම්ප් වර්ගයේම දුෂ්ට කතාවකි. අපි විනාශ වනවා නම් තොපිත් විනාශ විය යුතුයි යන්න මෙහි යටි අර්ථය විය යුතුයි.

මෙහි දී ප්‍රකට විද්වත් කියමනක් මතකයට එනවා. එනම් තුන්වෙනි ලෝක යුද්ධය කෙසේ සිදුවේදැයි කිව නොහැකි නමුත් හතර වැනි ලෝක යුද්ධය නම් ගල් කැට හා කොටු කෑලි වලින් සිදු විය හැකි බවයි.

යුද්ධයේ භයංකාරිත්වය මැන ගැනීමට එයම ප්‍රමාණවත්.