වනුජ පළමු පෙළ තරගාවලියෙන් ලද වටිනාකම නවසීලන්තය ඉදිරියේ වැඩි කර ගනියි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ නවසිලන්ත ඒ කන්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.එහිදි අනගි පන්දු යැවීමක නියැළුණ මෙවර පළමු පෙළ ක්‍රීඩා සමාජ අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වුණ වනුජ සහන් දින කිහිපයකට පෙර ලැබුණු ඒ ඇගයීම සහතික කරන පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 13 ට කඩුලු 5 ක් දවාලමින් ශ්‍රී ලංකාව ලද මේ ජයග්‍රහණයේ ද වීරයා බවට පත් වුණා.

ශ්‍රී ලංකාව මේ තරගයේදී කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙනු ලැබුවා.එහිදි නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම ඉදිරියේ බහුතරයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වන්නට නොහැකි වුව ද,කමිල් මිෂාර (71),නායක සහන් ආරච්චිගේ (66) සහ මිලාන් රත්නායක (53) අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 49.2 දී සියල්ල දැවී ලකුණු 271 ක් කරන්නට සමත් වුණා.පවන් රත්නායක (16) සහ වනුජ සහන් (12) හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිඳු පිිතිකරුවෙකුගේ නම ඉදිරියෙන් ඉලක්කම් දෙකක ලකුණු ගණනක් සටහන් වුණේ නැහැ.

නවසීලන්තය වෙනුවෙන් කැපී පෙණුන පන්දු යවන්නන් අතර ක්‍රිස්ටියන් ක්ලාක් ලකුණු 42 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.ආදිත්‍ය අශොක් ට ද ලකුණු 45 ට කඩුලු දෙකක් හිමි විය.තවත් පන්දු යවන්නන් පස් දෙනෙකුද පන්දු යැවීමට කැඳ වූ අතර ඔවුන් ද එක් කඩුල්ල බැඟින් දවා ගත්තේය.ශ්‍රී ලංකා නායකයා පමණක් දුවද්දී දැවි ගියේය.

ලකුණු 271 ක් විශාල ලකුණු ගණනක් ලෙස පන්දු ඕවර් 50 තුළ දී වර්ථමාන ක්‍රිකට් වපසරියට අනුව සිතීම අපහසුය.ඊට අවශ්‍ය සාක්ෂිකරුවන් වෙමින් ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 6 ට වැඩි දළ වේගයකින් නවසීලන්ත ඉණිම ගොඩ නඟන්නට විය.7 වන ඕවරයේ දී 22 වැනි වියේ පසුවන වමත් දඟ පන්දු යවන්නාගේ කැඳවීමත් සමඟ සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේය.ඒ වන විට පන්දු 17 දී ලකුණු 30 ක ට පිලිප්ස් දවා ගන්නට වනුජ සමත් විය.

එතැන් සිට ශ්‍රී ලංකා නායකයා සිය දඟ පන්දු තුරුම්පු පෙරට ගෙනාවේය.වනුජාකාරම වමත් දඟ පන්දු යවන්නෙක් වන සොනාල් දිනූෂ ලකුණු 10 ට කඩුලු 2 ක් දවා ගත් අතර,මේ වමත් දඟකාරයන් අතරට මුසු වුණු දකුණත් පිට දඟපන්දු යවන රවිඳු ප්‍රනාන්දුට ද ලකුණු 24 ට කඩුල්ලක් හිමි විය.නවසීලන්ත නායකයාට පන්දුවට පහර දීමට පැමිණිය හැකි සෞඛ්‍යමය තත්ත්වයක් නොතිබිණි.එම නිසා 29 වන ඕවරයේ 4 වන පන්දුවේදී නවසීලන්තයේ සියල්ලගේම කෙරුම් ලකුණු 121 ක් ව තිබියදී නිමාවට පත් විය.

ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ දි තරගය කණපිට හරවන්නට මැදිහත් වූ දඟ පන්දු යවන්නන් තිදෙනාම අවුරුදු 26 න් මෙපිටය.සහන්ට 22 කි.සොනාල් මේ වන විටත් ටෙස්ට් භෞතීස්මය ලබා ඇති 25 වන වියේ පසුවන්නෙක් වන අතර රවිඳු ප්‍රනාන්දු ට 26 කි.වැදගත්ම මේ තිදෙනාම තුන් ඉරියව් හැකියාවන් සහිත ක්‍රීඩකයන් ද වීමය.ඒ නිසා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මේ තරගයේදී අනාගත වටිනාකම් පිළිබඳ හොඳ අනාවැකියන් සහිත දක්ෂතා සමඟ තරගය ජය ගනිමින් කියා දුන්නේ හෙට හිතන තරම් කළුවර නැති බවය.