*
Monday, April 7, 2025
spot_img

Latest Posts

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ – ලංකාවට මොකද වෙන්නේ ?

ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන් හිතන්නේ මේ බදු වැරදි සහ අසාධාරණ බවයි. එහෙම කියන්නේ සහ හිතන්නේ අනෙක් රටවල් වල පැත්තෙන් බලලා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් මේ වගේ බදු නිසා අකාර්යක්ෂමතාවය ඉහළ යන බව පෙන්වා දෙන්න අපහසු නැහැ. නමුත් කරුණක් ලෙස ගත්තොත් දැන් මේ බදු පනවා අවසන්.

ලංකාවේ පැත්තෙන් ගත්තොත් මෙය අලුත් ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන සැබෑ අභියෝගයක්. ආණ්ඩුවක් පරීක්ෂාවට ලක් වන්නේ මේ විදිහේ සැබෑ අභියෝග හමුවේදීයි. මේ විදිහටම, කෝවිඩ් වසංගතය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනු සැබෑ අභියෝගයක්. කෝවිඩ් වසංගතය ආවේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂට ඔය තරම් ඉක්මණින් ගෙදර යන්න වෙන්නේ නැහැ.

ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මෙතෙක් කල් බොහෝ දුරට කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන එක. දේශපාලනිකව ඒකත් අසාර්ථක ප්‍රවේශයක් නෙමෙයි. යම් සීමාවක් දක්වා, වැඩක් නොකළත්, ජන මනස නිවැරදිව කියවා කළමණාකරනය කිරීම මගින් බලයේ රැඳී ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට සාර්ථක විය නොහැකි වූයේ මෙය කළ නොහැකි වූ නිසා. නමුත් මාලිමා ආණ්ඩුව මේ වැඩේ සාර්ථකව කරමින් සිටියා. හැබැයි ඇත්ත අභියෝගයක් හමුවේ මේ ප්‍රවේශය තව දුරටත් හරියන්නේ නැහැ.

දැන් ලංකාවට මුහුණ දෙන්න සිදු වී තිබෙන තත්ත්වය කෝවිඩ් වසංගතයටත් වඩා භයානක තත්ත්වයක්. මෙහි බරපතලකම කී දෙනෙකුට කොයි තරමින් තේරෙනවද කියා මා දන්නේ නැහැ. කෝවිඩ් වසංගතය වසරකින් හෝ දෙකකින් අවසන් වීමට නියමිතව තිබුණු අභියෝගයක්. මෙය එවැන්නක් නෙමෙයි.

දැනට ආණ්ඩුව විසින් අනුගමනය කර තිබෙන ප්‍රවේශය ආණ්ඩුවකට අනුගමනය කළ හැකි හොඳම දේශපාලනික ප්‍රවේශයයි. කවුරු බලයේ සිටියත්, ලංකාව වැනි රටක ආණ්ඩුවකට, මෙවැනි අභියෝගයක් හමුවේ කෙටිකාලීනව මීට වඩා දෙයක් කළ නොහැකියි. නමුත් අවාසනාවකට, මේ ප්‍රවේශයෙන් වුනත් තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වෙයි කියා හිතන්න අමාරුයි. ඒ නිසා, අමාරුවෙන් ගොඩ නගා ගත් ආර්ථිකය නැවත අවදානම් කලාපයකට යාමේ බැහැර කළ නොහැකි ඉඩක් පෙනෙන්නට තිබෙනවා.

ඇමරිකාවේ මේ තීරුබදු යුද්ධය නිසා ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ කොහොමටත් සිදු වීමට නියමිතව තිබුණු සුසමාදර්ශීය වෙනසක් වඩා ඉක්මණින් සිදු වෙමින් තිබෙනවා. භූ දේශපාලනය හා සංස්කෘතික කරුණු අත හැර මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පමණක් සිදු වී ඇති සහ සිදු වීමට නියමිත දේ විග්‍රහ කර ගන්නා අයට චිත්‍රයේ කොටසක් නොපෙනී යාම පුදුමයක් නෙමෙයි. කොහොම වුනත් පොතක් ලියන්න තරම් කරුණු රැසක් මෙවැනි සටහනකින් විස්තර කරන්න බැහැ. ඒ නිසා, මෙම සටහනෙන් වෙනස් වෙමින් පවතින ලෝක තත්ත්වය පිළිබඳ පුළුල් විග්‍රහයක් කරන්න අදහස් කරන්නේ නැහැ.

ජාත්‍යන්තර වෙළඳාම හරහා ලෝකය එකම කලාපයක් වීම බොහෝ දෙනෙකුගේ සිහින ලෝක වල තිබුණු දෙයක්. නමුත් ඇත්තටම සිදු වෙමින් පවතින්නේ ලෝකය භූගෝලීය කලාප ලෙස එකතු වීමක්. ඉදිරි දශකය තුළ මේ කලාප වල සීමාවන් වඩා හොඳින් ලකුණු වෙන්න පුළුවන්. ඇමරිකානුවන් විශාල පිරිසක් ඇතුළු ගොඩක් අය දකින “ඇමරිකාව තමන්ගේ මිතුරන් අහිමි කර ගැනීම” ඇස් බැන්දුමක් පමණයි. ඒ දෙසම බලාගෙන ඇස් ගිණිකණ වට්ටවා ගන්නා අයට ඇත්තටම සිදු වෙමින් තිබෙන දෙය හරියටම දැනගත හැකි වනු ඇත්තේ යම් කාලයකට පසුවයි.

ඇමරිකාව අලුත් තීරු බදු පැනවූයේ දත්ත මත පදනම්ව, නිශ්චිත ගණිතමය සූත්‍රයකට අනුවයි. එහිදී දේශපාලනික කරුණු සැලකිල්ලට ගැනුනේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන්නේ එම සූත්‍රය මගින් ඇඳුනු ලෝක තීරු බදු සිතියමයි. ඒ දෙස බැලු විට තීරුබදු බල බලපෑම කලාප අනුව වෙනස් වන ආකාරය පැහැදිලිව දැකිය හැකියි.

ඇමරිකානු මහාද්වීපය මුළුමනින්ම මෙන් තිබෙන්නේ 10% බදු කලාපයේ. 20% ඉක්මවන තීරුබදු වලට මුහුණ දෙන්න වෙන්නේ බොහෝ දුරටම ආසියානු කලාපයටයි. ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳාම තුළ ඇමරිකාවට මුහුණ දීමට සිදුව තිබුණු ප්‍රධාන අභියෝගය ආසියානු කලාපය බව පැහැදිලියි. විශාලතම නැගීගෙන එන ආර්ථිකයන් දෙකක් වන චීනය සහ ඉන්දියාව මෙම කලාපයේ පිහිටා තිබීම ඊට හේතුවයි.

බැලූ බැල්මටම ඇමරිකාව විසින් ලෝකයේ සෑම රටකටම බදු පනවා (“දඬුවම් දී”) ඇති බවක් පෙනුනත් ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝකයේ රටවල් කොටස් දෙකකට බෙදා එයින් එක් කොටසකට “දඬුවම් දීමයි”. මේ බදු ප්‍රතිපත්තිය නිසා අවසාන වශයෙන් 10% රටවලට අවාසියකට වඩා සිදු වන්නේ වාසියක්. එමෙන්ම, ලංකාව වැනි රටකට සිදු විය හැකි අවාසිය පෙනෙනවාට වඩා වැඩියි.

නිදහසින් පසු ලෝකයේ ඇතැම් රටවල් විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රම වෙත යොමු වෙද්දී ලංකාව යොමු වුනේ සංවෘත සමාජවාදී ප්‍රතිපත්ති වෙතයි. ඒ නිසා ලංකාවට අග්නිදිග ආසියා දුම්රියේ නැගී සංවර්ධනය කරා වේගයෙන් පිය නැගීමට තිබුණු අවස්ථාව මග හැරුනා. මේ වෙද්දී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඇතුළු වාමාංශික කොටස් මෙන්ම දක්ෂිනාංශික කොටස් විසින්ද අපනයන මුල් කරගත් ආර්ථික ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. නමුත් අවාසනාවට ලංකාව හැමදාමත් දුම්රියපොළට පැමිණෙන්නේ දුම්රිය පිටත් වූ පසුවයි.

ලෝකයේ රටවල් ගණනාවකට අපනයන මුල් කරගත් ආර්ථික ක්‍රමයක් හරහා වේගයෙන් දියුණු වීමට හැකි වූයේ එම අපනයන “ගිල ගත හැකි” විශාල පරිභෝජන ආර්ථිකයක් ලෙස ඇමරිකාව පැවතුණු නිසා. ඇමරිකාවට එවැන්නක් කළ හැකි වූයේ ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පැවති ප්‍රමුඛ තත්ත්වය නිසා. ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා තිබෙන ආධිපත්‍යය අභියෝගයට ලක් වෙද්දී ඇමරිකාවේ පරිභෝජන ආර්ථික ව්‍යුහය එලෙසම පවත්වා ගැනීම අසීරු වෙනවා. බාහිර තත්ත්වයන් වෙනස්වීම හේතුවෙන් එම ව්‍යුහය එක වර ක්ෂණිකව කඩා වැටීම වැළැක්වීමටනම්, එවැන්නක් සිදු වන්නට පෙර හෙමින් සීරුවේ “හුළං බැස්වීමක්” කරන්නට සිදු වෙනවා. මෙම තීරු බදු වලින් යම්තාක් දුරකට සිදු වී තිබෙන්නේ එම කාර්යයයි.

අලුත් තීරු බදු පැනවීමට ආසන්නව බ්‍රික්ස් මුදල් ඒකකයක් පිළිබඳ කතිකාවක් කරලියට පැමිණ තිබුණු බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. එවැන්නක ඉලක්කය වූයේ ඇමරිකන් ඩොලරය සතු ලෝක ආධිපත්‍යය බිඳ වැට්ටවීම හෝ දුර්වල කිරීමයි. මේ අරමුණම සහිතව සංචිත ලෙස ඇමරිකන් ඩොලර් තබා ගැනීම අඩු කිරීම ලෝකයේ රටවල් ගණනාවක් විසින් කරමින් සිටියා.

යම් හෙයකින් ලෝකය පුරා ඇමරිකන් ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු වීම නිසා ලෝකයේ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය 20%කින් අවප්‍රමාණය වුවහොත් සිදු වන්නේ කුමක්ද? මෙහිදී ඇමරිකාව තුළ සියලුම ආනයනික භාණ්ඩ වල මිල 20%කින් ඉහළ ගොස් එම භාණ්ඩ සඳහා ඇමරිකාව තුළ තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එම වෙළඳපොළ ඇමරිකාවේ දේශීය නිෂ්පාදන වලට ලැබෙනවා. ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය අඩු වෙනවා. එමගින් ඇමරිකාවට ලැබෙන වාසිය නිසා සිදු වන අවාසිය ලෝකයේ අනෙකුත් රටවල් අතර බෙදී යනවා.

දැන් ඇමරිකාව විසින් ස්වේච්ඡාවෙන්ම සිදු කර තිබෙන්නේ බ්‍රික්ස් මුදල් ඒකක හැදීම, ඇමරිකන් ඩොලරය අතහැර ජාත්‍යන්තර ගනුදෙනු කිරීම ආදී ක්‍රම වලින් අනෙකුත් රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයයි. එනම් ඇමරිකන් පාරිභෝගිකයෙකුගේ පැත්තෙන් ඇමරිකන් ඩොලරයේ මිල දී ගැනීමේ හැකියාව අඩු කිරීමයි. නමුත් එය සිදු කර තිබෙන්නේ “දුරස්ථ පාලකය” ඇමරිකන් ආණ්ඩුව අතේ තියාගෙනයි. ඒ නිසා, වෙනත් රටවල ආණ්ඩු වලට සැලසුම් සහගත ලෙස ඇමරිකන් ඩොලරය දුර්වල කිරීමට තිබෙන ඉඩකඩ මෙමගින් යම්තාක් දුරකට ඇහිරෙනවා. අනෙක් අතට මෙම තීරු බදු පනවා තිබෙන්නේ ලෝකය කලාප දෙකකට බෙදමිනුයි.

ලංකාව ඇතුළු බොහෝ රටවල් තමන්ගේ මුදල් ඒකක වල වටිනාකම දකින්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂවයි. නමුත් ලෝකයේ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ වටිනාකම හැම මොහොතකම විචලනය වෙනවා. සාමාන්‍යයෙන් මෙම විචලනයන් සිදු වන්නේ +/- 20%ක පමණ පරාසයකයි. උදාහරණයක් ලෙස, ලෝකයේ සියලුම ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව 2006 ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලරයක වටිනාකම 100 ලෙස සැලකුවහොත්, 2021 මැදදී මෙම අගය 110ක් පමණ වන අතර 2025 ජනවාරි මැදදී 130ක් පමණ වෙනවා. මේ වෙද්දී 126.67ක්.

ඉහත ගණනය සිදු කර තිබෙන්නේ උද්ධමන වෙනස්කම් හා ගැලපීමක් නොකරයි (නාමික ඵලදායී විණිමය අනුපාතය). උද්ධමනය හා ගැලපූ පසු මේ විචලනයන් වඩා පැහැදිලිව පේනවා. 2006ට සාපේක්ෂව, 2011 වසර මැදදී ඇමරිකන් ඩොලරයක වටිනාකම 83 දක්වා අඩු වුනා. 2015දී 100 මට්ටමට ආවා. 2016දී 110 පමණ දක්වා ඉහළ ගොස් 2018දී නැවත 100 මට්ටමට ආවා. දැන් තිබෙන්නේ 120 මට්ටමටත් වඩා උඩින්.

වෙනත් රටක මුදල් ඒකකයක් මේ අයුරින් විචලනය වේනම් එය රටේ ආර්ථිකය කෙරෙහි විශාල බලපෑමක් කරනවා. නමුත් විශාල දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාවට මෙවැනි විචලනය වීම් පහසුවෙන් දරාගත හැකියි. කොයි තරම් විවෘතව පැවතියත්, බාහිර කම්පන වලින් දැනෙන බලපෑමක් නොවන තරමේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇමරිකාව සතුව තිබෙනවා.

ඇතැම් අය සිතාගෙන ඉන්නේ ඇමරිකාව විසින් කරන්නේ අධි තාක්ෂණ උපකරණ අපනයනය කර මූලික නිෂ්පාදන ආනයනය කිරීම බවයි. නමුත් ඇත්තටම ඇමරිකාව විසින් ආනයනය කරන හැම දෙයක්ම මෙන් රට ඇතුළත නිෂ්පාදනය කෙරෙනවා. එසේ තිබියදී ආනයන වලට ඉඩ දී තිබෙන්නේ තරඟකාරිත්වය පවත්වා ගැනීමේ අරමුණින් පමණයි. උදාහරණයක් ලෙස ඇමරිකාව ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරුවෙක්.

ඇමරිකන් ඩොලරයක වටිනාකමේ කොහොමටත් සිදු වන සාමාන්‍ය උච්ඡාවචනය වීම් සැලකූ විට, ඇමරිකන් පාරිභෝගිකයින්ගේ පැත්තෙන්, ආනයනික භාණ්ඩ වල මිල 20%කින් වැඩි වීම විශාල කම්පනයක් නෙමෙයි. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ ඩොලරයක මිල පහත වැටීමක් නෙමෙයි. එමෙන්ම පොදුවේ 20%ක තීරු බදු පැනවීමක්ද නෙමෙයි. 20% යනු ආසන්න වශයෙන් සියලු රටවලට පනවා තිබෙන තීරු බදු වල සාමාන්‍ය අගයයි. ඒ නිසා, මේ හරහා ලෝකයේ අනෙක් රටවලට සිදු වන බලපෑම රට අනුව වෙනස් වෙනවා.

සාමාන්‍ය වශයෙන් මෙහිදී සිදුව තිබෙන්නේ ඇමරිකන් ඩොලරය 20%කින් අවප්‍රමාණය වීම වැනි තත්ත්වයක් ලෙස සැලකූ විට, ලෝක වෙළඳාම තුළ, මෙහි අවාසිය ඇත්තටම පැටවෙන්නේ 20% ඉක්මවන තීරු බදු ගෙවන්නට සිදු වන රටවලටයි. 10% හෝ ආසන්න තීරු බදු ගෙවන රටවලට ඇත්තටම සිදු වන්නේ වාසියක්.

උදාහරණයක් ලෙස, ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකන් වෙළඳපොළ තුළ ඉතාම අවාසිදායක තත්ත්වයක් ඇති වන බව කාට වුනත් පැහැදිලි විය යුතුයි. ඒ නිසා, ලංකාවට අහිමි වන වෙළඳපොළ ඇමරිකාව ඇතුළේම හැදෙයිද? ඇමරිකානුවන් ඇමරිකාව තුළ ඇඟලුම් මහන්න පටන් ගනියිද?

අඩු වශයෙන් කෙටි හා මැදිකාලීනව එවැන්නක් කිසිසේත්ම සිදු වෙන එකක් නැහැ. ඒ වෙනුවට සිදු වනු ඇත්තේ මෙම කර්මාන්ත ප්‍රධාන වශයෙන්ම දකුණු ඇමරිකානු කලාපය වෙත විතැන් වීමයි. එසේ වීමෙන් ඇමරිකාවට ලැබෙන වාසිය කුමක්ද?

ලංකාවෙන් ඇඟලුම් මිල දී ගැනීමට සාපේක්ෂව දකුණු ඇමරිකාවේ රටකින් ඇඟලුම් මිල දී ගැනීමේදී ඇමරිකාවට ලැබෙන වාසිය වන්නේ එහිදී එම රටවලට යන ඇමරිකන් ඩොලර් නැවත ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීම හරහා ඇමරිකාවට පැමිණීමයි. ඒ අනුව, ඇමරිකාවේ ඇඟලුම් අංශයේ රැකියා අලුතෙන් හැදුනේ නැතත්, වෙනත් අංශ වල රැකියා අලුතෙන් හැදෙනවා. ඒ හරහා ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු වෙනවා.

දකුණු ඇමරිකාව යනු ඇමරිකාව විසින් “සංවර්ධනය කිරීම සඳහා” තෝරා ගෙන තිබෙන අලුත් පෝෂක ප්‍රදේශයයි. ආසියාව සංවර්ධනය වී ඇති තරමට සහ ආසියාවේ විශාල ජනගහණයට සාපේක්ෂව ඇමරිකාවට වෙළඳපොළක් ලැබී නැහැ. උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයන් ශක්තිමත් වුවත් එම රටවල, සමස්තයක් ලෙස, ජනගහණය අඩුයි. ඒ නිසා, ආසියානු කලාපයෙන් එන “තර්ජනය” හමුවේ උපාය මාර්ගිකව කළ යුතු වන්නේ විශාල ජනගහණයන් සිටින දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව ශක්තිමත් කිරීමයි. එම කලාප දෙක අතරින් ප්‍රායෝගිකව වඩා වැදගත් වන්නේ දකුණු ඇමරිකානු කලාපයයි.

මේ “ලොකු චිත්‍රය” ඇතුළේ කැනඩාව සමඟ වෙළඳ යුද්ධය “ගේ ඇතුළේ රණ්ඩුවක්” පමණයි. කැනඩාව ඇමරිකාවේ 51වන ප්‍රාන්තය විය යුතුය යන ප්‍රකාශය වගේම ග්‍රීන්ලන්තය ඇමරිකාවට එකතු කර ගැනීම ගැන කතාව පෙනෙනවාට වඩා පුළුල් අර්ථයක් තිබෙන කතා. භූ දේශපාලනික කලාප ලෙස ලෝකය බෙදී යද්දී කැනඩාව හා ග්‍රීන්ලන්තය ඇමරිකාව සමඟ සම්බන්ධ වූ එකම කලාපයක් බවට පත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. එවැන්නක් ඇමරිකාව විසින් කැනඩාව ආක්‍රමණය කිරීමක් ලෙස සිදු විය යුතු නැහැ. ඒ වගේම, යුරෝපීය සංගමය මත පනවා ඇති 20% තීරු බද්ද මගින් සිදු කර තිබෙන්නේ සමස්ත චිත්‍රය තුළ වාසි අවාසි ගැලපීමක් පමණයි. එම බද්ද විවිධ රටවලට පනවා ඇති බදු වල සාමාන්‍ය අගයට ආසන්නව සමානයි.

ලංකාව විසින් කාලයක් තිස්සේ කරමින් සිටියේ ඇමරිකාවෙන් හා යුරෝපයෙන් එකතු කර ගන්නා විදේශ විණිමය චීනයට හා ඉන්දියාවට ලබා දීමයි. ඒ නිසා, ඇමරිකාවේ පැත්තෙන් බලද්දී චීනය හා ඉන්දියාව පැත්තේ ඇති ප්‍රධාන තර්ජනය හමුවේ ලංකාව වැනි රටවල අතරමැදි කාර්ය භාරය නොසලකා හරින්න බැහැ. ලංකාවට යන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය සීමා කිරීම මගින් ඉන්දියාවට හා චීනයට වක්‍ර ලෙස යන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය සීමා කරන්න පුළුවන්.

අනෙක් අතට ලංකාව පැත්තෙන් බලද්දී ලංකාව ඇමරිකාවෙන් ආනයන සිදු නොකර ඉන්දියාවෙන් හා චීනයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ එය වඩා ලාබ නිසා මිස දේශපාලනික හේතුවක් නිසා නෙමෙයි. මෙය ස්වභාවික තත්ත්වයක්. දකුණු ඇමරිකානු රටවලට ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කරන එක වඩා ලාබ වුවත්, ලංකාවට ඉන්දියාවෙන් හෝ චීනයෙන් භාණ්ඩ ආනයනය කරන එක වඩා ලාබයි. මේ තත්ත්වය තුළ ඇමරිකාව සමඟ “කතාබහ කර” මේ ප්‍රශ්නය විසඳා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

ලංකාවට ඇමරිකන් වෙළඳපොළ අහිමිවීම සුළුපටු කරුණක් නෙමෙයි. මේ තත්ත්වය තුළ ලංකාවට “ගේම ඉල්ලීමේ” ඉඩක් තිබෙන්නේ ඉන්දියාවෙන් හා චීනයෙනුයි. ඊට හේතුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම එම දෙරට සමඟ වීමයි. මෙහිදී “ගේම ඉල්ලීම” යන්නෙන් මා අදහස් කරන්නේ ඇමරිකාව කළ ආකාරයේ දෙයක් කිරීම නෙමෙයි. ඇමරිකාව කරන දේවල් ලංකාවට කළ නොහැකියි. ආනයන නැත්නම් ඇමරිකාවට “ඕනෑම දෙයක්” රට ඇතුළේ හදාගන්න පුළුවන්. නමුත් ලංකාවට එවැන්නක් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හෝ තාක්ෂනය නැහැ. එසේ වුවත්, ඇමරිකාවේ අලුත් ප්‍රවේශය නිසා, තීරු බදු පදනම මත හිර නොවී, ද්විපාර්ශ්වික වෙළඳ ශේෂය මත පදනම්ව, එම රටවල් සමඟ හෙට්ටු කිරීමට ඉඩක් හැදී තිබෙනවා.

ලංකාව සහ ඉන්දියාව සැලකුවහොත්, ලංකාවට අවාසිදායක වෙළඳ හිඟයට හේතුව තීරු බදු වෙනස්කම් නෙමෙයි. වෙළඳ ගිවිසුම් වලින් පසුවද වෙළඳ හිඟය අඩු වුනේ නැහැ. මා හිතන පරිදි සිදු වුනේ වෙළඳ හිඟය තවත් වැඩි වීමයි. පැවති සුසමාදර්ශය තුළ මෙවැනි තත්ත්වයක් හමුවේ කළ හැකි දෙයක් තිබුණේ නැහැ. වෙළඳ ගිවිසුම් වලදී වැඩි වශයෙන්ම සිදු වුනේ දෙපාර්ශ්වය එකඟ වී තීරු බදු අඩු කර ගැනීමයි. එයින් ඔබ්බට තිබෙන “තීරු බදු නොවන බාධක” ගැන ඉන්දියාවට අපනයන කරන අය දන්නවා. වෙළඳ ශේෂය මත පදනම්ව හෙට්ටු කිරීම් සිදු කිරීම අලුත් දෙයක් සහ සම්මත ආර්ථික විද්‍යා න්‍යාය සමඟ හොඳින් නොපෑහෙන දෙයක් විය හැකි වුවත්, ලංකාව විසින් කළ යුත්තේ ඇමරිකාව වැනි රටක් විසින් එවැනි පූර්වාදර්ශයක් ලබා දී තිබීම තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කිරීමයි.

සුසමාදර්ශීය වෙනස යන්නෙන් මා අදහස් කළේ මෙය නොව කෘතීම බුද්ධි භාවිතය හා ස්වයංකරණය නිසා ශ්‍රම වෙළඳපොළේ හා නිෂ්පාදන තාක්ෂණයේ සිදු වෙමින් පවතින පරිවර්තනය සහ ධනවාදය එම වෙනසට අනුවර්තනය වීමයි. ඇමරිකාවේ අලුත් තීරු බදු නිසා සිදු වුනේ කෘතීම බුද්ධි භාවිතය හා ස්වයංකරණය නිසා ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමයෙන් සිදු විය හැකිව තිබුණු දෙයක් කළින්ම සිදු වීමයි. මේ ලිපිය තුළ එම තත්ත්වයන් විස්තර කර හෝ විග්‍රහ කර නැහැ. එය පසුවට.

~ ඉකොනොමැට්ටා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan