Home දේශපාලන පුවත් කටකතා සමාගම ගෙන්වපු ගල් අඟුරු බාල වුණා. ලයිට් නොකපා ඉන්න නම් ජනතාවගෙන් පොඩි...

සමාගම ගෙන්වපු ගල් අඟුරු බාල වුණා. ලයිට් නොකපා ඉන්න නම් ජනතාවගෙන් පොඩි උදව්වක් ඕනෑ – ටිල්වින්

ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොග විටින්විට ප්‍රමිතියෙන් බාල වී ඇති බවත් ඒ අනුව ඩීසල්වලින් විදුලිය වැඩියෙන් නිපදවීමට සිදුවීම නිසා ගැටලුවක් උද්ගත වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපට ප්‍රශ්නයක් ආවා. මොකක්ද ? මැදපෙරදිග යුද්ධයක් පටන් ගත්තා. ඒ නිසා අපට ඉන්ධන ප්‍රශ්නයක් ආවා, එක පැත්තකින් තෙල් මිල වැඩිවුණා, අනිත් පැත්තෙන් තෙල්වල හිඟයක් එන තත්වයක් නිර්මාණය වුණා. දැන් මේකට හරිනම් මොකක්ද කරන්න ඕනෙ ? අපේ රටේ ඉන්න වගකීම්සහගත පුරවැසියා මොකක්ද කරන්න ඕනෙකම තියෙන්නෙ ? මේ තත්වය තේරුම් අරගෙන කාටත් සාධාරණයි හිතාගෙන ඉවසීමෙන් වැඩකරන්න ඕනෙ. අපේ රටේ විපක්ෂය වගේ විපක්ෂයක් මං හිතන්නෙ ලෝකෙ කොහෙවත් අපි දැකලා නෑ. රටට විපතක් වෙලා හරි තමන්ට බලය එනවා නම් හොඳයි කියලා හිතන විපක්ෂ ලෝකෙ දැකලා නෑ මේක ඇරෙන්න. ඒගොල්ලො හිතන් ඉන්නවා හැමතිස්සෙම මිනිස්සු පාරට බැහැලා ආණ්ඩු පෙරළනවාය කියලා. එහෙම ඒවා හැමතිස්සෙම වෙන්නෙ නෑ. ඒවා හරි කලාතුරකින් වෙන්නෙ … ඒගොල්ලො හිතාන ඉන්නවා මාස හයෙන් හයට ඒවගේ දේවල් වෙනවා කියලා.

දැන් ඔබ කල්පනා කරලා බලන්නකො. මේ යුද්ධය වෙලාවෙ අර ඉරාන යුද නැවක ප්‍රශ්නයක් මතුවුණානෙ. දැන් විපක්ෂයේ කට්ටිය කියනවා ඒ නැවට ප්‍රහාරය එල්ල වුණේ ආණ්ඩුව ඔත්තුව දීලාලු එක්සත් ජනපදයට. ඒ නැවේ කට්ටිය දන්නෙත් නෑ වදිනකල්. එතරම් තැනකට වැටෙන්න පුළුවන් නම් විපක්ෂයකට, මං හිතන්නෙ ඒක රටට සාපයක්ම තමයි.

ඔය විපක්ෂයේ ඉන්න සමහර අය, ඔය එක එක සෝෂල් මීඩියාවල ඉන්න කට්ටිය හිතන් ඉන්නවා අවලාද ගහලා අපිව නවත්වන්න පුළුවන් වෙයි කියලා. බැහැ. සොරි තමයි. මොකද අපි හොඳට ඕකෙන් තෙම්පරාදු වෙච්ච අය. දැන් විපක්ෂය කියනවා විදුලි අර්බුදය ඇවිල්ලා තියෙන්නෙ හොරකම්කරලා කියලා. නෑ, හොරකම් මොකක්වත් නෑ. ගල් අඟුරු බලාගාරවල අපි බලාපොරොත්තු වන ප්‍රමාණය නිපදවෙන්නේ නෑ. ඒ හොරකම් කරලා නිසා නෙවෙයි. සමාගමකින් අපි ගල් අඟුරු ගෙන්වනවා. ටෙන්ඩර් දීලා ගෙන්වන්නෙ. ඒ සමාගම ගෙන්වපු ගල් අඟුරු විටින්විට බාල වුණා. ඒ ගැන වෙනම පරීක්ෂණයක් යනවා. ඒ සමාගමට දඩත් ගහනවා. හැබැයි අමතර විදුලියක් අපිට රෑට ඕනෙ වෙනවා. ඒක ගන්න වෙන්නෙ අපිට ඩීසල්වලින්. ඩීසල්වලින් වැඩිපුර විදුලිය ගන්න ගියාම විදුලි බිලට ඒක බලපානවා, විදුලි බිල වැඩිවෙනවා. දැන් අපෙ ආණ්ඩුව අධිෂ්ඨානයක ඉන්නවා, මොකක්ද ? ලයිට් කපන්නෙ නැතිව යන්න. හොඳයිනෙ ? හැබැයි ඒක කරන්න මොකක්ද ඕනෙකම තියෙන්නෙ ? ජනතාවගෙන් පුංචි උදව්වක් ඕනෙ. මොකක්ද ? රාත්‍රී කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. අපිට දවල්ට ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරම් දවල්ට තියෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ 55 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙන් ඊයේ (05) වව්නියාවේදී පැවති උත්සවයක් අමතමිනි.