ජාතික QR ගෙවීම් පද්ධතිය ජනපති අතින් විවෘත වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 06, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික QR ගෙවීම් පද්ධතිය හඳුන්වා දී ඇති අතර, එහි ප්‍රධාන ඉලක්කය වන්නේ මෙරට ආර්ථිකය ඩොලර් බිලියන 15 ක මට්ටමකට වර්ධනය කිරීමයි.

මෙතෙක් පැවති අවිධිමත් මූල්‍ය පද්ධතිය විධිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා තාක්ෂණික මෙවලම් භාවිත කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කරයි.

අතීතයේදී QR තාක්ෂණය සීමා පැනවීමේ මෙවලමක් ලෙස ජනතාව අතර වැරදි ලෙස වටහාගෙන තිබූ බැවින්, ඒ පිළිබඳව නව අධ්‍යාපනික වැඩපිළිවෙළක් අවශ්‍ය බව රජයේ මතයයි.

විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයන්හිදී ඩිජිටල් ගනුදෙනු සඳහා ජනතාව යොමු කිරීමේ වගකීම බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරෙන බව ද ජනාධිපතිවරයා පවසයි.

නවීන තාක්ෂණය වඩාත් ආකර්ෂණීය සහ පහසු ලෙස ඉදිරිපත් කළහොත්, ශ්‍රී ලාංකික සමාජය ඉතා ඉක්මනින් මෙම වෙනස වැලඳගනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

මෙම සමස්ත ක්‍රියාවලිය හරහා රටේ මූල්‍ය ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව සහ වේගවත්ව සිදුකිරීම රජයේ මූලික අපේක්ෂාවයි.

ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ ,

QR කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද ? ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලමක්. QR යටතේ පොහොර දෙන්න යනවා කිව්වා. එතකොට මතයක් හැදුවා පොහොරත් කපන්න තමා යන්නේ කියලා... QR අන්තිමට සීමා කිරීමකට ලඝු වෙලා. ගනුදෙනුවලටත් ආවොත් මේ කරන්න යන්නේ සීමා කිරීමක් ද මේ කරන්න හදන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අධ්‍යාපන වැඩසටහනකුත් අවශ්‍යයි.

අපි විශ්වාස කරනවා මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිදුවන සියලුම ගනුදෙනු ඉතාම වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. බැංකු සහ මූල්‍ය ආයතනවලට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. ගොඩක් මුල්‍ය සමාගම් දැන් අලුත් අවුරුද්දට ප්‍රචාරක දැන්වීම් හදනවා. මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත්කරගෙන අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR කේතයන් හරහා සිදුකරන ගනුදෙනු බවට පත්කරගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වේවි. එතකොට මිනිස්සු වැලඳගන්නවා. අපේ සමාජය අලුත් දේ වැලඳ ගන්න ලෑස්තියි. හැබැයි අලුත් දේ ආකර්ෂණය නැත්නම් පහසු නැත්නම් මිනිස්සු වැලඳගන්නේ නෑ…”