කොළඹ LNW:අල්ලස දුෂණය රටින් තුරන් කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව ඊයේ (09) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 එළිදැක්වීය. දශක හතකට වැඩි කාලයක් වරින් වර තට්ටු මාරු ක්‍රමයට පාලන බලය මාරු කරගනිමින් රට බංකොලොත්වන තැනටම ගෙනයමින් අවසානයේ මහජන අරගලයක් දක්වාම පැවති පාලනයන් විසින් රට ගෙනවිත් තිබුණි. කෙසේවෙතත් අටෝරාශියක් කරුණු කාරණා මැද සැබෑ ලෙසම ක්‍රම වෙනසක් වෙනුවෙන් ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට රාජ්‍ය පාලනයේ දොරටු විවෘත කර දෙන ලදී. වංචාව,දුෂණය සංස්කෘතියක් වී තිබුණු රටක එම මාවත ප්‍රතිවිරුද්ධ දෙසට පාලනය ආරම්භ කිරීම වෙනුවෙන් ජනතාව ප්‍රවේශයක් ගත් අතර එහි සංධිස්ථානයක් ලෙස ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම හඳුනාගත හැකිය.
මීට පෙරද 2019 – 2023 ලෙස එවැනි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළද විවිධ හේතුමත එය යතාර්ථයක් කර ගැනීමට නොහැකි විය.
දුෂණයෙන් මේ රට කෙතරම් හෙම්බත් වී ඇත්ද යන්න පිළිබඳ බොහෝ කරුණු කාරණා අනාවරණය වෙමින් තිබෙන පසුබිමක දුෂණයෙන් තොර පවිත්‍ර රටක් ගොඩනැගීම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියා කළ යුතු වෙයි. එසේ නොවන තාක් අනාගතය වෙනුවෙන් එය ප්‍රැක්ටිස් කළ නොහැකි බවට දැන් සහසුද්ද්දෙන්ම තහවුරු වී තිබේ. දේශපාලන යාන්ත්‍රණයම අල්ලසට,දුෂණයට නතුව තිබුණු ඉතිහාසයක දේශපාලන යාන්ත්‍රණය ඉන් මුදවා ඇති බවත් රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය ඉන් මුදවා ගත යුතුව ඇති බවත් ඒ වනුවෙන් මාස 06ක කාලයක් ඔවුන්ට ලබා දී ඇති බවත් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අවධාරණය කළේය. ඒ අනුව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය නිසි මඟට ප්‍රවේශ නොවන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවටද ජනාධිපතිවරයා සහතිකයක් වී තිබේ. පැවති දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරී යාන්ත්‍රණයේ කොටසක් දුෂණයට සහය දැක්වීම පිළිබඳව වන කාරණය රටට රහසක් නොවේ. එය විගණන වාර්තා මඟින්ම පෙන්නුම් අකරණ අතර කෝප් සහ කෝපා කමිටු මඟින් නිලධාරීන්ගේ සෙල්ලම් හඳුනා ගත හැකිය. ඒ අනුව අල්ලස, දුෂණය,වංචාව පිටුදැකීම වෙනුවෙන් එහි මුදුනතින්ම වැඩ අරඹා තිබීම සමාජයට යහපත් පණිවිඩයක් දෙන්නකි. ජනතා අපේක්ෂාවලට පණ දීමකි. ඒ නිසාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ක්‍රියාත්මකද විය යුතුය.
ඒ අනුව විමර්ශන හා නඩු පැවරීම්වලට එහාට යමින් දුෂණ වළක්වා ගැනීමට ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනත හරහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය දී තිබේ. එම ලද බලය ප්‍රකාරව උක්ත ක්‍රියාකාරී සැලැස්ම සමාජ ගතව තිබේ. දැන් අවශ්‍ය වන්නේ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයයි. බෙහෙත් වෙනුවට වතුර එන්නත් කළ, මහ බැංකුවත් මහ දවාලේ කොල්ල කෑ රටක දුෂණයට,වංචාවට තවත් දුර යාමට ඉඩ සැලසිය යුතු නැත.
ඒ අනුව අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊලඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා ඊයේ අවධාරණය කළේය. ඊට සමපාත වෙමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාද අවධාරණය කරන ලද්දේ ව්‍යවස්ථාදායකය විසින් ලබා දුන් බලයට අනුව විමර්ශනය කිරීමේ හා නඩු පැවරීමේ සීමාව දුෂණය වැලැක්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙස ඉදිරියට පැමිණ තිබෙන බවයි.
”අපි කතාකරනවා සුපිළිපන්නභාවය කියල. දෙයක් මම විශ්වාස කරනවා පාසල් යන කාලයේ ඉඳන් හැදෙන්න ඕන දෙයක්. තමන්ට අයිති නැති දෙයක් තමන්ට දෙන වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්ද පණ තියෙන මිනිසු හදන්න පුළුවන් නම් ඉස්සරහට වැඩිය විමර්ශන සහ නඩු පැවරීම් කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා මෙය හුදෙක් වැරදි කරපු පුද්ගලයින් ඇල්ලීම සහ ඔවුන්ට දඬුවම් කිරීමේ දෙයක් පමණක් නොවන බව අපි වටහා ගෙන තිබෙනවා.”
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පවසන අන්දමට කොමිසමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය දැන් නව හැඩයක් ගෙන තිබේ. අවශ්‍ය තැනදී අවශ්‍ය ලෙස වෙනස් වීම වෙනුවෙන් ලද බලය නිසි ලෙස හසුරුවමින් ජනතාවට හෙට දවස ගැන යම් සුභවාදී පණිවිඩයක් ගෙන ඒම සැබෑ ලෙසම වටින්නේය. දුෂණයේ උච්චම තැනක එනම් බෙහෙත් වෙනුවට වතුර පුරවා රෝගීන්ට එන්නත් කරන තැනට රටක පාලනය ජරාජීර්ණ වීම සර්වාංගයම වෙව්ලුම් නොකන්නේද? කෝප් කමිටුව හමුවේ අනාවරණය වූ ඒ මිලේච්ජත්වය තරම දුෂිත බවක් තවත් ඇති යැයි නොහැගේ. මිනිසුන් විසින් මිනිසුන්ට එවැනි අවැඩක් කළ හැකිද? නිකම්ම නොව මහජනතාව විසින් තමන්ව සුරක්ෂා කිරීම වෙනුවෙන් පත්කරන ලද නියෝජිතයින් හා ඔවුන්ට යටහත් පහත් නිලධාරීන් විසින්ම ජනතාවගේ ගෙලට තොණ්ඩුව දැමීම තරම් ඛේදවාචකයක් තවත් නැත. ඒ නිසාවෙන්ම මේ වංචාව. දුෂණය මේ අදියරෙන් අවසන් විය යුතුය. කොහොමත් එය විසඳීම තවත් පරපුරකට උරුම කළ යුතු නැත. එහෙයින් කඩුපුල් මල රැගත් බස්සා විසින් ජනතා අපේක්ෂා මිරිඟුවක් නොකරනු ඇතැයි යන්න ගොඩනැගෙමින් තිබෙන විශ්වාසය තහවුරු වන ආකාරය දෙස බලාසිටිමු.
ආශිකා බ්‍රාහ්මණ
