Home දේශපාලන පුවත් කටකතා BYD ATTO 3 වාහනයට වෙච්චි දේම ATTO 1 වාහනයටත් වෙයිද ?

BYD ATTO 3 වාහනයට වෙච්චි දේම ATTO 1 වාහනයටත් වෙයිද ?

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් ATTO 3 මාදිලියේ මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී අඩුවෙන් බදුගෙවා වංචනික ලෙස එම වාහන නිදහස් කරගෙන ඇති බවට එල්ල වූ චෝදනාවම ATTO 1 මාදිලියේ වාහන සම්බන්ධයෙනුත් එල්ල වීමේ තත්වයක් උද්ගතවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

චීනයේ නිෂ්පාදිත BYD විදුලි මෝටර් රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම යි. එම සමාගම ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමාගම සහ නේපාලයේ චෞද්‍රි ගෲප් සමාගම එක්ව පිහිටවූ ආයතනයකි.

ඔවුන් මෝටර් ධාරිතාවය 150 kW වන BYD ATTO 3 මෝටර් රථ 100 kW වශයෙන් අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදු ගෙවා ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට චෝදනා එල්ල වූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් නඩුවක් ද අධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ. එහිදී JKCG සමාගම පවසා තිබුණේ මෘදුකාංගයක් භාවිතයෙන් මෙම වාහනවල මෝටර් ධාරිතාවය අඩුකර ඇති බවකි. කෙසේවෙතත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කර තිබුණේ තමන් සලකා බලන්නේ වාහනයට සවිකර ඇති මෝටරයේ ප්‍රකෘති ධාරිතාවය පමණක් බවකි. මේ ගැන සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති අතර එහි වාර්තාව තවමත් අධිකරණය හමුවට ඉදිරිපත්ව නොමැත.

150 kW වාහනයක් සහ 100 kW වාහනයක් අතර බදු පරතරය රුපියල් ලක්ෂ 35ක් පමණ වන බැවින් JKCG සමාගම වාහන දහස් ගණනකට අදාළව රුපියල් බිලියන ගණනක බදු වංචාවක් සිදුකර ඇති බව මාධ්‍ය විසින් පෙන්වාදී තිබිණි.

මේ අතර මීට සමානව තත්වයක් BYD ATTO 1 මාදිලියට අදාළවත් උද්ගතව ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබේ. BYD ATTO 1 මාදිලියේ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ එහි මෝටර් ධාරිතාවය 45 kW යනුවෙන් පවසමිනි. එහෙත් තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල භාවිතා වන එම මාදිලියේ වාහනවල මෝටර් ධාරිතාවය 55 kW බව සඳහන්. ඒ අනුව 50 kW බදු සීමාවෙන් පහළට ගෙනවිත් බදු ප්‍රතිශතය සැලකිය යුතු අගයකින් අඩුකරගැනීම සඳහා JKCG සමාගම මෙහිදීත් සොෆ්ට්වෙයා ජිල්මාට් එකක් කර ඇති බවක් පැහැදිලිවම පෙනේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අවධානය මේ වනවිටත් යොමුවී ඇති බවයි රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්